Saturday, 16 December 2023

ගුරු තරුව හෙවත් සාරවිට​

ගුරු වෘත්තිය කවදාවත්ම මගේ සිහිනය නොවුණි.ඒක එහෙම වුණත්, හීනෙකින්වත් නොපැතූ ඇතම් සිහින අප අමන්දානන්යට පත් නොකරන්නේම නොවේ. එනමුදු ගුරු වෘත්තිය මා තෝරා ගත්තේම, මොකක් හෝ ආදායම් මාර්ගයක් ඇවැසිව තිබූ මොහොතක, ඉතා පහසුවෙන් ලබා ගත හැකිව තිබූ රැකියාවක් වශයෙනි. 1977 කාලේ බලයට පත්වුණ ආණ්ඩුවෙන් O/L පාස් අයට තොග ගණනට​ ගුරු පත්වීම් දෙනු ලැබිණි.  සරසවියෙන් පිටවී, මා කැමති "හොඳ​" රැකියාවක් පසුව සොයාදෙනතුරු ඉන්න අතරේ, ඒ අකැමැතිම රැකියාව බාරගන්නට මට සිදුවිය​. ඉන්පසු බාරගත්දේ මට හැකි උපරිමයෙන් කිරීමට කැපවුණෙමි.

ඒ දවස්වල, ඒ පත්වීම්වලට කීවේ, "කැකිරි-පිපිඤ්ඤා" පත්වීම් කියලා. පළමු පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ “දුෂ්කර යයි” සැලකෙන කනිෂ්ඨ පාසලකට​. ඒකාලේ අපි කුරුණෑගල නගරාසන්නයේ පදිංචිව සිටි නිසා, ගෙදර ළඟින් බසයට ගොඩවී ඉස්කෝලේ ළඟම හෝල්ට් එකෙන් බැසීමට හැකිවීම දුෂ්කරම නැතැයි මම සිතුවෙමි.

වැඩ බාර ගන්ටත් “අපි දෙන්නම” ගියා.

"ටීචිං වලට යන්නෙ ජොබ් එකක් නැති කමට​. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම​, හෝඩියේ ඉඳන්ම මගේ ගුරුවරු වැඩිදෙනෙක් හොඳ අය​. ඒ වුණාට මම ඒ කාලෙ හිටම්ම, ටීචර් කෙනෙක් වෙන්ට කැමති නෑ." මම මඟ දිගටත් ගියේ චරුචුරු ගගා.

"ටික දවසක් වැඩ කරලා හොඳද බලන්න​. ඒක හරි නැත්නම්, ඔයා කැමති කබල් කන්තෝරුවක කුරුටු ගාන්ට නම්, එහෙම එකක් හොයල දෙන්නං. එතකං ගෙදර නතර වෙන්ට බැරිය"​. ප්‍රතිචාරය​  ඇණුම් පදයක් සහිත වුණත්, ඒකෙන්  හිත හදාගන්ට පොඩි පහේ  අස්වැසුමකුත් ලැබුණා. 

මගේ පත්වීම් වලට සමකාලීනව "කැකිරි-පිපිඤ්ඤා" පත්වීම් ලද සම වයස්ත තරුණ ගුරුවරියන් හතර දෙනෙක් ඒ වනවිටත් ඒ ඉස්කෝලේ  හිටියා. ඒ නිසා කාල සටහනේ මගේ  අධ්‍යාපන සහතික වලට අදාල​ විෂයයක් හෝ ඉඩක් නොතිබුණි. මට එනිසා සතියකට සමාජ අධ්‍යයන විෂය කාලච්ඡේද පහක් පමණක් ලැබුණ අතර සෑම දවසකම "රිලීෆ්" ලිස්ට් එක සම්පූර්ණ කරන්නට සිදුවිය.

 රාජකාරියට ගිය පළවෙනි සතියේම,එම විද්‍යාලයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිරීක්‍ෂණ කණ්ඩායමක් එන්නට යෙදුණි. එදින හයේ පන්තිය භාර ගුරුවරිය නොපැමිණි නිසාත්, වැඩක් නැතිව කල් මරන්ට සිදුවෙන නිසාත්, ළමුන් නිහඬව තියාගන්ට අදහස් කළෙමි. ඒ අනුව​ මම ඒ පන්තියට ගොස් එදිනට නියමිත​ විෂය මොකක්දෑයි ළමුන් ගෙන් ඇසුවෙමි.

අලුතෙන් ඉස්කෝලෙට ආව තරුණ ටීචර්! හැමෝම පුළුල් හිනාවක් මූණේ තවරාගෙන මං දිහා බලාගෙන ඉන්නව​. මගේ අවධානය දිනාගන්ට තරඟෙට වගේ. ළමයි බොහොම උද්‍යෝගයෙන් මාව පිළිගත්තා.

“සිංහල​" ඔවුන් එක හඬින් පිළිතුරු දුන්නා.

දිනට නියමිත සිංහල පාඩම වුණේ "එස් මහින්ද හිමි" නම් පාඩම. පන්ති පොතේ තිබුණේ මොනවාදැයි නොදැන සිටි මුත්, මාතෘකාව කළු ලෑල්ලේ ලියා පාඩම පටත් ගත්තෙමි.

මුළු පන්තිය පුරාම ඇස් යවලා," කව්ද එස් මහින්ද හිමි අඳුනන්නේ? දන්න අඳුනන අය​ අත උස්සන්ට බලන්ට”. හීන් හිනාවකුත් එක්ක​, මම ළමුන් ගෙන් ඇහුවා. 

ළමුන් කීවේ " හාමුදුරුකෙනෙක්" කියලා විතරයි. 

“හාමුදුරුකෙනෙක් විතරද​?”

මම පන්තිය පුරා ඇස් යවමින් ළමුන් සමඟ හීන්වට හිනා වුණා.

හැම ළමයෙක්ම ප්‍රතිසිනාවකින් මා දිහා බලා ගෙන හිටියා. අපූරු හිනා, නානාප්‍රකාර හිනා, අව්‍යාජ බවේ කැඩපත් වගේ, හදවත් විනිවිද පෙනෙන අකලංක හිනා යායක්!

“හොඳයි, එහෙනම් අපි අද කතාකරමු එස් මහින්ද හිමි ගැන”​.

මා එහෙම කියනකොටම පරීක්‍ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් පන්තියට ඇතුල් වුණා.  පන්තියේ පිටුපසට ගොස් වාඩිවෙන ලෙස මම දකුණතින් සඥා කළා. නිලධාරියා පන්තියේ පිටුපසම බංකුවේ වාඩිවුණා.

ඉතින් මාතෘකාවට ප්‍රවේශයක්, නැත්නම් හැඳින්වීමක් විදියට මම O/L සහ​ A/L කරන කාලේ, එස්. මහින්ද හිමි ගැන ඉගෙන ගත්තදේ මතකයෙන් කෙටියෙන්, කරුණු වශයෙන් කියලා දෙන ගමන් ඒ කරුණු කළු ලෑල්ලේ ලීව​. ඒ කරුණු සාරාංශ කරලා ගත්තම පාඩමෙන් ළමයි ඉගෙන ගත යුතු මූලික පරමාර්ථය සපිරෙනව​.

අන්තිමට, “මේ මහින්ද හිමියන් ගේ ප්‍රසිද්ධ ළමා කවියක් තියෙනව.  දන්න කෙනෙක් කියන්ට බලන්ට" මං පන්තියෙන් ඇහුවා. ළමයි එකිනෙකාගෙ මූණින් මූණ බලනව​, 

ඉතින් මම, "සමන්පිච්ච මල් ඉහිරුන" කවියේ මුල් පදේ මතක් කළා. මතක් කරලා,

 "සමන්පිච්ච මල් ඉහිරුන - නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු - කොච්චර ලස්සනද රෑට"​

ඒක කළු ලෑල්ල්ලේ ලීවා.

ඊට පස්සේ වාක්‍යයක් කියවන්නා වගේ වරක් කියවාගෙන ගියා. දෙවෙනි සැරේ කවියේ තේරුමත් කියලා දෙමින්ම​; රෑ තරු ඉහුණ අහසත් ඒ දිහා බලා සිටින පුංචිඋන් තුන් දෙනෙකුත් සහිත​ චිත්‍රයක් ඇන්දා.

ඊටත් පස්සේ, “දැන් මම මේ කවිය ගායනා කරනව​. අහගන්න” කියලා මගේ හඬින් මං කවිය තාලෙට කීවා. 

 ගෙදර ලොකු අක්කා කවියක් කියනවා වගේ සමහර දරුවන්ට දැනෙන්ටත් ඇති!

ඊළඟට​ මාත් එක්ක කවිය ගායනා කරන්ට ළමයින්ට කීවා. ළමයි ලස්සනට ගායනා කළා.

"කාටද මේ කවිය තනියම, ලස්සනට කියන්ට පුළුවන්?"

මගේ අතක් ඉහලට ඔසවලා ආයෙත් මං ඇහුවා. ළමයි දෙතුන් දෙනෙක් අත් ඉස්සුවා. ඒ අයට ගැයීමේ අවස්ථාවත් දුන්නා. ළමයින්ගේ උනන්දුව ගැන පොඩි පහේ ඇගයීමකුත් කරලා විනාඩි තිස් පහකින්  පාඩම අවසන් කළා.

"පන්ති අත්පොතේ තියෙන විස්තරය අද ගෙදර ගිහින් හොඳට කියවාගෙන එන්න. හෙට ඔයාලගේ ටීචර් ආවම,​ ලොක්කෝ වගේ උත්තර දෙන්ට පුළුවන් හැමෝටම". කියලා අවසාන වශයෙන් ළමයි හෙට දවසටත් සම්බන්ධ කළා.

පාඩම ඉවර කරනකොටම අර නිලධාරියා ගුරුමේසය ළඟට ආවා.

ඇවිත් "වාර සටහන්, සති සටහන්, දින සටහන් දෙන්න මෙහාට" කීවා.

" මේ විෂය භාර ටීචර් අද නිවාඩු. මේ මගේ ෆ්‍රී පීරියඩ් එක. පන්තියේ ළමයි නිශ්සබ්දව තියාගන්ට ඕන නිසයි මම මේ පන්තියට ඇවිත් පාඩම කළේ" කියලා කීවා. ​

"එතකොට ප්‍රින්සිපල් පැවරීමක් කළේත් නැද්ද​?"

"නෑ. මම කැමැත්තෙන්මයි ආවේ". කියලා මම කීවා.

"කිසිම සූදානමක් නැතුව මෙහෙම පාඩමක් කරනවා දැක්කේ පළවෙනිවතාවට". නිලධාරියා මාව ප්‍රමාණයටත් වඩා ඉහලම අත්තේ තැබුවා කියලා මට හිතුණා. 

 දිනට නියමිත පරීක්‍ෂණ අවසානයේ ගුරුමණ්ඩලය සහ පරීක්‍ෂක කණ්ඩායම හමුවුණ  වෙලාවේ ඒ නිලධාරියා මාව විශේෂ පැසසුමට ලක් කරලා ලොග් එන්‍ට්‍රියකුත් සටහන් කරලා ගියා.  

කොහොම හරි මට ඉස්කෝලේ ප්‍රියමනාප තැනක් වුණා. වෙනත් "හොඳ ජොබ්" හඹා යාමේ ඕනෑකම මගෙන් ගිළිහුණා. කුඩා ඉස්කෝලෙක අහිංසක දෙමව්පියන් ගේ දරුවන්  සමඟ ගතකරන්නට වීමම මගේ සේවය අවංකව නොපිරිහෙලා ඉටු කරන්ට​ මගේ හිතට බලකළා. එයින් ලැබුණ ආත්ම තෘප්තියට මිලක් නියම කිරීමට පහසු වුණේ නැහැ. මාස කීපෙකට​ පස්සේ පෞද්ගලික හේතූන් මත වෙනත් මහා විද්‍යාලයකට මාරුවීමක් හදාගෙන යන්ට සිද්ධ වුණා.

පසු කාලයේ, දිවයිනේ ජනප්‍රිය ගැහැණු පාසලකට මාරුවීමක් ලැබ යන්නට සිදුවූ අතර ඒ සේවා  ස්ථානය​ මගේ ජීවිතයට තාරුණ්‍යයේ නැවුම් බව නැවත වරක් උකහා ගන්නට  ලැබුණ මහඟු අවස්ථාවක් උදා කළා. ඒක හරියට නැවත ඉපදීමක් වගේ, එහෙමත් නැත්නම් ගිළිහී ගිය යුගයකට අවතීර්ණ වීමක්. යෞවනයේ සෞන්දර්යයෙන් පිරුණූ අඩවියකට පුනරාගමනය වීමක් වගේවුණා. එවර මට ලැබුණේ උසස් පෙළ පන්ති දෙකක දේශපාලන විද්‍යාවත් ආර්ථික විද්‍යාවත් ඉගැන්වීමට​. මහළු වෙනබව අමතක වෙන තරමට ඒ යෞවන දැරියන් සමඟ ගත කළ කාලය මගේ ජීවිතය සෞදර්යයෙන් පිරිතිරුණ යුගයක් වුණා. බොහෝ දැරියන් ඔවුන් ගේ පෞද්ගලික ජීවිතය බෙදා හදා ගැනීමටත්, දුක් දොම්නස් සමනය කර ගැනීමටත් මා සොයා ආවා. ඒ බොහෝ දෙනා, මා ඉගැන්වූ විෂයයන් හැදෑරූ දැරිවියන්ම නොවේ.

 සමහර දැරියන්, යොවුන් අත්දැකීම් සමඟ පොරබදන​, පෙම්වතුන් සමඟ ඇතිකරගත් ආරවුල් විසඳා ගැනීමට මඟක් සොයන, ගෙදර දොර දෙමව්පිය අඬ දබර වල පීඩාවෙන් මිදීමට විසඳුමක් සොයන අය​,  ඔවුන් නොපැකිලව, විවෘතව පෞද්ගලික ජීවිතය මා සමඟ බෙදා ගන්ට  ආවා. සමහරු  මගේ සමීප යෙහෙළියන් මෙන් ගුරුමණ්ඬළයේ අඩු පාඩු මා සමඟ කීවා. සමහර විට නොඅනුමානවම​, මා ගැනත් ඔවුන් ගේ විවේචන අනික් ගුරු සාමාජිකාවන් සමඟ කියන්ට ඇති!

කොහොම වුණත්, වරක් තම මවගේ අනියම් සැමියාට තමන් ගොදුරු වෙතියි බියපත් දැරියක්, තමන්ට ජීවිතය අතහැරීමට සිදුව ඇති බව ඉකිබිඳිමින් මා සමඟ පැවසූවා.  ඒ   අවස්ථාවේ, එවක විදුහල්පතිණිය දැනුවත් කොට දැරිය වෙනුවෙන් මැදිහත්ව, සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව බාලිකා නේවාසිකාගාරයේ ඇයව​ රඳවන ක්‍රමයක් සකසන්නට කටයුතු කළා.

ඒ කාලය තුළ මම මගේ ශිෂ්‍යාවන් අධ්‍යයනය කළෙමි. මම ඔවුන් ගෙන් ජීවන පාඩම්  ඉගෙන ගතිමි.  තරුණ දැරියන් වුවත්, ඔවුන් තුළ සැඟව ඇති තවමත් නොමේරූ කට්ට කෛරාටික ගැහැණුකම්, ඔවුන් ගෙන් ඉගෙන ගතිමි. සැබෑ ජීවිතයේ වෙහෙසින් හෙම්බත් සිතට සිහින් පවනැල්ලක් හමන්නාක් මෙන් දැනෙන්නට විය​. දහස් ගණනක දැරියන් ගේ සිනා සපිරුණ මුහුණු දකින විට, මගේ දුක් දොම්නස් සිඳී ගියේය. කායික සහ චිත්ත වේදනා සමනය වී ගියේය. කොටින්ම ගෙදර ගෙදරම තබා දැරියන් ඉදිරියේ නොසිඳුන ආත්ම ධෛර්යයෙන් යුතුව සිනාසුනෙමි. රිදුන බිඳුන සිත පිරියම් කරගෙන, ඉඳ්‍රඛීලයක් සේ නැඟී සිටියෙමි. ඒ තරුණ දූවරුන් සමඟ ගෙවෙන දවස් මට දැනවූයේ නේක වර්ණ සුගන්ධයෙන් යුත් මලින්  සපිරුණ  උද්‍යානයක හිඳින විට දැනෙන අන්දමේ  ආශ්වාදයයි.

සෑම අවුරුද්දකම අළුතින් මගේ පන්ති වලට ඇතුළත් වෙන දැරියන්ට මා හඳුන්වා දුන්නේ, "මමත් ඕගොල්ලන් ගෙම වයසේ,  ඒනිසා තරුණ වයසේ ගැහැණු ළමයින්ට ඇතිවෙන, දැනෙන හැඟෙන​  ප්‍රශ්න ගැන මට තේරෙනව​. ඔය වයසේ ගෑණු ළමයින්ට, ඔය ​ විෂය කරුණු වලට අමතරව, වෙනත් එදිනෙදා ජීවිතේදි මුහුණ දෙන්ට සිද්ධ වෙන පෞද්ගලික ප්‍රශ්න තියෙන බව මං දන්නව​. සමහර දේවල් අම්මලාට කියන්ට බෑ. තවත් දේවල් යාලුවෝ එක්ක කියන්ටත් බෑ. ඒ අය ප්‍රශ්නෙට පියාපත් හදලා දෙනවනෙ නේද​​?”

"මෙයා විශ්වාසද​?" සමහර ළමයින් ගේ දෑස් වල ප්‍රශ්නාර්ථයක් ලියැවෙලා වගේ මට දැනෙනව​.

“තවත් සමහර සිද්ධි ඕගොල්ලන්ට බර වැඩියි. නමුත් ඒවා දරා ගන්ටත් අමාරුයි. එහෙම වෙලාවට ලැජ්ජාවෙන්ටවත් බයවෙන්ටවත් එපා. මට කියන්ට, හොඳේ! මං වැඩිහිටියෙක් වුණාට ඔයාලව තේරුම් ගන්ට පුළුවන්  සමවයසේ ගෑණු දැරිවියක්...." ශිෂ්‍යාවන් ගේ මුහුණු පුරා හිනාරැල්ලක් පෙරළීගෙන පෙරළීගෙන යනවා.  හිනාව තුනීවෙන්ට​ ඉඩ ඇරලා  මං මොහොතක්  නිහඬ වෙනවා. 

 "අපිට ඔය වයසෙදි, සමහර විට​ අපිට ඕනම වෙලාවෙදි, එහෙම විශ්වාසවන්ත​ කෙනෙක්, දැනුම් තේරුම් ඇතිකෙනෙක් හොයාගත්ට හිටියේ නෑ”. කියන ගමන්ම​ පන්තිය පුරාම දෑස් යැව්වා.  .

මුලින් තිබූ රාජකාරී පෙණුම වෙනුවට බෑරෑරුම් එහෙත් ළෙන්ගතු බවක්, විශ්වාසය තැබිය හැකි බවත් මගේ මූණේ ඇඳෙනවා වෙන්ට ඇති. මගේ හඬ සංවේදී වෙනවා ඇති. දැරියන් ගේ මුහුණු විශ්වාසයෙන් පිරෙන බව මට දැනෙනව​. ඉතින් මේ විදියට, පලවෙනි මුණ ගැහීමේදීම ඇතිවෙන විශ්වාසය මත, අවුරුදු දෙකක් තිස්සේ ඔවුන් ගේ ප්‍රගතිය සඳහා ඇපකැපවී, දාහත් වසරක්ම  ජීවිතය ගෙවී යන්නට යෙදුණි. එහි ප්‍රතිලාභයක් විදියට, ​ වෘත්තීය ජීවිතයේ ලද විවිධ අත්දැකීම් මැදින් විශ්‍රාමිකව, රුපියල් දාහත් දාහක විශ්‍රාමික වැටුපක උරුමකාරියක වීමි.   මූල්‍යමය වටිනාකම ගැන සලකන විට නම් එදා මා ගත් තීරණය බෙහෙවින් අවාසි සහගත වී ඇත​යි මට හැඟුන නමුත්, වරක් එක් දැරියක් මට ලියාඑවූ  ,"දයාබර ගුරුතුමී, නුඹ මගේ ගුරු තරුව..." යන කෙටි වැකිය දැකීමෙන්,  අඳුරේ ඇවිදින දහස් ගණන් මඟීන් අතරින් එකෙකු හෝ පය නොපැකිළී ගමනාන්තයට ඇරලන්නට මා ආලෝක පුංජයක් විනැයි මා තුළ මා ගැනම ගෞරවයක් ඇතිවිය​. 

එදා ලද තෘප්තිය තාමත් සුවඳ ධූපයක් සේ මගේ සිතිවිලි අතරේ පැතිර සුවඳවත් වෙනු මට දැනෙනව​. මා අකැමතිම රැකියාව ලෙස සැලකූ ගුරු වෘත්තිය තුළ දීර්ඝ කාලයක් මා  සජීවීව නැවුම්ව තැබුවේ මගේ ආදරණීය ශිෂ්‍යාවන්‍ මිස, මගේ වෘත්තීය හා සබැඳුන වැඩිහිටියන් නොවේ. එවන් අය හිටියා නම් ඒ අතළොස්සකි. 

1995දී මගේ දරුවන් වෙනුවෙන් අසීරුම තීරණයක් ගෙන,මගේ සිසු දැරියන් මගේ මතකයට එකතු කළ මිහිරි අත්දැකීම් සහ එහිම වැඩිහිටියන් නිසා මා ලද අමිහිරි අත්දැකීම් සම්භාරයද​ සමඟ​ මම මව්බිමට ආයුබෝවන් කීවෙමි. 

මගේ හදිසි විප්‍රවාසය​ වැඩිහිටියන් බොහොමයකට​ ළිඳළඟ සබයේ සැසිවාර ගණනාවකට සෑහෙන "කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි - ඉඟුරුපියළි කොත්තමල්ලි චුණ්ණපූග නාගවල්ලි" අඩුම-කුඩුම නිසි පදමට එකතු කරගත් සාර විටක් වූ බව, අතලොස්සක්වූ මගේ සහෘදයින් විසින් මට දන්වා එවන්නට යෙදුණි. 

මල්ලිකා එම් බණ්ඩාර​

7. 10. 2023


Sunday, 10 December 2023

පරණ පුටුවක්

 

ළිහී වේවැල්  කැඩුණ පුටුවක්   

මිඳුල කෙලෙවර තනිවෙලා

මතක රැහැණක් වෙළී පැටලී

හිඳී නොළිහී දැවටිලා

 

නෙළා ගන්නට​ කෙනෙක් නොමැතිව​

පිච්ච වැල යට වැතිරිලා

මලක් නැති මුත් සුවඳ පමණක්

රැඳෙයි හිත් ලෙන තැවරිලා

 

සිහින් වැලිමත ඇඳුන පා සන්

නුඹ සමඟ පියමං වෙලා

මැකී ගිය මුත් නිනඳ නංවයි

මා සවන් ගැබ නළවලා

 

මල්ලිකා එම් බණ්ඩාර​

10. 12. 2023

Wednesday, 6 December 2023

නත්තල් වැස්ස

 

හීන් වැහි පොද මල් පියළි ඉසින්නාක් මෙන් ජනේල පියන් මත පතිත වෙන්නට විය​. දෙසැම්බර් මාසයේ වැටෙන මේ සිරිපොද වැස්සට, පුංචි සන්දියේ අපි කීවේ නත්තල් වැස්ස කියලාය​. ඒ සිහින් වැස්සේ අමුතුම සුන්දරත්වයක් මම දකිමි. පුරා සති දෙකක් එකදිගට පැවති වැහි මන්දාරමත්, නිරන්තර හුළඟේ කෙඳිරිල්ලත්, මඳින් මඳ විසිරුණ වැස්සත් නිමාවට පත් කරමින් උඳුවප් වැහි පටන් ගෙන ඇත​. උත්තර ද්‍රැවයට හිම වැටෙන​, දක්‍ෂිණ ද්‍රැවයට ගිම්හාන අසිරිය ගෙනෙන, බෙත්ලෙහෙම් එඬේරුන්ට එළිමහනේ තම බැටලු රංචුව දිගේලි කරන්නට, ආශිර්වාද කරන ස්වභාව සෞන්දර්යය​ භෞතික විචිත්‍රත්වයන් ඒකතාන වීමේ පෙරනිමිති පහලවී ඇත.

මුළු අහසම ඝණ රිදී වළා කවරයකින් ආවරණය වෙන්නට පටන් ගත්තේ අද උදේය. හීන් මීදුම තරළයක් පරිසරය පුරා විසිරී ඇත. දින ගණනාවක් අඛණ්ඩව විලිරුදාවෙන් මිරිකී, අවසන කුළුඳුල් දරුවා ප්‍රසූත කළ තරුණ ගැහැණියක මෙන් අහස සන්සූන් ස්වභාවයකට පත්ව නිසල විය​. තුරුපත් මත වැටෙන සිරිපොද වැස්ස කෙමෙන් බර වැහි බිඳු බවට පත් වෙලා වහලය මතට ලතාවකට වැටෙන හඬ මා තුළ ප්‍රමෝදයක් දනවන්නට සමත් විය​. අහස වසාගත් හරිත වර්ණ ඕක් වියන මත වැහි බිඳු වැටෙන විට චමත්කාර ජනක ගැඟීම් වලින් සිත පිරී යයි.

කුඩා ඇලපාරට යාව ඝණව වැවුණු ලිලී මල්ගස් යාය මත පතිත වෙන වැහි පොද නිසා උත්පාදනය වෙන මෘදු ධ්වනිය කිසියම් ගීතයක් සිහිපත් කරයි. වැස්ස විසින් අවට පරිසරයෙහි නිර්මාණය කරන තානය කන්කළුය​. ස්වභාවික පරිසරයෙන් මතුවන මේ හඬට සවන් දෙන්නට කවදත් මා තුළ ඇත්තේ මහත් අභිරුචියකි.

ඉතින් මෙවැනි වැහිබර දවසක​, කිතුල් හකුරු කෑල්ලක් සමඟ සිලෝන් ටී එකක රස විඳින්නට ලැබීම භාග්‍යයක් නෙවෙයිද​? කිතුල් හකුරු සහ තේ සුවඳ නැහැ පුඩු තෙරපාගෙන යද්දී මගේ මතක පියාපත් සලන්නේම පොල් රබර් කොකෝවා සහ කෝපි වගාවන් ගෙන් අලංකෘත​ උපන් ගමටය. තේ වගා කළේ කන්දේ එහා බෑවුමේය. එනම් ඉඳුල්ගොඩකන්ද නමැති තවත් අතිරමණීය කඳු මුදුනක් පුරා පැතිරුණු තේ වතුයායේය. ගමේදී වැස්ස, වහින්නේ මීදුම් රොටු වලින් එතුන කන්දෙන් පටන් ගෙන කුඹුරු යායට පිනිදිය ඉසින්නාක් මෙනි. අව්වැල්ලක් වැටී කන්ද නැවතත් පැහැදිළි වෙන හැටි බලන්ට ලස්සනය​.

මාර්තු අප්‍රේල් කාල වල පතනය වෙන මෝසම් වැස්සත්, ඔක්තෝබර් නොවැම්බර් මාස වල ඇද හැලෙන මෝසම් වැස්සත් අපේ පළාත් වලට පැල් බැඳගෙන වහින්නේය​. සීතලය මදිවාට නහයෙන් කටින් කූඩැල්ලන් කඩන්නට සිදුවන වැසි සමය අප්‍රිය නමුත්, කුඩා අවදියේදී වැසි සමය සහ සබැඳුන එදිනෙදා සිදුවන කටයුතු වලට අමතරව විවිධ කැවිලි පෙවිලි සැකසෙන බැවින් වැසි කාලය අප අමන්දානන්දයට පත් කළේය​. අම්මාත්, කිරිඅම්මාත් වැසි කාලයේදි ප්‍රයෝජනයට ගැනීමට, කොස් මඳුළු වේලා ගුල්ලන් නොවිදිනසේ පරිස්සම් කරගනු ලබයි. එමෙන්ම කොස් ඇට, වැලි කොස් ඇට ලෙසත් අටුකොස් ඇට ලෙසත් වෙන වෙනම සකසා ගනු ලබයි. කුඩා වියේදී කෝපි හෝ තේ සමඟ​, අටුකොස් ඇට වලින් තැනූ අග්ගලා කෑමට අපි බෙහෙවින් ප්‍රිය කළෙමු.

පළාතෙන් පළාතට වැස්ස වහින හැටි වෙනස් ය. පේරාදෙණියේ පදිංචියට ගියාට පසු වැස්ස වෙනත් ආරකින් හැඳින ගතිමි. පේරාදෙණි වැස්ස දුවන වැස්සකි. ඒ වැස්ස හන්තාන වැටිය මුදුනින් පැන රණබිම පසුකර රාජකීය උද්‍යානය වෙළා ගන්නේ මහත් ස්නේහයකිනි. දොඹ ගෙඩිතරම් ලොකු වැහි බිංදු බරසාරය​. අයිස් වගේ සීතලය. රිදියෙන් කළ ඊතල මිටියක් විදින්නාක්මෙන් සුළඟට වැහි බිංදු පතිත වෙන්නේ ඇලේටය​. හරියටම අහසත් පොළොවත් යාකර රිදී ඉණිමං බඳින්නාක් මෙනි.  බලාගෙන ඉන්ට ලස්සනය. සවන්දී ගෙන ඉන්ට තරම් ළගන්නා සුළුය​. දරුවන් කුඩා කාලයේදී,  අවුරුදු දොළහක්ම මගේ සැමියා කොළොම්පුරේ සේවය කළ බැවින්, පාසලෙන් පසු බොහෝ විට අපේ කාලය ගෙවුණේ ගෙදරමය​. මෙසේ අප​ ගෙදරටම සීමා ​වීම නිසා දරුවන් පොත් පත් කියවීමට ඇබැහි වූයෙන්, හුදකලා වන මා​ වැස්සේ සෞන්දර්‍යය ආශ්වාදනය කළෙමි.  ඇතැම් දිනවල​, දරුවන්ටද වැස්ස පිළිබඳ කවි කතා කියන අතරේ ජනේලය තුළින් වැස්සේ සුන්දරත්වය විඳින්නට සැලැස්සුවෙමි. මවිසින් පත්තර පිටු වලින් සෑදූ කුඩා බෝට්ටු, වැහි දියේ පාකර හරිමින් ඔවුන්ද අමන්දානන්දයට පත් වන හැටි බලා සිටියෙමි.

පසු කාලයේ ප්‍රිම්‍ රෝස් කන්දේ අපේ ගෙදර සිට, කඳු දෙබොක්කාව අතරේ දැවටුන මීදුම් කැරැළි අතරින් වැස්ස පාවෙන, කිමිදෙන හැටි අපි සියළු දෙනාම බලා සිටියෙමු. ඒ ගෙදරදී,, වැඩුණු දරුවන් සමඟ වැස්ස වින්දේ අප එකිනෙකාගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට සාපේක්‍ෂවයයි මට සිතේ. අවුරුදු දෙකහමාරක හඳුනා ගත නොහැකි, සුව නොවන රෝගී තත්වයක් සමඟ පොර බදමින් මා ජීවත්වූ ඒ දිනවල, දරුවන් පාසල් වලටත් මගේ සැමියා සේවා ස්ථානයටත් ගිය පසු මට නිවසේ හුදකලා වෙන්නට සිදුවිය. කිහිළිකරු ආධාරයෙන් ඇවිදිමින්, එවන්​ හුදකලාවක් සමඟ මා ප්‍රිම්‍ රෝස් කඳු සිරස සිට ගලන මීදුම් පදාසය​ විනිවිද, ඔහේ ජනේලය​ තුළින් දෑස් මුදාහැර​ බලා සිටියෙමි.

ඈතින් දිස්වෙන මහනුවර නගරයත් ඉන් ඔබ දන්තධාතු මන්දිරයත්, ඊට යාබද උඩවත්තා කැළයත්, බොඳවූ චිත්‍රයක් මෙන් මගේ දෑසට හසුවේ. ඒ දිනවල මා සිත තුළ ඉළිප්පෙමින් කිඳාබසින එකම අරමුණ වූයේ මා මෙයින් ගොඩ නොගිය හොත් දරුවන් ගේ කලදවස කුමක් වේද යන භයංකර​  සිතුවිල්ලය​. දරුවන් තනිනොවෙන්නට නම් මා කෙසේ හෝ ජීවිතය අල්ලා ගෙන සිටිය යුතු බවය. මගේ ජීවිතය හා බැඳී වෙළී තිබූ ජීවිත හතරක් අතහරින්නේ කෙලෙසදැයි යන සිතුවිල්ල මට දරාගත නොහැකිවිය​. ගතේ වේදනාව මැඩගෙන දරුවන් ගේ එදිනෙදා ඉගෙනීම් කටයුතු ගැන සොයා බැලීම මගෙන් ගිළිහී යමින් පැවතින​. ඒ වන විට දරුවන් තිදෙනාම, තම තමන් ගේ වගකීම් තේරුම් ගෙන මහත් උවමනාවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන්නට පුරුදුවී සිටීම මහත් අස්වැසිල්ලක් විය​. සුපුරුදු කෙළිකවට සිනා හඬ වෙනුවට ගෙදර පුරා දැඩි නිශ්සබ්දතාවයක් අරක් ගෙන තිබිණි. ඒ වෙනුවට ඔවුන් බොහෝ විට පොතක් අතැතිව​ මා අසලින් වාඩිවී නිහඬව කියවන්නට ​ පුරුදුවී තිබුණ අතර, කියවන පොත සම්බන්ධව මතුවන කතා බහකින් අපි දොඩමළු වීමු. 

ඒ අමාරුම කාලය තුළ ඉඳහිට හෝ අපේ දුක සැප බලන්නට ආවේ බැරි අමාරුවෙන් ඇවිදින අම්මා පමණි. ඒ එන විට​ ඇය​ හාල් සහ පොල් සහ ගමේ එළවලු ඇයට හැකි තරමින් ගෙනාවාය​.

"පෙර ආත්මෙක කරපු පාප කරුමයක්ද කොහෙද. නොකළ වෙදකමක් නෑනෙ”. එවැනි දවසක මගේ හිත හදන්නට මෙන් අම්මා කීවාය​.

මා ගැන විස්සෝප වෙන අම්මා, “මගෙ අම්මා හිත හයිය ඇතුව හිටපං. කාලාන්තරයක් තිස්සේ විඳවලා හරි හොඳ වෙන ලෙඩ රෝග තියෙනව​. පරඬැළක් හරි කමක් නෑ, දරුවන්ට අම්මා කෙනෙක් ජීවත් වෙනවා කියන එක ලොකු දෙයක්" යයි කියන්නීය​.

ඒ වනවිට, ගේ සෑදීම සඳහා ගත් බැංකු ණය වාරිකය ගෙවෙමින් තිබූ නිසා අපේ මාසික ආදායම හරි අඩකටත් වඩා පහත වැටී තිබුණි. අසනීප වූ මා සඳහා අවශ්‍ය බේත් හේත් සහ අමතර ආහාර පාන වියදම අනුව​, අතට එන මුදල් කළමනාකරණය කරන්නට බැංකු කළමනාකාරවරයා මහත් පරිශ්‍රමක් දැරූබව දනිමි. ඒ දිනවල, ගෙදර දුරකථනය දවසට දෙවරක් හෝ තුන් වරක් නාද කළේ ඔහු පමණි. ඒ මගේ බේත් වේල් හරියට ගත්තාද යන්න නිශ්විතවම දැනගන්ටය​. ඥාතින් හෝ මිතුරන් සිටියේම නැත​. ඉන්නට ඇත, ඒත් උන්ගේ දුරකථන පවා ගොළුවී ගොස් තිබුණි.

ලොකු මුද්‍රිත අකුරු වලින් "විපත මිතුදම මැනීමේ උරගලකි" යන වැකිය ෆ්‍රේම් කර ගමේ කඩේ බිත්තියේ එල්ලා තිබුණා මගේ මතකයට ආවේය​.

ඒ අවුරුදු දෙකහමාර තුළ අමුත්තන් පිළිගැනීම්, ප්‍රියසාද, අල්ලාප සල්ලාප ඒ වහලය යට සිදුවුණේම නැත​. ජනාකීර්ණ නගරය​ තුළ අප හුදකලා වූයේ ජන ශුන්‍ය දේශයක ජීවත් වන එකම පවුලක් විදියටය​. අවුරුදු දෙකක අවපාත කාලපරිච්ඡේයක් නිමා කොට මා සුව අතට හැරෙන්නට විය​.​

ඉතින් මා නැවත වරක් සුභ වාදීව ජීවිතය වැළඳ දැඩිව අල්ලා බදා ගතිමි. අන්ධකාරය විනිවිද මතුවුණ රිදී රේඛාවක් මෙන් බොඳවෙමින් පැවති ජීවත්වීමේ බලාපොරොත්තුව ආශ්චර්‍යයකින් යළි මෝදු වෙන්නට විය​. සිනා හඬ වියැකී ගිය ගෙදර නිහඬතාවය බිඳී, හීන් සිනා රැළි ගෙයි හතර කොණින් මතුවිණි. ජීවිතය අළුතින් පටන් ගත්තාක් මෙන් අපි කාතුළත් බලාපොරොත්තුවක් ලියළා වැඩුණි. නව පිටුවක්, නව යුගයක් ගැන අපි එක්ව සිහින දැක්කෙමු.

"අපි දරුවොත් අරන් වෙන රටක පදිංචියට​ යමුද?"

දවසක මගේ සැමියා ඇසුවේය​. මම නිහඬ වූයෙමි. නැත, නිරුත්තර වූයෙමි.

දින කීපයකට පසුව ඔහු ඕස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලයෙන් විදේශගත වීම සඳහා අවශ්‍ය​ ඉල්ලුම් පත් දෙකක් ගෙනවිත් තිබුණි. එයින් එකක් ඕස්ට්‍රේලියාවට​ වීසා ලබා ගැනීම සඳහාත් අනික නිව්සීලැන්ඩ් සඳහාත්ය​. සති කීපයක් පුරා මධ්‍යම රාත්‍රිය වෙන තුරුත් අප, තර්ක ප්‍රතිතර්ක මැද විදේශගත වීමට ​ පක්‍ෂව සහ විපක්‍ෂව​ කරුණු ගොනු කළෙමු. "වැඩි ලකුණු තියෙන්නෙ ඔයාට​. මේක අපේ අන්තිම තුරුම්පුව​". 

අන්තිමේදී මට දරු පවුල උදෙසා එකඟ වෙන්නට සිදුවිය​.අන්තිමට අත ඉතුරුව තිබුණේ දැයි නොදනිමි. තුරුම්පුව කුමක් දැයි මම අදවත් නොදනිමි. 


මල්ලිකා එම් බණ්ඩාර​

4. 12. 2023


Thursday, 30 November 2023

ගමයි මමයි

 

ගමයි මමයි
මේ ආගන්තුක සිතුවිලි පරම්පරාව මේ දවස් වල මගේ සිතේ පිළිසිඳෙන්නේ ඇයිදැයි මම නොදනිමි. ගමේ ගොස් ආවාට පසු මගේ ළමා වියේ සිට මේ දක්වා මතක නැවතත් නව මුහුණුවරින් පණ පෙවෙන්නට පටන් ගෙන තිබේ. ​එමෙන්ම මා ඒ ලෝකයටත් මේ ලෝකයටත් නැති හුදකලා ජීවියෙක් බව මට හැඟෙන්නටද​ පටන් ගෙන තිබේ. මගේ ඇතුලාන්තයේ සිට​ මතුවූ සංවේදණීය ගීතයක් මෙන් අම්මාගේත් තාත්තාගේත් නොවියැකී ගිය හඬ මාතුළ නිබඳ නිනඳ දෙයි.

තාත්තාගේ මරණයෙන් පසු මා තුළ ඇතිවූ තනිකම අසරණකම, අනාරක්ෂිත​ බව වගේම හිස් පාලු බව මා ජීවිතයේ කිසිදාක කිසිවෙකු නිසා අත්විඳ නැත​. තාත්තා මිහිදන් කළ සති අන්තයෙන් පසු ඇතැම් විට මම මහා භීතියකින් හිරිවැටී තැති ගත්තෙමි. මට දැනුණේ මිනිස් පුළුටක් නැති, කිසිම සජීවිසත්වයෙකු ගෙන් තොර හිස් පෘතුවිය තුළ​ මා පමණක් තනිව ඇති බවකි. නන්නාදුනන මහ මූකලානක මඟ තොටක් ඇස ගැටෙන මානයකවත් නැති හවස් යාමෙක මා මංමුලාවී ඇති විටක දැනෙන අන්දමේ සැක සංකාවන් ගෙන් මා සළිත විය​. මේ මානසික ඇදවැටීමත් සමඟ මා අතෙහි දැඩිව සිරකරගත් ස්වර්ණමය අසිපතක් මාතින් ගිළිහී ගිය බවක් මට දැනුණි. යුධ බිමක තනිවූ සෙබළියක මෙන් මගේ උරහිස් පහතට කඩා වැටුණි. මාහැඟි මිණි කිරුළ අහිමිවූ කුමරියක මෙන් මා බෙළහීන වෙන්නටත්, අවමාණ පරිහාස වල ගොදුරක් වීමේ ඉඩකඩ ඇති වියහැකි බැවින් ම​හත් පරාජිත බවකින් මගේ හිත පිරී යන්නට විය​.

පුරා අවුරුදු තුනක් හදවතේ කකියන වේදනාව පපු කුහරය තුළම සඟවා ගෙන දිවා කාලය තුළ පුපුරු ගසන ගිනිපුළිඟු ගිනි කන්ද තුළම සඟවා ගෙන නිහඬ රාත්රි කාලයේ හුදකලාවම මුදා හැරියෙමි.
පසු කාලයේ වෙනත් ග්රහ ලෝකවල හුදකලාවුණ හෝ සිරගතවුණ මිනිසුන් ගේ අසරණ භාවය අළලා නිර්මාණය වුණ බටහිර සිනමා පට නරඹන විට මට දැනුනේ ඒ නළු නිළියන් ගේ රඟපෑම් අතාත්වික බවය​. මනසින් හෝ එවැනි ලෝක වල තනිනොවූවන්ට රංගනය මිස තනිවීම පිළිබඳ සැබෑ අදහසක් අත්දැකීමක් ඇත්දැයි මම විශ්වාස නොකරමි. වැඩුණු ගැහැණියක ලෙස පවා තාත්තා නැති ලෝකයේ සජීවී මිනිසුන් අතර මට දැනුන අසරණකම පාළුව, අර විදියේ චරිත නිරූපණයේදී තනිකමේ උච්චස්ථානයට ස්පර්ශ කළ නොහැකි බව දන්නා බැවින් එවැනි මිත්යා නිර්මාණයන්වූ සිනමා පට කොයිතරම් අස්වාභාවිකදැයි මට සිතුණි.
සාමාන්යයෙන්, මහ රැයක ඝණ අඳුරක පියෙවි ලොවේදී මට තනිකමක් දැනෙන්නේම නැත​. ඒ මා බිය නොහඳුනන බැවිනි. හුදකලා මඟක තනිවම යාමට තැති ගැන්මක් මා තුළ ඇති නොවේ. එමෙන්ම මා පමණක්, ​හුදකලාව ගෙදර සිටි අවස්ථා හෝ රාත්රීන් අනන්තය​. මිණීපිට්ටනි පසුකොට වැහිබර සැන්දෑ කාලවල අඳුරු වැටුණාටත් පසු, සැතැපුමක් හෝ දෙකක් දුර, බස් එක වැරැදුන​ විට හෝ බසය කැඩුණු හෝ පාර කැඩී බිඳී යාම නිසා ඇවිද ගිය වාර තිබේ. ගමේ ජීවත්වී මියගිය පසු සමාදානයේ සැතපීමට නියමිතව තිබූ කනත්ත අද්දර තිබූ කොට්ට පුළුන් ගස් වල මල් පිපෙන කාලයේ, සිය ගණන් වවුලන් ගේ අප්රසන්න හඬ අසමින්, කුඹුරු යාය කෙලවරක තිබූ ගමේ සොහොන් පිට්ටනිය පසුකර යන්නට සිදුවූ විටක, ළමා කාලයේ කියවූ ඩීමන් ආනන්දගේ කතා පොත් මගේ හිතට නැඟුණත්, වවුලන් ගේ කරච්චලයෙන් මිදීමට මිස, පය ඉක්මන් කර ගියේ බිය නිසා නොවේ. ඉතින් මා තුළ තනිය හෝ බය කිඳා බැස්සේ තීරණාත්මක තනි ජීවන අත්දැකීමක් නිසාම පමණි.
අනික් අතට​, ළමා කාලයේ හෝ තරුණ කාලයේ, මා සමඟ පෙර පසු ගමන් යන මුරකාරයෙකු හිටියේම නැත​. කොළු කෙලි භේදයකින් තොරව ඕනැම දෙයක් කිරීමේ නිදහස තුබූ අතර ඒ නිදහස අයථා ලෙස පරිහරණය නො කරන්නට මා වග බලා ගත්තා සේම පවුලේ අය තුළද මා කෙරෙහි විශ්වාසයක් තිබුණා වන්නට ඇත. ගස් නඟිනවාට​, මහවෙල මැද්දේ කුඹුරු වල ගොයම් කැපූ කාලෙට, එල්ලේ වොලිබෝල් චක්ගුඩු වැනි ක්රීඩා වල යෙදීමේ අවකාශය මෙන්ම අසල්වැසි කෙල්ලන් සහ කොල්ලන් දහ පහළොස් දෙනෙකුගෙන් සැදුන රංචුවක් සමඟ මහ ඇල හරහා වේල්ලක් බැඳ පැය ගණානාවක් පිහිනීමට කාගෙන්වත් බාදාවක් නොවුණි.

උපන් ගමට ගිය රාත්රිය මට දැනවූයේ අමුතුම ආහ්ලාදයකි. මා උපන් ගමේ නැවතත් පය ගසන්නට ලැබීම අතිමහත් භාග්යයක් යයි මට සිතුණි. මා නිදා සිටි කාමරයේ ජනේලය තුළින් යාන්තම් මීදුම් තැවරුණ ගමේ කන්ද මම දුටුවෙමි. පසු දින කලින්ම අවදිව, නැවතී සිටි නිවැසින් වෙල් එළියට ගොස් කන්ද දෙස බලා සිටීමේ නොතිත් ආසාව මැඩ​ ගත නොහැකි වූයෙන් කාටත් නොදන්වාම, මම දිනපතා ඇවිද ගිය හුරුපුරුදු මඟ දිගේ වෙල් එළියට ගියෙමි.

ගමට ආගන්තුකයෙකු ආබව හැඳින ගත්තේ මුළු රැය පුරා නොනගතේ කරක් ගසා රැලේවැටී සිට උදැනැක්කේ තම තමන් ගේ ගෙවල් දොරවල් බලා එන බල්ලන් තිදෙනෙකු පමණි. උන් වරක් දෙකක් බිරූ මුත් උන් ගේ ඇස් මඟ හැර මම ඉදිරියටම ගියෙමි. බල්ලන් නිහඬව පාර දිගේ යන්නට විය​. ඒ හැර​​ කිසිම මිනිසෙකු හමුවූයේ නැත​. තාත්තාට අයත්ව තිබූ කඩය තෙක් ඇල නියර දිගේ මම ඇවිද ගියෙමි. අසකෙය්යක් මතක මගේ සිතට ගොඩ වැදුනේ සුනාමියක වේගවත් රළපතරක් මෙනි.

කඩේ ඉදිරිපිට අඹ ගහ තවමත් තිබේ. ඒ දිනවලත් දැවැන්තයෙකුවූ අඹ ගහ එක අඟලක්වත් වැඩී තිබුණේ නැත​. ඒ දැවැන්ත අඹ සෙවනෙහි මම තනිවම වැලිබත් පිසුවෙමි. එදා අඹ ගහේ පහල අත්තක බැඳ තිබුණ​ ඔන්චිල්ලාව කෙදිනක හෝ දිරා යන්නට ඇත​. අඹ ගස කේඩෑරි වී ගොසිනි. ඉන් එහා තිබුණ කුඹුක් ගසද මන්ද පෝෂිත ජීවියෙක් සිහිපත් කළේය​. මගේ සෙල්ලම් ගෙය ඉදිවූ විශාල කුඹුක් මුල් අතර වැටකේ පඳුරු කීපයක් වැවී තිබුණි. මම බොහෝ වේලාවක් අඹ ගස් හෙවනේ නතරව එදෙස බලා සිටියෙමි. මොහොතින්​ මගෙ මුළු පවුලම මතකයේ රොද බැඳ ගනු මට දැනුණි. අම්මාත් තාත්තාත් හැරුන විට මියගිය සහෝදරයින් ගේද සිනා මුහුණු මා තුළ ඇඳී මැකී ගියේය​. මගෙ හිනාවට කඳුළට උල්පත්වූ ලොකු කඩා සිදුවීම් දිය සීරාවක් මෙන් හිත ඉස්මත්තට කාන්දු වෙන්නට විය​. අළුතින් ඇල හරහා බැඳ ඇති දිය කඩනයයේ දිය සුළියට හසුවූ කුඹුක් ගෙඩියක් මෙන් මගේ හිත ඒ මේ අත තෙරපෙන​ සෙයක් මට දැනුනි.

එහාගොඩට ආසන්නව කුඹුරු යායේ කෙලවර මගේ පළමු පාසල පිහිටා ඇති ගොඩල්ල මා නෙත ගැටුණි. තව දුරටත් ඒ සුන්දර භූමි භාගය පාසලක් නොවේ. කිරිඅප්පුගෙ වළං පට්ටලයේ සක පෝරුව මත තැළී මැඩී සුමටව පදම්වූ මැටි පිඩකින් ඉදිවෙන මල් බඳුනක් මෙන් මා නමැති ජීවියා නිර්මාණය වූයේ ඒ ශුද්ධ භූමිය තුළය. ඒක හරියට දළඹුවෙකුට සමනළයෙකු වෙන්නට ඉඩකඩ සැලසූ දළඹු කෝෂයක් වැනි අසිරිමත් තැනක් විය​. එහි මා සමඟ සිටි සමකාලීනයින් මගේ මතකයේ පොරබදමින් පෙළ ගැසුනි.

මහනියර දිගේ තරමක් ඈතින් එන මිනිසෙකු දුටු හෙයින් මම මහ නියරෙන් වෙල් යායට බැස නියරක් දිගේ ඇවිද ගියෙමි. ඒ මං ගමේ කණිෂ්ඨ ඉස්කෝලෙට යන කාලේ ඇවිද ගිය නියරය​. කවුරුන් හෝ වේවා ඒ මඟියාගෙන්, මගේ බොඳවුණ ඇස් වසන් කරගන්නට පිනි ඉහිරුන නිදිකුම්බා මල් දෙස මම බලා සිටියෙමි. මඟියා, මා මහ නියරට ගොඩ වෙන තුරු බලා සිටින වග මට තේරුණි. මම පිටුපස හරවා සිටි වනම සිටියෙමි.

"මොනවද බලන්නේ".
“පැල ගොයම් දිහා...” මම උදාසීනව උත්තර දුනිමි.
“මං කමල්, කවද්ද ආවේ?” නිශ්චිතවම ඔහු මා හැඳින ගෙන තිබුණි. ඔහු හිස පැළඳි හිස්වැස්ම ඉවත් කළේය. ඔහුගේ නම මගේ මතකයේ නොතිබිණි. මා ගමෙන් පිටවෙන කාලයේ එදා "බට්ටියා" නමින් හැඳින්වූ කොළු ගැටයා ගේ මුහුණුවර මට මතක් විය​.
“ඊයේ..." මම හිනාවකින් පිළිතුරු දුනිමි.
"පරිස්සමෙන් එන්ට නියර දිගේ. මේ දවස් වල දිගටම මහ වැහි වැස්සා මෙහාට​”. මහ නියරේ සිට ඔහු මට කතා කළේ ඉතා ප්රසන්න අයුරින් ය.
මහ නියරට ගොඩවීම මට තරමක් අසීරු විය​. "අපි දැන් වයසයි නේ. පොඩ්ඩක් අත දෙනවද දරුවෝ" මම කීවෙමි.
“ඉන්ට ඉන්ට​... ලිස්සයි”. ඔහු මට නියරට ඒමට උදව් කළේය​.
" බබාල ආවෙ නැද්ද​?
"අපි දෙන්නා විතරයි ආවෙ. දැන් එක්ක එන්ට බබලා නෑනෙ" මම කීවෙමි.
"ඒ අය ලොකු ඇති"
" ඔව්! කමල් මාව අඳුන ගත්තට මට අඳුන ගන්ට බැරිවුණා. ඒ කාලේ පොඩි කොල්ලනෙ" මම කීවෙමි. ​
“නෝනා අමතක වෙන්නේ කොහොමද මේ ගමට​. මේ පැත්තෙන් මුලින්ම විශ්ව විද්යාලෙට ගිය අයනෙ”.
“නෝනා කියනවට වඩා නෑකමක් කීවනං කොච්චර හොඳද” මම සිතුවෙමි.
පැය භාගයක් තරම් වූ කෙටි කාලයකින්, වෙල් එළියේ මහ නියරේ සිට ගමේ තොරතුරු සම්භාරයක් සංනිවේදනය​ කිරීමට මේ පරණ පුංචි මිතුරා සමත් විය​.
"මගේ ගම. මම අයිති ගමට. ගමේදි මම තනි නෑ. උපන් ගම කියන්නෙ කොයිතරම් අසිරිමත් තැනක්ද? අප්රමාණ සතුටකින් මම ගෙදර බලා ආපසු ආවෙමි.

මල්ලිකා එම් බණ්ඩාර​
25. 11. 2023
nsa and 66 others

Tuesday, 28 November 2023

ආගන්තුකයා

ඉල් මහේ වැහි ඇද වැටී

දඹ ගහේ පල බිම හෙලා

දෙගොඩ තැළුවා ගම ඉහත්තාවේ

කඳු සිඛර දෝවා

 

විසි වසක් සිඳු පතුළ සැඟවුණ​

නුහුරු මඟ තොට පිය මනින කොට​

මතක එකිනෙක හිතේ පිපුණා

රත් කැවිල යායක් වෙලා

 

ලෙනේ දොරගුළු වැටී ඇතිමුත්

මතක සුවඳම ලුහුබඳින්නේ

ගිමන්හලකින් අතීතය දකිනා

නාඳුනන්නිය, නුඹේ උරුමය

අනන්තය​ පමණයි!

 

මියැදි ඊයේ යළි නොඑනු ඇත​

නොදුටු හෙට වත්මනම වෙනු ඇත​

සිපිරි ගෙය නොව නුඹේ උරුමය​

විසල් නිල් අහසයි

 

මල්ලිකා එම් බණ්ඩාර​

17. 11. 2023

ගිළිහුණ මල් දම​

 


නුදුරු ගම් වැසි කෙළෙඹියානනි

අතර මඟ ගම් දොර අසල හිඳ​
නුඹ පිදූ දැසමන් සිනා දම 
පැළඳ ගත්තා මං
 
හුදකලා ගං ඉවුර අසබඩ​
සැඳෑ හිරු සිතුවම් අඳින සඳ​
නුඹේ වස්දඬු නඳින් මත්වී 
මගේ හදවත​ දුනිමි උගසට
 
අසෙණි වැහි කළු මුදුන් වීගෙන
මුරුගසං වැහි ඇද වැටෙන සඳ​
මියුරු ගී තනු බොඳ වුණාසේ
සබඳ අප වෙන්වුණේ කෙලෙසද​?
 
කියව​, ගම්වැසි කෙළෙඹියානනි
නුඹේ දැසමන් සිනා මල් දම​
හින්න වූයේ කාගෙ නමටද​?
 
මල්ලිකා එම් බණ්ඩාර​
27. 11. 2023

Sunday, 26 November 2023

සඳුන්රුක් කන්ද

 



පොල් අතු රටාවට මිඳුලේ අතුගාන

ඉදලේ ඉරටු මුමුණයි හද බැඳි හීන

අරුණළු බිඳර රන් කහවනු අතුරාන

හිරු හිනහුනා කඳු මුණතේ තවරාන

 

පැලපත ගොයම මත පිනි කැට වපුරාන

හිමකර සැඟවුණා ගුවනත සරහාන

වනමල් සුවඳ මඳ සුළඟින්  වගුරාන

තුරුපත් සැලුණි නව දවසක් කැඳවාන

 

දෙණිපෙත විහඟ සැණකෙළියට අඬගාන

බෙදුවා සුබ නැකත ගමටම සැවුළාන

මහ ඇළ ගලයි ගී තනුවක් කොඳුරාන

කඳු රැජිණිය හිඳී හසරැළි දවටාන​

 

ඉස ඉස පිනි දියර ලද පස් මල් සේම​

නිසි ලෙස​ පුබුදු කළ​ සිත් මල මනරාම

රසඳුන් උලා නෙතු හිණිපෙත රැඳුනාම​ ​

තුටු පහටුව හිඳී නුඹ අම්මා සේම​

 

මල්ලිකා එම් බණ්ඩාර

11. 11. 2023

Wednesday, 18 October 2023

කාලේන ධම්ම සවණං

  

සුදු වැලිතල මත වියළී ගිළිහුණ 
බෝපත් අමදින බෝමළුවේ  
හිරු නැඟ මියැදෙන දවසක කෙලවර​
පින් පල ගැනමයි හිත වෙළුවේ
 
කෙළෙසින් පිරි සිත​ නිකසළ​ වෙන්නට​
​රාදොස් මොහඳුර දුරු කළයුතු වග​
නොදෙසූ යතිවරු, වැලිකැට ගානට
පිං පිරෙනා හැටිමය දෙසුවේ
 
රා ගිනි මොළවන රත්වන මත්වන
සිතිවිලි සින්දන මඟ හමුවේ  
කම්සැප උදෙසා පින්පුරනා හැටි 
පමණකි අසපුවෙ බණ දෙසුනේ​
 
ගොරතර සසරේ නොනැවත​ ඇවිදින​
මියැදෙන ඉපදෙන බවදුක වළඳන​ 
කෙලෙසක කවදා නිමක් දකින්නද​ 
වල්මත්වූ මේ දිවි කතරේ?
 
මල්ලිකා එම් බණ්ඩාර​
4. 09. 2013