Sunday, 26 March 2017

දඩයක්කාරයා

වනේ ලා පාහින සහල සේ
අනවරත දුක් ගැහැට විඳ දරා
පදම්වී උණුදියෙන්, ගින්නෙන්
බතක් වී  පැහැපත්ව​ ඉදුනෙමි

අහිමිවන ​ බව,
දැන දැනම ඉරහඳ මෙන්
ප්‍රේමයට හැඬුවෙමි.
අත්නොවූ බොහෝදේ අතර
ප්‍රේමයද​ එකක් යයි පසක් කර​
"මිදි තිත්තයි" නොකීමුත් 
පිස දමමි නුවනගින් ​බේරී 
දියව යන හිම කන්ද.

ලුහුබඳිමි නොනැවත​ 
දඩයක්කාරයෙකු සේ
අත්කරගනු රිසිව​
පුරවා ගනු පිණිස 
තුළිත නොවනා හිඩැස
සිදුරුවුණ හදවතේ.

දින සති මාස අවුරුදු, අන්තිමේ
දසක ගණනාවක්ම පසුව ඇති මුත්
නොසංසිඳෙනා දොළදුකක්වූ,
 “ප්‍රේමය,” නුඹ තවම මහළු නැත!​
අදත් නුඹ අභිමුවෙහි හද ගැහෙයි
දෙමෝලෙන් පිටිකොටන රිද්මයට
අකුණු සැරයක් දිවෙයි 
සසල කර මගේ හිත මොහොතකට​​.


මල්ලිකා එම්. බණ්ඩාර​

20.03.2017

Saturday, 25 March 2017

ගිනිගත් අසපුව


ගල්ලැහැ පැදුරු පලසක්සේ එලාගෙන​
බෙලිමල් උගුරකින් තොල කට තෙමාගෙන​
ජාතක පොතෙන් බණ අහුරක් පුරාගෙන 
ඉසිවර හිඳී අසපුවෙ මඟ බලාගෙන​​  

කටු මැටි පැලේ මැටි කොතලේ පැන් බීව​
පොල්කොට ඒදන්ඩ පැන​ එතෙරට ආව​
කටු අකුලකින් මල් පීදෙන දොලගාව
කුරුමානම වෙලා මල්දුන්නට මාව​

සැළලිහිණියේ මුල මැද අග සොයාගෙන​
සී පද සැහැලි වනපොත් කළ නියාවෙන​​
මී විත ඉහිරිලා කාටත් හොරා මෙන​
ගී පොත ගිනි අරන් හිමිදිරි උදෑසන​

මව්ගුණ විලක් නම් නුඹ රළ පතර එහී
බුදුගුණ දොලක් නම් නුඹවිණි​ තනුව එහී
ගී උල්පතින් සාගරයක් බැන්ද ළෙහී
ගීතය කුමට හිත හීලෑ කරනු නොහී?

මල්ලිකා එම්. බණ්ඩාර
19.03. 2017


Sunday, 19 March 2017

හැව ඇරීමේ කාලයයි මේ



ඉතින්වත් නැඟිටියව්
හාමතින් පෙළෙන උන්
ජීවිතෙන් තැලෙන උන්
පැල්පතේ හිඳින උන්,

කුස පොත්ත අතගගා ධනවතුන් පා සිඹින​
උන්ගෙ මන්දිර අගුවෙ දංකුඩේ ගිලදමන​
වැඩවසම් වහල් කැල​,
තොපේ දරුවන්ටවත්
වහල් මෙහෙයෙන් මිදී 
දෙපා මත හිටගන්න​ ඉඩ තියව්!

මළ බැඳුන​ මොළ වැසුන​
ගොම තැම්බ අයින් කර
මනස් වල වෙළී ඇති වහල් බැමි කඩා හැර
නිදහසේ අරුත  මතු පරපුරට විඳගන්න​
ජාතියට​ නිවහල්වු දරු කැළක් බිහි කරව් !

හූනු බිජ්ජක් තරම් නැති පුංචි දිවයිනේ
ජාතියේ ආගමේ වරිගයේ නාමයෙන්
බැඳුන වැට කටු කොහොල් විනිවිදව බලන්නට 
නවෝදයෙ රුවන්මය අරුණැල්ල විඳින්නට
තිමිර පට ඉරාදා ​නොනැඟිටී නම් තවත්
මළ අතීතයට ආවඩනවා හැර ඉතින්
අනාගතයක් තියා වත්මනත් ගිළිහේවි
නුඹලාට​ නොදැනීම

බිඳුන කොඳු ඇට රෑන හණමිටියෙ ඔතාගෙන​  
නැඟිට නිදිගැට හරිව්!
ශිලා යුගයේ ලගින ගැරැඬි රැල
පරණ හැව අරින්නට
දැන් ඉතින් කාලයයි!


මල්ලිකා එම්. බණ්ඩාර​

19.03.2017





Saturday, 18 March 2017

ගොපලු ප්‍රේමය​



සැඳෑකල රන්කරල් සැලෙන​ ගම ලියද්දේ
​කුඹුක් සෙවනින් මිදී ඇදෙන​ ඇල​ ඉහත්තෙන්
මද පවන වෙළාගෙන ගලන වස්දඬුරාව​
සවන් පත්ලෙහි රැඳී නඟද්දී ප්‍රතිරාව​
යෞවනේ වසන්තය මඟ බලා සිටියාය​.

වියන්නට බැරි හීන මිටක් ළමැදේ තියන්
කියන්නට බැරි ගීය නෙතු තලාවේ ලියන්
පහන් කණුවක්වීමි එකලාවු කොදෙව්වක​​
​පහන්වන තුරා දිගු රැයම​ දුර ඉසව්වක
බිඳෙන ​රළ පෙළ නඟන වියරු කන්නලව්වක
නුඹෙ තනුව මට​ ඇහෙයි දුර ඈත දනව්වක​

පියාපත් ලද නමුදු දිසානතියක් නැතිව​
පියාපත් සලන්නේ කෙලෙස මා නුඹ කැටුව​
කියාගත නොහැකිතැන​ කවිය නුඹ හට ගෙතුව
වියාගත් පැදුර වැරැහැලිවුණා නිදි නැතුව​

පවුරු බැමි බිඳලන්න නොදී රැකවල් ලෑව​
සහස් නෙතු හී සරින් අතෑරිනි කොල්ලෑව​
විලාපයකට හැරී අහස දියවූ පසුව​
මිහි මතට ඇදෙමු වැහි බිඳක් වී එකමුතුව ​​

මල්ලිකා එම්. බණ්ඩාර​
19. 02. 2017


Monday, 13 March 2017

පබාවතී


කිරිඅප්පු නයිදෙගේ සකපෝරුවේ දමා
පාහන්ට බැරිතරම්
මැටි වළඳ බිඳුනා ඔන්න මේ සැරේනම්  
ඉදිවෙන්ට නැවුම් බඳුනක්ව තිර කාලයක්
උන්ඳෑගෙ දෑත් මත මැටි පිඩක් වුණේ මං
සුනු විසුනු වෙලා වී පොරි වගේ
නන්නාදුනන උන්ට පෑගෙන්ට නම් නොවේ

අව් වැහි අකුණු සැඩ සුළං මැද පොරබදන​
ඉන්ද්‍රඛීලයක් වන් අකම්පිත
ගැහැණියක​ විලස ඉදිවෙන්ට මිස,
රනින් කළ පබවතක නිමා වෙන්නට නොවේ.

ඔහු තවම ඇයට පෙම් කරන බව  දැනුනාම​.
වරක් දෙවරක් නොවේ යළි යළිත්
කුඹල​නුඹෙ මැවිල්ලෙන්  
කමක් කාරියක් නැති බව හැඟුණි

කිරිඅප්පු විදානේ; 
අන්තීම වතාවට​
බැරිද ඉදි කරන්නට මා කෙරෙන්,
අයෝමය​ කුවෙන්නක
දිවිදොසක් ගෙනෙනුවස්  වළඳ බිඳලූ උන්ට​?

මල්ලිකා එම්. බණ්ඩාර


12. 03. 2017

Sunday, 12 March 2017

බාලිකා


බාලිකාවේ කොනක තුන් මහල් පහයෙ හිඳ​​
ලැබෙන හැම විරාමෙක​
ළබැඳි යෙහෙළියන් මැද​
දැහැන් ගත වුණ සිතින්
කොතෙක් නම් බලා හිටියාද
හන්තාන කඳු වළල්ලෙන් එහා අහස දෙස​

පරණ ගොඩ නැඟිල්ලට යාබදව​
මහරු මැයි හෙවන යට
බස් නැවතුමට වෙලා
කොතෙක් නම් බලා හිටියාද​
තුරල් කරනා තුරා පොද වැස්ස​

​ළමාවිය නම් මධුර​ වසන්තය
නිමා විය නොනිමි ගීතයක්වී
​සිනා හඬ වියෝගීයක් වෙලා යෞවනේ
ගෙවී ගිය යුගය​ සිහිනයක්සේ මෙනෙහිවේ

කාලයේ වැලි තලා අතර හිඳ​.
තෙළිතුඩට හසු නොවූ පැතිකඩක්
අඳින්නට වෙර දරමි මතකයෙන්

ශ්වේත රැළි ගවුම හැඳ​
පොත් මිටිය​ තුරුල්ලේ හොවාගෙන
ළයමඬල දිගේ පහලට වැටෙන​
පස් වණින් සැදුම්ලත් කරපටිය,
උකුළු තල සෙනෙහසින් වැළඳ ​ගත්
කරල් දෙකකට ගෙතූ දිගු වරල,
සළ රුවක් සේ ඇඳී මැකීයන මොහොතකින්
නව යොවුන් යුවතියක​ හිඳී  මා අබියසෙහි
සුරුවමක්වී නුදුරු දෙව් මැදුරු දොරටුවේ

මල්ලිකා එම්. බණ්ඩාර

10. 12. 2016

Monday, 6 March 2017

ශෝකාලාපයක්!



පළමු පෙම්වතියගෙ නමින්
හඬන මගේ පෙම්බරා​ණ​
හඬමි මමත් ඔබ මාතින්
ගිළිහුණ දුක හිත දරාන​

පෙමත් අහිමි ඇයත් අහිමි
නුඹ වැළපෙන හැටි බලාන​
ත් එරෙහි නුඹ වෙනුවෙන් 
කෙලෙස හිඳිමි දුක බෙදාන​

දසක ගණන් ඉතිහාසේ
වැළලුණ නුඹෙ පෙම් පුරාණ​
පඳුරු ලලා දළු ලියලා
ඇවිත් මතක පිරිවරාන
නැකතට සුළඟිලි  පැටලූ
රන්හූ වරපට ලිහාන​
පතිදම පළුදුව ගියාද​
ඇගෙ දෙණ ළඟ​ හිමිසඳාණ​?

අහිමිව සිහසුන උරුමය​
ගිළිහුණ අබිමන් කිරුළු
ගිනි බත් වුණ රජදහනක
රකිමි කුමට දැළි සුඹුලූ ?

පිළුණු පෙමක නටබුන් මත​ 
දෙවොලක් ඉදිකළ වරදට​
මා ඉවසිය යුතුද තවත්
මගේ දුබල ගැහැණු කමට?


මල්ලිකා එම්. බණ්ඩාර

21. 02. 2017

Thursday, 2 March 2017

ප්‍රේමයේ උත්තානය


විදෙන මල් යහන් සුසිනිදු සේල අතුරුවා
හැදු රන් දෙවොල පුදසුන පිදුන​     රෑ දිවා
බිඳුන ප්‍රේමයේ කැබිලිති පිණිදියෙන් දොවා
පිරිමදිමි තැළුන කඩතොළු හද​ රිදුම්   දෙවා

දක්කමින් වයා වධ බෙර ලවා චිතකයේ
ගිනි ලැවූ  සොඳුරු සැමරුම් පෙම් පුරාණයේ
අළු මතින් සිනා සලමින් පිපි සුසානයේ
දිඹුල මල මමද​ ඉම නැති සිහින නිම්නයේ?

හිරුද සඳ මඬල ගෙනවිත් දෙපා මුල තියා
ඉරුණ රන් සළුව අළුතින් රටාදා වියා
යළිත් නුඹ ඇවිත් මා වෙත​
මකා වණ කැළල් මා සිත​
කියන් මෙලෙස උත්තානය වෙන්ට කාරණා?

ආලයේ මියුරු මී විත​ මුවවිටක් පිරූ පෙම්වත
මමයි නුඹේ ඉසිදාසිය, ඉතින් යමු රැගෙන අතිනත​
සසර කොයිතරම් දුර මුත් ගමන වනතුරා දිවිහිම්
හිඳිමි නොඅසාම දිවමන් වෙන්ට කාරණා 


මල්ලිකා එම්. බණ්ඩාර​
09.02. 2017