පහුගිය දවස් වල
පේරාදෙණිය සරසවිය ගැන වෙබ් අඩවි හරහා කතාබහට ලක්වු කරුණු කාරණා ඇහෙන කොට මීට
හතලිස් වසරකට පමණ ඈත අතීතයේ අපේ සරසවි යුගය මගෙ මතකයට නැඟෙනව. පසුගිය සිද්ධියේ සංදර්භය ගැන මා
කතා නොකරන්නේ මට ඒ පිළිබඳව පැහැදිළි දැනුමක් නැති බැවිණි. එහෙත් එය ලඝුකොට නොසලකන
අතරම, කතාබහ
නිසා අවදිවු මතක සහසකින් එකක් පමණක් මතකයට නගා ගනිමි. මගේ පෞද්ගලික අදහස නම්
හූවකින් තොර සරසවි වලක් යනු, කල එළියක් නැති නීරස මඟුල් ගෙයක් වගේ
තැනක් කියලා. එසේ වුවද මඟුල් ගෙය අවුලක් වීම අනුමත කළ නොහැකිමය.
අපේ කාලේ “වලේ නාට්‍ය සතිය” පටන් ගත්තම මුළු සතිය පුරාම එක දිගට නාට්‍ය හතක් පෙන්වනවා. ඒ සමඟම විශ්ව විද්‍යාල නාට්‍ය සංගමයේ නාට්‍ය තරඟයෙන් ජයග්‍රහණය කළ පළමුවන, දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගත් නාට්‍ය තුනක් එකදිගට පැය තුනක් හෝ එදිනට නියමිත ප්‍රසිද්ධ නාට්‍ය කෙටි නම්, ඒ නාට්‍ය සමඟ මිශ්‍රවත් වේදිකාගත කරනව.
සරසවි නාට්‍ය උළෙල ලෙස
හැඳින්වෙන නාට්‍යමාලාව නරඹන ප්‍රේක්‍ෂකයින් සමන්විත වෙන්නේ සරසවි සිසුන් ගෙන්
පමණක් නොවේ. අසල ගම් වලින් සහ මහනුවර නගරයෙන් පැමිණෙන විවිධ තරාතිරම් වලට අයත්
රසිකයින් ද ඇතුළුව දසදහස සිට විසිපන් දහස දක්වා පිරිසක් ඊට එකතු වේයැයි සැලකෙනවා. පසු කාලයේ අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආසන්නව පදංචිව සිටි අවදියේ අපේ කුඩා
දරුවන් තිදෙනා සමඟ ගොස් සිංහබාහු, මනමේ, නරිබෑණා ඇතුළු බෙහෙවින් සම්භාවනාවට ලක්වූ වේදිකා නාට්‍ය නරඹා ඇත්තෙමු. එම අත්දැකීම කුඩා දරුවන් තුළ පවා ගීත
ගායන, රංගන සහ රසඥතා වර්ධනය කෙරෙහි බෙහෙවින්
සුබවාදී බලපෑමක් ඇති කළ බව මට මතකය.
කොහොම වුණත් වලේ නාට්‍ය
උත්සවය ප්‍රේක්‍ෂකයින්ට නම් අමුතුම ආරයේ අත්දැකීමක්. විශේෂයෙන් සරසවි නවකයින්ට සරසවි
සම්ප්‍රදාය ඉගෙන ගන්නට ඒක, එක්අවස්තාවක්! සාමාන්‍යයෙන්
සරසවි නාට්‍ය සතිය ඇරැඹෙන්නේ මාර්තු අප්‍රේල් මාස තුළ. ඒ
සරසවියේ ඉතාමත් මනස්කාන්ත පරිසරයක් සහිත කාලයක්. ඒ කියන්නෙ සරසවිය පුරාම මල් පිපෙන කාලෙ. වල
මැද විශාල රොබොරොසියා ගහේත් අවට ගස් වලත් රෝසපාට මල් පිපිල. කලාගාරය අවට වගේම වල
ආසන්නයේත් ඇති දැවන්ත මැයි ගස් වල එතුන කහපාට මල් සහිත වැල් වල මල් පිරිලා. ඉතින් නාට්‍ය උත්සවය කියන්නෙ, සරසවිය උද්‍යාන ශ්‍රීයෙන් අලංකෘත වන
කාලය. මල් බර යෞවනය සමඟ පාරිසරික සමායෝජනයන් ඇති කෙරෙන
අවදියක්!
මට මතක හැටියට, අපේ පළමු වසරේ නාට්‍ය උත්සවයට, හවස පහට ලෙක්චර්ස් ඉවරවෙලා හොස්ටල් වලට යන ගමන්, අපේ කට්ටියේ සමහරු සීට් බුක් කරන්ට වලට යනවා. හවස පහ හය වෙනකොට සීට් බුක් කරන්න පොරයක්. සමහරු "බුකිං මාර්ක්" එක විදියට කුඩ, ෆයිල් කවර, බෑග් ආදී එකී මෙකී නොකීදේවල් පේළියකට තියලා තමන් කැමති පේළියේ ආසන වෙන්කරනවා. යාළුවන්ටයි, යාළුවන්ගේ යාළුවන්ටයි ආදී වශයෙන්. නාට්‍ය පටන් ගන්න කොට හවස හත විතර වෙනව.
ඒ සුන්දර හවස් කාලය පටන් ගන්නෙම අමරදේව, නන්දා මාලිනී, වික්ටර්, සනත් වැනි ගායක ගායිකාවන් ගේ ගීත මන්දස්වරයෙන් ගැයෙද්දී. අමරදේවගේ "කරදර පොදිබැඳ ගැලපිට පටවා..." කර්ණ රසායන හඬ, නන්දා මාලිනී සහ වික්ටර් රත්නායකගේ ප්‍රේමණීය හඬින් "සරා සොඳුරු මල් පැටලී" ගීතය, සනත් නන්දසිරි ගේ ළයන්විත හඬින් "අනන්තවූ දෙරණ.." ගීතය සරසවි ප්‍රේක්‍ෂකයින්ට කොයිතරම් නම් හෘදයංගම වන්නට ඇද්ද? ජීවිතය යනු කොයිතරම් නම් සුන්දරදැයි හැඟෙන්නට ඇද්ද? හරියට ආකාසේ පාවෙන දුහුල් වළාකුළු සොලවන්නට තරම් උද්‍යෝගයකින් සුභවාදී අරුත්බර සිහින පීදී ලියලා වැඩෙන්නට ඇද්ද? එවැනි සැඳෑකාලයන් අපේ සිත් සතන් තුළ විචිත්‍ර සිතුවමක් මෙන් චිත්‍රණයවී පැළපදියම්වූ ආකාරය අදටත් මතකයේ රැඳී පවතී.
අඩ අඳුරත් සිහින්
ස්වරයෙන් වැයෙන සංගීතයත් මුසුවුන පරිසරය හරිම සුන්දරයි. නිවෙන ඇවිලෙන පාට පාට
විදුලි බුබුළු වලින් විහිදුවන ආලෝකයෙන් රොබොරෝසියා ගස් වල අතු පතරින් ගලාඑන මන්දස්මිතිය ප්‍රේක්‍ෂක
රසිකත්වයට කිසියම් අමුතුම සුන්දරත්වයක් ගෙනෙනවා. විදුලි බුබුළු වැල්
වලින් පෙරීගෙන එන එළිය, තරුණ මානවක
මානවිකාවන් ගේ මුහුණු මත පතිත වෙලා උත්සව ශ්‍රීයක් එක් කරවනව. ඒ පරිසරය
හරිම ලස්සනයි.
ඔය අතරේ සරසවි
සංස්කෘතියේ නොයෙකුත් ආවේණික ලක්‍ෂණ ඉස්මතු වෙනව. උදාහරණයක් විදියට විශේෂයෙන්
ප්‍රේමසබඳතා බිඳ වැටුන අයට රිදවීම, ශිෂ්‍යාවන් ගෙන් ප්‍රතික්‍ෂේපවුණ ශිෂ්‍යයන්
වෙනුවෙන් ඇනුම්පද කීම, තමන්ට
වුණ මදිපුංචිකම පියවා ගැනීමට පුංචි රිදවීමක් කිරීම, වැනි ශිෂ්‍යයෙකුගේ සහ ශිෂ්‍යාවකගේ නම් ඈඳා විහිළු තහළු කිරීම වගේම එදිරිවාදුකම් පිරිමසාගන්නටද පසුබට වෙන්නෙ නෑ. සමහර විනෝදාංශ කටුකයි. හිත් රිදවනව.
සමහර ඒවා හාස්‍ය ජනකයි.
කොහොම හරි කාලය ගතවෙනව දැනෙන්නෙනෑ. මී මැසි පොදියක මිමිණුම එකතුවෙලා අඩ අඳුරත් සමඟ ස්වභාවික ලෝකයෙන් බැහැර කිසියම් අද්භූත මායාමය අඩවියකට ඇතුළු වුණා වගෙ දැනෙනව. ටිකෙන් ටික ප්‍රේක්‍ෂකාගාරය
එකම් හිස් ගොඩක් බවට පත්වෙනව. විචිත්‍ර වර්ණයන් ගෙන් යුතු වයිවාරණ ඇඳුම් ආයිත්තම්, විලාසිතා වලින්
සැරැසුන යුවතියන් මෙන්ම යව්වනයන් ද තම තම්න්ගේ පෙම්වතා පෙම්වතිය හෝ එසේ වීමට බලාපොරොත්තුවන හෝ කෙනෙකු ඇත්නම්, ඒ අය
සිටින කට්ටිය සමඟ එක්වීමට උත්සාහයක් දරනව. සමාන වයස්, සමාන
අදහස්, නිදහස
අත්විඳින අතරම, ප්‍රසාංගික අත්දැකීමක් බෙදා හදා
ගන්නට පුල පුලා සැදී පැහැදී සිටින යෞවනයේ ආහ්ලාදයෙන් මත්ව සිටින එවන් පිරිසක් අතර
හිඳින්නට ලැබීම භාග්‍යයක් යයි සිතෙන තරමට ඒ අවස්ථාව සුන්දරය.
ඔහොම ඉන්න අතරේ, හවස්වතේ සිහින් සුළඟක් හමා යන විට රොබොරොසියා මල් පෙති සුළඟට එක්ව වල පුරා පාවෙනව. සමහරු මල් පෙති අහුලාගන්න ඒ මේ අත දුවනවා. හිමපතනය පිළිබඳ අත්දැකීම් විරල යුගයක අඩ අඳුරු එළිමහන් වේදිකාවේ සුළඟට පතිත වෙන මල් පෙති දකින අපි උපකල්පනය කළේ හිම මිඳෙන රටක සීතල හවසක හිම කැට වැටෙන හැටි. ඒත් පස්සෙන් පහු කාලෙ, හිම වැටෙනව දැක්කට පස්සෙ, හිම වැටීම, සරසවි වලේ අත්දැකීම තරම් ලස්සන නෑ කියල මට හිතෙනව.
වරක් සරසවි ශිෂ්‍යයන් සහ බාහිර නළුවන් සමඟ එකතුව ඉදිරිපත් කරන ලද නාට්‍යයක් වලේ වේදිකා ගතවුණා. එහි, කාලකූට නම්වූ රජසභාවේ සේවකයෙකු, වේදිකාවේ වාඩිවී සිටින දර්ශනයක් තිබුණා. දුඹුරු පැහැති 'short' එකක් ඇඳ ඊට උඩින් කළු පැහැති රෙදිකඩක් ඇඳ සිටි කාලකූට වේදිකාවේ මිටි බංකුවක වාඩිවී සිටියේ එක් කකුලක් මත අනික් කකුල තිරසට තියාගෙන. ඔය වෙලාවේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ 5th or 6th wing (තෙල් විංග්) එකේ, හැමදාමත් තෙලට බර නඩයේ සාමාජිකයෙක්,
" කාලකූට ඔක්කොම එළියේ" යි මහ හඬින් කෑගසා කීවා.
එකෙනෙහිම කාලකූට කකුල පහත දමා, හිඳගෙන සිටි ඉරියව්ව වෙනස් කළා. මුළු ප්‍රේක්‍ෂකාගාරයම හූ කියන්නට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම වාඩිවී හිඳීමේ වැරැද්දක් නොතිබුණත්, නළුවා බෙහෙවින් අපහසු තාවයට පත්වූ බව දැක, ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දෙගුණ තෙගුණ වුණා. ඒ සමඟම වලේ සිටි නරඹන්නන් අතරින් " හිල්ඩා මෝඩයා", "කට වහපන් මෝඩයා" වැනි වදන් වලින් ප්‍රතිචාර එහා මෙහා හුවමාරු වෙලා දෝරෙ ගලාගෙන ආවා. එමෙන්ම එහි දිගුවක් ලෙස එකිනෙකාගෙ සරසවි කාඩ් එකෙන් ආමන්ත්‍රණය කරමින් ටික වේලාවක් වාග් ප්‍රහාරය පවැතුණා. ඒක ඒ අය ඉතා අහිංසක වින්දනයක් ලැබූ මොහොතක්! එවැනි අදහස් ප්‍රකාශන නිදහසක් දිවයිනේ කොතැනකවත් අත්දකින්නට ලැබෙන්නෙ නෑ. ඒක සරසවි වලේ විතරමයි. ඒ මියුරු මතකය තාමත් හිතේ කොනක සටහන් වෙලා...
එහෙත් අද මෙන් එදා
වේදිකාවට, එහි
රඟන නළු නිළියන්ට, පාවහන්
හෝ අතට හසුවුණ දේවලින් දමා ගසන සංස්කෘතියක් නිර්මාණයවී තිබුණෙ නැහැ. ලෝකය කැරකෙනව. වෙනස් වෙනව. එකතැන තිබුණොත් පිරිසිදු දියත්තක් වුණත් පල් වෙනව ! වෙනස් වෙන එක හොඳයි ධනාත්මකව. වෙනස් වීම පලදායි නම් වටිනව.
මල්ලිකා එම් බණ්ඩාර
23. 07. 2016
In 1975 in "Wala"there was a drama produced by Kapila Kumara Kalinga named "Bimgay"(Tunnel).When performing, one actress had to stay different position for a awhile,but she couldn't complete it due to one from the Hilda Obeysekera
ReplyDelete6th wing shout now bimgay penawo(we can see tunnel). correctly).
I can remember it Nimal!Thanks for recalling that moment!
ReplyDelete