බැබිල මල් හිනාවෙන කුඹුක් වැටියේ හෙවන
මිදෙල් මල් වියන යට හෙමින් පියමං කරන
නුඹෙ ඇඟිළි අග වෙළී ඇවිද ගෙන ගිය ගමන
හිඳී සිතුවම් පලකයක් වගේ බොඳ නොවෙන
අම්මා මෙලොව අතහැර ගියදා සේම
සිහිවෙයි හිටිය දාටත් වැඩියෙන් තාම
බිම ඇද වැටී නැඟිටින්නට බැරුවාම
නුඹෙ මුදු වදන ඇති 'නැඟිටින්' කීවාම
වින කළ උගුල් ඇටවූ උන් දුටුවාම
තාමත් බිය දැනේ නුඹ ළඟ නැතුවාම
රහසක් සඟවන්න ළිඳකට දැමු සේම
නුඹ මෑතක නොමැති කම දැනුණා බෝම
දිව බොජුනක මිහිරදී සැතපූ මාව
නෙක රස නහර පිනවා දිවගෙහි ගෑව
රස මසවුලක සුවඳක් සුළඟට යාව
තාමත් හිදී නුඹෙ මුලුතැන් ගෙයි ගාව
මතකය සඳුන් තුර සේ නව දළු ලෑම
සෙනෙහස වියෝවක අතු අග පීදීම
චිතකය වගේ ගිනි දැල් හිත වෙළුනාම
සිත කය නොමැති අවකාසෙක මම තාම
මල්ලිකා එම් බණ්ඩාර
7.02. 2020
No comments:
Post a Comment