මේ දවස් වල අපිට සීත කාලෙ. උදේම “coffee
mug” එක අරන්
ඇවිත් මගෙ සුපුරුදු corner එකේ වාඩි වුනා. ගෙදර පුරාම නිශබ්දතාවයක්! මෙහෙම නිස්කලංක වෙලාවල් වල පුදුමාකාර තනිකමක් දැනෙන්නෙ. කාලයක් තිස්සේ කණට හුරුවෙලා තිබුණ හඬ නෑහෙන කොට මනුස්ස වර්ගයාගෙන් ඈත්වෙලා වගෙ දැනෙන්නෙ. ගෙදර නිස්කලංක වෙන
වෙලාවක් අහම්බෙකින්වත් හොයාගන්ට බැරි කාල වකවානු මගෙ
මතකයට ගලා ගෙන එනව.
සිංහල, ඉංග්රීසි, ස්පැනිශ්, ඇරැබික්, පුරුතුගීසි, මෙකී නොකී භාෂා
වලින් ගෙදර පිරිලා තිබුණ කාල මට මතක් වෙනව. ක්ලැසික්, පොප්, රැප්, රෙගෙ, බයිලා සින්දු කියන
මාස්ටර්ලා හැම කෙනෙක්ම ගෙදර
පදිංචි වෙලා වගේ.
අවුරුදු ගාණක් තිස්සේ මේව අහලම 'go with the
tide' කියලා, මමත් අමුතුම මියුසිකල් ජීවියෙක් බවට පත්වුණා. ටිකින් ටික මේ මියුසික් රැල්ල
තුනීවෙලා ගිහින්, ඒකත් හරියට වඩදිය-බාදිය වාගෙ, දැන් වෙරළ හුදකලාවේ. ඉඳහිට කකුළුවෙක් වෙරළින් මතුවෙලා හීන්වට වැල්ල
මත පහුරු ගානව.
මමත් වැලිමත ගොඩ ගැහුන පෙණපිඩු ඈත් මෑත් කරලා
පැහැදිළි යමක් ඇද්දැයි හොයන්නට උත්සාහ කරනව. මගෙම හිතෙන්.
තවත් කාලෙකදි හැමෝම කතන් දර
පොත් බදාගෙන, ඊට පස්සෙ ඉස්කෝල පෙළපොත් වලට
එබීගෙන. ඒ වගේ වෙලාවට , "දැන් ඇති, කෑකෝ ගහලා ටිකක්
ගෙදර පුරා දුව
පැන ඇවිදින්ට බැරිද?'' කියලා
අහන්ට හිතුනා. ඒ එක කාලයක්වත් ආපහු
ආවෙම නෑ.
තවත් කාලෙක, ඉස්කෝලෙදි ළමයි දෙතුන් දාහක මුණු මුණුව වුණත් එකතු වුණාම මුහුදේ රැළ ගැහිල්ලටත් වැඩි ගෝසාවක් වෙනව. ඒත් ඒ හඬත් එක්ක ජීවත්වෙන්ට තියෙන කැමැත්ත හරියට කාලත් බැරි නොකත් බැරි රස කෑමක් දැක්කම දැනෙන හැඟීම වගේ. ඒකෙන් මිදිලා ගෙදර ආවම; නඩු හබ, ඉල්ලීම්, චෝදනා, විරෝධතා කෙලවරක් නෑ. උසාවියත් මම. නඩුකාර උන්නාන්සෙත් මම. ජූරියත් මම. ජේලර් උන්නැහෙත් මමමනෙ. ඉතින් නීති උල්ලංගනය කරපු ප්‍රමාණයට සමාව සහ දඬුවම් නියම වෙනවා. චෝදක චුදිත දෙපක්ෂයටම චෝදනා ඔප්පු වුණොත් දඬුවම සාධාරණව ලැබෙනව. අත් හිටවු සිරදඬුවම්, සමාදානවීම්, සමාව ගැනීම්, සමත මණ්ඬල මැදිහත් වීම් අතරේ පැය බාගේ TV තහනම්, "homework, room time" සුදුසු කාල පරිච්චේද අනුව නියමවෙනවා.
ටික වෙලාවකින් චෝදක චුදිත
දෙපක්ෂය සහජීවනයෙන් ගතකරන හඬ
මට ඇහෙනව. හිනා හඬ ටිකෙන් ටික
වැඩි වෙනවා. මම
ඇහුණ නෑහුණ ගානට ගෙදර නිල ඇඳුම 'labour uniform'එකට
බැහැල, මගෙ ඊළඟ ජොබ් එකේ
වැඩ.ඉස්කෝලෙ ඉඳලා ගෙදර ආව
ගමන් “Washing, cleaning and cooking...” ඇතුළු දෛනික වැඩ. ඒ කියන්නෙ, ගුරු, මාරුවෙලා මාතෘ ග්‍රහයා බවට
පත් වෙනවා.
ඔය වගේ දවසක, මිදුල දිහාවෙන් පුතාලා දෙන්නා උස්
හඬින් කවි, සිංදු කියන හඬට
මං ඇහුම් කන්
දීගෙන ඉන්න අතරේ පුංචි සුප්පා දේවී තනිවම
වේදිකාවේ රඟ දක්වනවා. වේදිකා නාට්‍ය සහ
සංගීත සංදර්ශන අතර
මැද්දේ මට ඇහෙනව කිලෝ තිහක
හතලිහක පිටි ගෝනියක් බිම අතෑරෙන හඬක්. මම අශ්වයා වගෙ පිම්මක් පැන්නා දොරකඩට. අපේ බල්ලා
බ්ලැකී, ඉස්සරහ දොර ළඟ දෙගිඩියාවෙන් එහෙ මෙහෙ බලනව. බල්ලා
කීවට, එයා ගෑණු සතෙක්. ගෑණු
අයට ලැබෙන්නෙම පිරිමි නමනෙ. අරයගෙ
වයිෆ් මෙයාගෙ වයිෆ්
කියනව මිස බවලතුන්ගෙ නමින්
කතාකරන්නෙ හුඟක් අඩුවෙන්නෙ 'tradition' එකේ.
දෙවෙනි පුතා
ජෑම් ගහෙන් බිමට
වැටිල! වැටිච්ච විදියටම මුණින්තලා වෙලා ඉන්නව. බ්ලැකීට තේරෙනව පොඩිඑකා ගහෙන්
වැටුණා කියල. එයා මටත්
වඩා කලබල වෙලා. මම ඉතින් ‘heavy weights champion’ වගේ ළමයා
උස්සලා අත්දෙකට අරගත්තා.
"මොකද වුණේ...රිදෙන්නෙ කොහෙද... කොච්චර උඩද හිටියෙ...?"
“ලොකු පුතා! The
Culprit!”
ප්රශ්න කළේ ලොකු පුතාගෙන්. මගෙ ඇස් වලට ‘wild’ පෙනුමක් එනව.
“ඔයා තමයි මේ
ඔක්කොම කරන්නෙ...”
" මං එයාට ගහට නඟින්ට එපා කීවා." නිදහසට කාරණා දෝරේ.
ලොකු පුතා තොල්
පට උල් කරගෙන කොඳුරන ගමන් අත් දෙකේම ඇඟිලි වල
නිය ටික උම්ඹලකඩ ලියනව වගේ
හීනියට විකනව.
"කොච්චර උඩ ඉඳන්ද වැටුණේ?
" මං අහනව.
“මෙන්න මෙතැන ඉඳල
වැටුනෙ” ලොකු පුතා කියනව.
"රිදුනෙ නෑ". කියාගෙන අතේ ඉන්න දෙවෙනි පුතා බිමට රූටනව. ළමයා
බිම තියන අතරේ
මම ලොකු පුතාගෙ දිහා හොරැහින් බලනව.
"අදනං ඇඟිලි පහම
පස්ස පැත්තෙ තියෙයි " එයා හිතන්ට ඇති. බයෙන් බිරං තට්ටු
වෙලා. මගේ හිතේ පුංචි
විදුලි කෙටීමක් ඇතිවුණා. ඒත් එක්කම පැහැදිළි අහසක දුම් රැල්ළක් ඇඳගෙන යනරොකට් එකක් වගේ වෙලා මගේ මතකය
ආපස්සට යනව.
"අහඃ එහෙනම් කමක්
නෑ. අඩි තුනත් උසක්ද".
මම ආයෙත් කුස්සිය පැත්තට හැරුණා. කාටවත් දඬුවම් නෑ.
ළමයි පුදුම වෙන්ට
ඇති.
දරුවන්ට "ගස්
නඟින්න එපා!" කියල නීති පනවලා තිබුණට, නීති කඩ කිරීමේ වරදට
වුණත් දඬුවම් කරන්ට බැරි
කමක් ඒ වලාවෙ මට දැනුනා.
ඒ අතීතය පැදුරක් වගේ මගෙ හිත පුරා දිගාවෙලා.
ගෙවල් වල
වැඩිහිටියෝ නැති වෙලාවට අහල පහල කොලු කෙළි නඩෙත්
එක්ක එකතු වුණාම තැඹිළි කඩන්ට ගහට නඟින්නෙ මම. ඔහොම ගිහින් දවසක "අට පහ නොදන්නා ජඩයෝ"ඉණිමඟ අයින් කරලා. කඩපු තැඹිලි බෙදා හදාගෙන ඉවරවෙනකං මාව තැඹිළි ගහ උඩ ඉන්ට සැලැස්සුව.
ඉතින් ළමයි
ජෑම් ගහකට නැග්ගා කියලා කොහොමද දඬුවම් කරන්නෙ.
මං හිතන්නෙ 'self-criticism'
කොහොමත් හොඳයි. ඒත්
ඒක 'practice'
කරන එක සෑහෙන්ට අමාරුයි .
දඬුවම් ක්‍රම කලින් කලට
වෙනස් වෙනවා. ඊයෙට
වඩා අද , අදට වඩා
හෙට. පෘතුවිය සූර්යා වටේ ගමන් කරන කොට ඒ වේගෙන්ම නොවුණත් පෘතුවියේ තියෙන හැම දේම වෙනස් වෙනවා. වෙනසක් නැත්නම් පැවතීමක් නෑනෙ.
අපේ නීති පොතේ නොලියවුණ වගන්තියක් (an unwritten clause) හැටියට ගැහැණු ළමයින්ට ගස් නැඟීම තහනම්! ගෑණු ළමයි හරියට මැටි වළඳක් වගේ එහෙමත් නැත්නං සෙයිලමේ හෙට්ටු කරලා විකුණාගන්ට තියෙන භාණ්ඩ වගේ කියලනෙ 'tradition' එකේ තියෙන්නෙ. ගෑණු ළමයි වෙලත් ගස් නැගීමේ සිල්පදය කැඩීමේ පාපයට ගෙදරින් බැණුම් අහලා, පේර, කරඳ , ඇට්ටේරියා කෝටු පාර වල් වල රස විඳලා සමහරුන්ට හොඳට පුරුදුයි.
මේ එවැනි වින්දිතයෙකුගෙ අත්දැකීමක්:
අපෙ බාප්පලාගෙ ගෙදර කොලු පුළුටක්වත් නෑ, වෑවර ගෙඩියක්වත් කඩා
ගන්ට. ඉන්න ඔක්කොම කෙල්ලො බුරුත්තක්! දවසක් ඒ බැටෑලියන් එකත් එක්ක
එකතු වෙලා කට්ටියම වැලි අනෝදා ගහකට නැග්ගා. ඔන්න මම ගහ මුදුනටම නැගලා
ඉදුන ගෙඩියක් කන්ට
පටන් ගත්තා. මගේ
අක්කා ගහේ අඩි හත අටක් උඩට නැග්ගා. බාප්පලාගෙ ගෙදර ඇලන් අක්කා
පහලම අත්තට නැග්ගා විතරයි. අපේ පොඩි අයියට
සගයෙකුගෙන් ඔත්තුවක් ලැබිලා අපි “රිලව්
වගේ” ගස් උඩ ඉන්නවා දැක්කා කියලා.
“ අපි රිලව් වගේලු”. වඳුරු නාම්බා... ඇස්
දෙක පොට්ට වෙන්ට
එපායැ අපිට ගැරැහුවාට”.
ඇල අයිනේ කරඳ ගහෙන් කෝටුවක් කඩාගෙන, අයියා ගහ මුලටම එනකං අපි දැක්කෙ නෑ. ගහේ පහලම හිටියෙ ඇලන් අක්කා, එක කරඳ කෝටු පාරක් වළඳලා ඈතට දිව්වා. දුවන ගමන් එයා අපෙ අක්කටත් කීවා,
“මෝඩි දුවපං... දුවපං
කියලා”.
අක්කා හීන්සැරේ ගහෙන් බැහැලා ගල්
කුට්ටිය වගේ හිටි තැනම හිටියා. අඩුම ගණනේ කෝටු
පාර පහක්වත් වළඳන්න ඇති. මං අඩියෙන් අඩිය
සීරුවෙන් පහලට බැස්සා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට
ගොඩ බැස්සා වගේ
(ඇත්තටම එහෙම ගොඩ
බැස්සානං),
අයියගේ කෝටුපාර මගෙ
බොලට හරහා වැදෙන
කොටම මම ගහෙන් බිමට පැන්නා. පැනපු ගමන්
දිව්වා මැරතැන් ගැම්මෙන්. සුසන්තිකාලා කැලේ, ඒ දුවපු දිවිල්ල improve කළානං.
අපි කුඩා කාලේ, ගස් නැඟීම හරිම
විනෝදජනකයි. කුඩා කාලේ විතරක්ද? ඔන්න මට මතක්වුණා තවත් ගස්
නැඟිල්ලක්. ඒකත් හරියට අර මැක්කගෙ කතාව වගේ, කොහෙන් ගිහිල්ලා හරි නතර වෙන්නෙ පේරාදෙණිය යුනිවර්සිටි එකේ.
අපි පේරාදෙණිය සරසවියේ හිටියේ අර "බැමිණිටියා සාය" කාලෙනෙ. ඒ කාලෙ සායවල් ගැනනං කියලා වැඩක්
නෑ. සාය කීවම ඔන්න අපි
ඒ දවස්වල ඇන්ද
මිනිසාය (miniskirt) මතක් වුණා. නමුත්
මම ඒ මාතෘකාව ගැන අද කතා කරන්නෙ නෑ.
ඒක පසුවට. මං
ඔය බැමිණිටියා සාය
කීවේ හැත්තෑවේ දශකයේ
මුල් කාර්තුව ගැන.
රාමනාදන් ශාලාවේ ඉදෙන
බත, සලාකෙට නිකුත් කරන්ට පටන්
ගත්තෙ අපේ දෙවෙනි අවුරුද්දෙ. සලාකෙ
මදි වුණාම අපි
රාමනාදන් එක පිටිපස්සෙ ගඟ පැත්තට වෙන්ට තිබුණ
අලි ගැට පේර ගස්වලටයි, උගුරැස්ස ගස් වලටයි නැඟලා හිරි
ගැට කඩා ගෙන කෑවා. රාමනාදන් එක වටේ තියෙන ගස්වල , අරලිය, නා මල් කඩන්ට ගස් වලට නැග්ගා. ඒ ගස් වලට නැඟලා හැංගිලා, හවසට ගලහ
පාරේ සඳසිරියට යන
දන්න නොදන්න හැමෝටම හූ කියන්න, උරුවම් බාන්න අපි පටන් ගන්නවා. එහෙම දවස් වලට කොලු නඩේ පාර අයිනේ වාඩිවෙලා රාමනාදන් ගාලාව දිහා බලාගෙන සෑහෙන වෙලාවක් සිංහල භාෂාවේ වර්ණවත් වචන සියල්ලම පාවිච්චි කරලා අපිට ප්‍රශංසා කරනව.
"දැන් ඉසේ ඇම්ම අඩුද?"
කියලා නාදන් එකේ
අය අපෙන් අහනව.
ඒ වගේ වැඩ වලට සහාය දෙන්ට හොඳ
අපාය සහාය මිත්‍රයෝ සෙට් එකකුත් හිටියා.
හරි ආඩම්බරයි කියන්ටත්. සෙට් එක විසුරුනාට පස්සෙ මේ
මෑතක තමයි එයින්
සුළු ප්‍රමාණයක් හරි දැක්කෙ.
ඔය ජවනිකා මගේ හිතේ තියෙන
නිසා හැම පුංචි දේම ‘crime’එකක්
විදියට සලකන්න බැරිකමක් මට තිබුණා. මේ න්‍යාය මගේ ගුරු වෘත්තියේදි, උසස්
පෙළ ශිෂ්‍යාවන් සම්බන්ධව ‘apply’
කරන්ටත් සිද්ධවුණා මට මතකයි!
ඒ වුණාට, "හැට පැන්නත් වඳුරො බිමින් ගමන් නෑ!" කියන එකෙත් ඇත්තක් තියෙනව.
(නවීකරණය කළ පුරාණ)
මල්ලිකා එම්. බණ්ඩාර
27. 07. 2016
(නවීකරණය කළ පුරාණ)
මල්ලිකා එම්. බණ්ඩාර
27. 07. 2016
No comments:
Post a Comment