Wednesday, 29 December 2021

තල මල


 

මහවැළි නිම්නයේ උද්යාන තීරයේ

ගංඉවුර කෙලවරේ 

පිපෙන තලමල් සුවඳ 

පාවෙලා ඇවිදින් 

මතකයේ මං පෙතේ

කැන්දාන ගියා දුර ඈතකට​  


ගන්නෝරු වංගුවේ

ගං දඟරයට  යාව

පුංචි කඳු ගැටය මත

අපේ නිවහනේ සිට

බලා හිටියා කලක්

ගලායන අපූරුව මහවැළිය 

වැහිදාට සැහැසි වී 

ඇදුන හැටි වියරුව​ 

 

සිහින් මීදුම්පොදක්

දුහුල් සළුවක් වගේ

කඳු ගැටය වසාගෙන

තුනීවී යන අයුරු අසිරියකි

ඒ අසිරිමත් නිමෙස​  ගිළිහිලා 

රැඳී ඇත හිත කොනක ගුලිවෙලා  

 

වෙල් යාය සිසාරා

ඇදෙන කිරිකොක් රෑන්

අඳින සිතුවම් රටා

පෙර නිමිත්තක් වගේ  

අනියතවූ සිහිනයක 

ගියෙද​ සීසී කඩව ​විසිරිලා


නුදුරු  උද්යානයේ

අඳුරු තුරු මුදුන් වල

ගිමන් හැර දිවා කල

උඩුකුරුව ලොව දකින​

දස දහස් ගණන් මා වවුල් රැල 

සැඳෑ කළුවර සමඟ

පියාසර කරද්දී සළිතවී ගියෙද  හිත 


ඊතල වේගයෙන් පතිත වී 

වෙරළු දොඹ ගෙඩි වගේ 

ඇද හැලෙන​​ වැහි බිංදු

අතු පතර බිඳෙන විට 

කොපුල් තල තෙමා ගිය කඳුළක් 

මතකයේ බොඳ වුණා

තල් මලේ පෙති ගිළිහෙනා විලස​

 

මල්ලිකා එම් බණ්ඩාර

 10. 03. 2017

 

 

Monday, 27 December 2021

වනක්කම් සෙල්වම්


කැඩුණු සිංහලෙන් වුව

හදේ පිළිසිඳුන පෙම

කියන්නට තතනාපු සෙල්වම්

මෝදුවෙන පෙම් හැඟුම්

සුවඳ හද වෙළෙද්දී

මගෙ හිතට දැනුනේම නල්ලම්

ඒත් බැරිවුණා නෙව

“නාම් උන්නෙයි කදිලික්කඩෙයි”

මුමුණන්න ​ දෙමළෙන්


තුන් බසක් එකතු කොට

තල් අරණ ගැන කියූ

කතා වලටත් වඩා

නුඹෙ දෑස කී කතා 

ආනන්ද ජනක විණි සෙල්වම් 


ඉහුණ පිණි  අහුරු මත

සිනා මල් පිපුණ වත​

තල් අරණ ගිනි අරන්

අසෙනි වැහි වහිනදා

ගෙන්දගම් ගඳ මුසුව

උණු භෂ්ම වැටිණිදැයි

විදුලි කෙටුවා රැයේ තුන්යම්

 

මඟ තොටේ මුණ ගැහී

දෑස් පැටලුනා මිස​

සමුදීමකින් තොරව​

නික්ම යනදා තෙක්ම​

ගොළුවුණේ ඇයිද අපි සෙල්වම්?

 

යාල්පානම් ගිහින් 

නුඹ නැවත එන සැණින්

නෙරළු තුරු නමාගෙන 

කරටි බිඳ හෙළාගෙන

තල් අරණ අළු දූලි වනතුරා

කුණාටුව​ හමා ගොස්

​කැඩී සඥාපුවරු කොළ එළිය නොවැටීම​

යාල්දේවීත් පීළි පැන ගිහින් 


අපිව මුණ නොගැහෙන්න​

අපිව වෙන්කරවන්න​

ජාති ආගම් පවුර​

සවිමත්ව ඉදිවෙලා

 බැඳි බැම්ම දෙපස හිඳ ​

ආයුබෝවන්! කියමි 

වණක්කම්! කියන් මට සෙල්වම්


මල්ලිකා එම් බණ්ඩාර​

20. 12. 2021

 


Monday, 6 December 2021

​දිඹුල පල​

 


ගෙපැලේ පැදුරු කඩමලු සිරි යහන් වට​

ගී පද බැඳෙයි රෑයම මදුරු තනුවට​

නිදිසුව දැහැන් බිඳෙතැයි ළෙහි තුරුළු කොට​ 

එළිවෙනතුරා නිදි වැරුවා දරු දුකට​

 

හිස් හැළි වළං ලිප ළඟ ගිනි තපින කොට​

ගිනිදැල් මෙළවුණේ නොදැනිම පපුව යට​

කිරිකළ හතෙන් නුඹ බෝමැඩ​  දොවන කොට​ ​

මඬ වගුරක් තැනුණි  මගෙ ළය මඬළ යට​

 

දිඹුල මලේ රොන්සුණු වැල් දකින්නට

තවමත් නුඹ රැඳෙයි ගහ මුල සෙවන යට​

මව් පදවියට හිමි  පුද පෙත් නොලද කොට​

නාඬන් නඟේ ලේ  කිරි පැහැ නොවුණාට ​

 

හත් පොලයක්ම දරු හුරතල් බැලූ​ මට​

හත් දීපංකරේ ඉහිරුණ දරු පෙමට​

උහුලනු බැරුව මහගෙයි තනිකම හිතට​ ​ ​

පලබර වුණේ ඇයි කියලා හිතුණි මට​

 

මල්ලිකා එම් බණ්ඩාර​

15. 07. 2014

 

Saturday, 4 December 2021

ළිං මැඩියාණ





​​සවණ සුවපත් කරන​ මියුරු මී තවරාණ

ඇවිත් ඉඳහිට දිනෙක ළිං කටේ ඇනබාන

නිබඳ මා හා දොඩන පිය​ කළණ මිතුරාන

කටුක කට මැත නුඹේ කිඳෙයි හිත තෙරපාන

 

සොඳුරු කෙත් වතු අතර​ නීල තණතිලි සැදුණු

මධුර පැන් තටාකයපස් පියුම් පිරි පොකුණු ​

ගැබ් භරිත අසෙණි වැහි වැටී මුවවිට​ බැඳුණු

සැබෑවක් දැයි හිතේ කුකුසක්   පිළිසිඳුණු

 

ගයන ගී මනලෝල මසිත බැමි බිඳ දාන​  

නුඹ බඳින​ ඉණිමගේ කෙලෙස එමි උරගාන

සෙයිලමේ ඉඳ ඇවිත් මගෙ හිතට තඩිබාන

මාය​ අඳ දෙනෙත බැඳ හිඳින ළිං මැඩියාණ

 

නව සුළං රැල්ලකින් නව පැතුම් දවටාන

නුඹ ඇවිත් සපත කළ​​ සොඳුරු ලොව මනරාම

ඇස්පනා පිට දකින්නට හිඳිමි ඉඳුරාම

එරෙහිවී දුටු කෙණෙහි මනෙත් අඳ කළ රෑන

 

ගලායන නදී තෙර වන ගහ සසලාන

අරා ගිරි බෙයද අණසක පතළ​ මිගිඳාණ,

ළිං ගැට්ට මත හිඳන් පද බඳින කවියාණ

කුමට ඉණිමං බඳිනු පනින උන් ගොඩ දාන​ ​

 

මඬ ගොහොරු ළිං පතුල දිගු කලක් හිටියාම

සඳුන් සුන්නෙහි සුවඳ හැඳින ගන්නද කෝම

දෙනෙත් අඳ වූ මටමදුගඳ ගැන කීවාම​ ​

නුඹත් නුහුගුණෙන් බව හැඟුණි මට ඉඳුරාම​​

 

මල්ලිකා එම් බණ්ඩාර​

25. 11. 2021

Image credit: https://www.flickr.com/photos/water_alternatives/27289850760