Monday, 9 November 2020

කැදැල්ල

පියාපත් හැඳි අතර  

උණුහුමට ගුලිවෙලා

හිටි බවට හෝඩුවාවක් 

ඉතුරුකර​ පාළු කැදැල්ලේ 

කෙළිකවට සිනා හඬ​

ඔලොඟුවේ දමාගෙන​

දුරු ඈත ඉසව්වක​

පියාඹා ගිහිල්ලා


මතකයේ පෙකණිවැල

පැටලිලා ළයමඬළ  

හීනි සැතකින් සහින

නියාවෙන් රිදුම් දෙයි


පියාපත් සැළෙන 

වාරයක් පාසා තොපේ

වියපත් ඇතුළු ගැබ​

දැදුරු දෙනවා අපේ


දිනක ඉඳහිටක හෝ

ගොඩවැදී යනු ඇතයි

බලාහිටියා හිතේ 

දෙගිඩියාවෙන් වගේ

කාලයේ පණිවුඩය 

ඇහිඳගත් වෙලාවේ

නොඑනබව දැනගතිමු

ඉරබහින සැඳෑවේ


මල්ලිකා එම් බණ්ඩාර​

8. 11. 2020


  

 




No comments:

Post a Comment