පුංචි හිම කැට
සලන සිසිර සමයේ වැස්ස
මක මකා අඳියි
දේදුනු අහස හතරවට
වළා
තිරපට අරින ඉඟිමරා
යළි වසන
හිරුමඬල
හිනාවෙයි ඔච්චමට මා එක්ක
නිදිවරා වියූ
මගෙ මල් කැකුළු දේදුන්න
හිත පුරා
දිගාරින තුරු ටිකක්
ඉවසන්න
මැකේයයි
බියෙන් එහි ඇඳුනු සිතුවම් ගොන්න
ළතැවුනෙමි
සෙනෙහසේ මතක
පොත පෙරලන්න
අහස් කුස
සිසාරා ඇදෙයි හිරිකඩ පින්න
වැහි
තුරල් කරන
තෙක් ළිහිණියෙනි නවතින්න
හිරු ගිලෙන
සිතිජ ඉම මගෙ සුසුම ගොළුවෙන්න
අඳුර මා ළඟ ඉඳන්
කඳුළු විල කළතන්න
ඉරා පෙම්
පුරාණය මතකයේ
නොරැඳෙන්න
නිමා කළ මුත්
සොඳුරු
සෙනෙහසක තෝතැන්න
චිතකයේ ගිනි
පුළිඟු නිවෙන්නට ඉඩ දෙන්න
වියෝගේ සැඩ
සුළඟ හමා ගොස් අවතැන්ව
ඇටමිදුළු
පීරිගානා කටුක සීතලේ
හෙට අළුත්
දිනක අරුණලු දකින අදිටනින්
ආත්මය වාරු කර නැඟිටින්න දිරි දරමි
ආත්මය වාරු කර නැඟිටින්න දිරි දරමි
මල්ලිකා බණ්ඩාර
14. 07. 2016
No comments:
Post a Comment