Sunday, 31 July 2016

අභියාචනයක්


කුණාටුවකට අසුව ඉහිරී
දසත විසිරී ගිය නිදැල්ලේ
හොවාගෙන මුදු පියාපත් යට​
අපිව ඇති දැඩි කළ කැදැල්ලේ
මියුරු මී අඹ සෙවන වූ නුඹ
නිමාකරමින් සසර මෙහෙවර
ගියෙන් යන්නට නොඑන ගමනේ

පැන්වැඩූ අපි ඇඬු කඳුලෙන්
බණ පදෙන් හිත පහදවාගෙන​
හත්දොහේ දන නිමාවූ සැණ​
අගුළු​ වැටුණා උපන් ගෙයි දොර​

ළමාවිය නම්  උයන්තීරේ
සොඳුරුතම ජීවනේ නිම්නය​
මහ ගෙදර​ යනු, ළබැඳි ගීයකි
ගයා නිම කළ නොහැකි කිසිදින​

මා වවුල් පෙරහැරෙන් අහස පිරෙනා තෙක්ම​
එකින් එක තරු කැකුළු පිපී හිනහෙන තෙක්ම​
බුළුගහේ හෙවන යට ගල් පොත්ත මත වැතිර​
සඳ එබී බලන තුරු අපි රැඳී සිටියෙමුව

කලාමැදිරියො මඟ පහන් කොට​
නිලා මල් එළි සිළුව දල්වත​
සැඳෑ අඳුරට එලා පිරුවට
වළා විරහිත අහස හැඩ වෙත​

පද්‍යරසයේ පටන් පද්‍යාවලිය​ පොතේ
මනොප්‍රනිධානයේ සහ​ යසෝදරාවතේ​,
කවි කීව තරඟයට වැනෙනතුරු නිදිමතේ
​කෙළිදෙලෙන් එක්ව හිඳ​ බෙදා කෑ එක පතේ
මුව පොලොත්තන් රැලම​,​ කාලයේ ඇවෑමෙන්
වග වලස් කැලක්වී අදහාද නුඹ කෙසේ?

අගය මිස මිලක් නැති සල්පිලේ ලංසුවට
මිනිස්කම උගස් කළ​ කාසිවල හිලව්වට
අනවරත අරගලය​ අතරමඟ නතර කර
හිස් අතින් නික්ම යායුතු නමුදු යම් දිනක​

කඳුලු පොදියක් අරන් දෙපා මුල ඇදිලි බැඳ
සිහිවටන පලකයේ නුඹේ රුව අසල හිඳ
කියන්නට නුඹ සමඟ නොවෑවෙන හිතේ දුක
අවසරද අම්මේ,
නුඹෙ සුවඳ රැඳි නිබඳ​ ගෙදර දොරගුළු වැටී
කඩුලු තහනම්ය මට,
මා නිරායුධ​ නමුදු අවි දරා හිඳී උන්
තණ පිඩැලි දෙබෑ කොට​ හිතේ දුක තුනීකර​
මසිත ගිනි නිවාලන​ සිහිල් දිය බිඳක් වන්
හිත හැදෙන වචනයක් කියන් මට​ අම්මේ,


 මල්ලිකා බණ්ඩාර​
- 08.07. 2016

No comments:

Post a Comment