Saturday, 23 July 2016

කරපටිය​


ගිනි කාස්ටක අව්වේ සියොලඟම​ දාඩියෙන් නෑවෙද්දි
කර මුලට හිර වෙන්ට​ ටයි පොල්ල පැටලිලා
කොයි තරම් උජාරුද​?
පීඩිතයින් පාගන දූෂිතයින් පුම්ඹාලන​
 ඒ පන්තියේ සංකේතය දරන
 පරවේණියෙන් නැතත් සන්නසෙන් 
උරුමක්කාරයන් ය අපිත් දැන්

හිම වැටෙන සීතලේ සිරුර උණුසුම් වෙන්ට
අපිම වහරන පරිදි,
"අසික්කිත බටහිර අධිරාජ්‍යවාදීන්"
අඳින පළඳින විදිය කොපි කරන​
අපිට විලිලැජ්ජාව ගෑවිලාවත් නැද්ද​
 මගෙ හිත කොනක, ​කෙඳිරිලි හඬක්!

අතේ පිච්චිය නැතත් කච්චියක රෙදි හොයන​
උණුසුම් කලාපෙක මුහුද මැද තනිවෙච්ච
පුංචි දිවයිනේ අපි,
දිවයිනක් වැනි හිතින් හිතන්නෙම​
එලොවටත් මෙලොවටත් වැඩක් හසරක් නොවෙන​
දේම  මිස මිනිස්කම නම් නොවේ

තුට්ටුවක හොඳක් නැති ගුණදහම් පොදක් නැති
දිරූ මළ කුණු වැසූ සොහොන් කොත් නොවෙද​ අපි
​උඩඟුකම කිරුළසේ වසා හිස් ඔළු කට්ට
වැඩපොලට ගිය වනම හිතන්නෙම,
අපිත් ලොකුමහත්තුරු කියලාය.

එතැන් සිට​, පෝළිමේ ඇදෙන යටහත් පහත්
අහිංසක මිනිසුන්ට අමතන්නෙ සිංහනාදෙන්ය අපි .
ඇස්පනා පිට පෙනෙන බුහුමනේ  හිලව්වට
ඔවුන් ගේ හිත් තුළින්
බුර බුරා නැගෙන අවලාද ගිනි 
සාපයක් වී ඇවිත් අපිට පළිසන් දේවි යම් දිනක​ 

"ගතට පිරුවටය වූ නුඹව​ ඔසවා තැබූ
අහිංසකයින් අසල බුරන්නට
දිරිදුන්න නිල ඇඳුම, “කර පටිය
නුඹේ ගෙල මිරිකාවි යම් දිනක​"

හැමදාම උදෑසන කරපටිය බඳින සඳ​
මගේ පිළිබිඹුව මට ඇසෙන සේ 
කැඩපතින් මෑත්වී කෑගසා කියන හඬ​
කන් බෙරේ වැදෙන කොට
මගේ හිත දවුල සේ නිනද දෙනු ඇහෙනවා​
"මැරුණ මිනිසත්බවේ මළගමේ හඬද ඒ? 
මම මගෙන් අහනවා ​

23.07. 2016

No comments:

Post a Comment