මුලින්ම මා මේ සටහන MAGPIE
LOUNGE එකේ තියන්නට අදහස් කළේ පහුගිය අවුරුද්දෙ. කිසියම් හේතුවක් නිසා එය ප්‍රමාද කරන්නට සිදුවුණා. ආයෙත් වරක් මම හිතුව මේ සටහන මෙහි තැබිය යුතුයි කියලා.
ළාබාල දැරියන් මෙන්ම පිළිකා රෝගීතත්වයන් නිසා දිනකට මියයන මව්වරුන් සංඛ්‍යාව අතිමහත් ය. කණගාටුවට කාරණය වන්නේ බොහෝවිට අපේ නොසැලකිල්ල නිසා, අපට පහසුවෙන් විසඳාගත හැකි ගැටළු දිග් ගැහීමෙන්, අනපේක්‍ෂිත තත්වයන්ට මුහුණ දීමට සිදු වීමයි. දරුවන් බාල වියේදීම මවක් මියයෑම දරුවන් ගේ මානසික සහ කායික වර්ධනයටත්, චර්‍යාවර්ධනය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙනුත් අහිතකර බලපෑම් ඇති කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය.
එය සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියා වෙනසක් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකින්. විවිධ රෝග පිළිබඳ අප දැනුවත් නම් අනපේක්‍ෂිත තත්වයන්ට මුහුණ දීමට ඇති ඉඩ කඩ බෙහෙවින් අවම කර ගැනීමට ඇති අවස්ථා තිබේ. සමහර අවස්ථා වල රෝගතත්වයන් රහසිගතව සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම නිසා අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. බොහෝවිට රෝග නිධාන සහ පැතිර යාම වළක්වාගත හැකි විධි පිළිබඳව තමන්දැනුවත්ව හිඳීමත් අන් අය දැනුවත් කිරීමත් මහඟූ සමාජ කාර්යයක්.
කිසියම් රෝගීතත්වයක ලක්‍ෂණ පහලවී ඇතැයි අනුමානයක්
හෝ ඇතිවුවහොත් වෛද්‍ය වරයෙකුගේ සහාය පැතීම කාලෝචිතය. තොරතුරු දැනගැනීමේ මාධ්‍ය
තාක්‍ෂණික මාධ්‍ය වල බහුලත්වය, විවෘත භාවය නිසා විවිධ රෝග සහ ඒවායේ ස්වභාවය ගැන දැනුම් සම්භාරයක් අද, අප වටා ස්ථානගතව තිබේ. මීට දසක දෙකකට
වඩා එය බෙහෙවින් වාසිදායකය.
වෛද්‍ය විද්‍යාව, එහි විෂය පථය පිළිබඳ හෝ එහි ප්‍රථිකාර ක්‍රම පිළිබඳව මට ඇත්තේ zero දැනුමක්. ඒ නිසා
මගේ සටහන මගේ අත්දැකීම් පදනම් කරගෙන මිස වෛද්‍ය විද්‍යාත්මක පරිශීලනයක ප්‍රථිඵල
විග්‍රහ කිරීමෙක් නොවේ. පොත පත පරිශීලනය තුළින් මා ලබා ගත් දැනුම, මගේ එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව අදාල කර ගැනීමට
මා විශේෂයෙන් සැලකිළිමත් වෙනවා. මා අධ්‍යාපනය ලෙස සලකන්නේ එයයි. අපේ ජීවිතවලට අප උගත් දේ apply කරන්ට බැරිනම් ඒ
අධ්‍යාපනය අසාර්ථකයි. දියුණු රට වල අධ්‍යාපන ක්‍රමය තුළ අභිප්‍රායයන් බෙහෙවින් ප්‍රායෝගිකයි.
විෂය මාලාවේ හෝ පාඨ මාලාවේ හරය විය යුත්තේ එයයි. බොහෝ ඌණ සංවර්ධිත රටවල විෂයමාලා සංවර්ධනයේදී ප්‍රායෝගික බව සැලකිල්ලට
ගන්නවාට වඩා, අවබෝධයෙන් තොරව
දැනුම ගොඩගැසීම ගැන සැලකිලිමත් වීම කැපී පෙනෙන ලක්‍ෂණයක්. දරුවන් ගිරවුන් බවට පත්වීම ඒ නිසා නොවැළැක්විය හැකි දෙයක්.
ඒ මගේ පලවෙනි දරුවා වයස අවුරුදු දෙකහමාරක් විතර, මව් කිරි වෙනුවට සාමාන්‍ය ආහාර වලට හුරුවන කාලෙ. වරක් මට පුවත් පතක පලවූ එක්තරා ලිපියක් කියවන්න ලැබුණා.මගේ මතකයේ හැටියට එය මහාචාර්ය නන්දදාස
කෝදාගොඩ විසින් පියයුරු පිළිකා පිළිබඳ කළ සාකච්චාවක් ඇසුරෙන් සැකසූවක්. පියයුරු පිළිකා හඳුනා ගැනීමේ එක් සරල ක්‍රමයක් එහි විස්තර කර තිබුණා.
එම ලිපියට අනුව සමතලා තැනක උඩුඅතට දිගාවී තම දෑතේ දබරගිල්ල සහ මැදගිල්ල දෙපියයුරු මත චක්‍රාකාරව මෘදුව එහා මෙහා
ගමන් කරවිය යුතු අතර කිසියම් එහා මෙහා පනින ගැටිත්තක් ඇද්දැයි සැලකිලිමත් වෙමින් නිරීක්‍ෂණය කරන ලෙස සඳහන් කර තිබුණා. මම ඒක ප්‍රායෝගිකව කරලා බැලුවා. මේ පරික්‍ෂාවේදී, කඩල ඇටයක් තරම් ගැටිත්තක් එහා මෙහා පනින බව මට
දැණුනා.
"මට පියයුරු පිළිකා"! මම මහත් භීතියකින් හිරිවැටුණ.
ඒ දවස් වල අපි පදිංචි වෙලා හිටියෙ කුරුණෑගල ටවුමට
ඉතාම කිට්ටු තැනක. ඉතින් එදාම දවල් වරුවේ මම කුරුණෑගල ඉස්පිරිතාලෙට ගියා, අදාල සායන තියෙන දවස් දැනගෙන එන්න. ඒ බදාදා දවසක්. ඊළඟ සිකුරාදා සායන
දිනය.
වෛද්‍ය සායනය සඳහා ගියාට පස්සෙ මාව පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා
මගේ සොයා ගැනීම ගැන විස්තර ඇහුවා. ඔහුගේ නිගමනය වුණේ එය පියයුරු පිලිකා නොවන බවත් ‘breast
lump’ එකක් බවත්. සුළු ශල්‍යකර්මයකින් එය ඉවත් කළ හැකි
බවත් ඔහු තේරුම් කර දුන්නා. මේ දුවන ගැටිත්ත අල්ලා ගැනීම තරමක් අපහසු නිසා අවුරුද්දකට පස්සෙ නැවත එන ලෙස උපදෙස් දෙනු ලැබුවා.
අවුරුද්දක් ගතවන විට මා දෙවන දරු උපතට ආසන්නව සිටි නිසා ශල්‍ය වෛද්‍යවරයා මුණගැහී අවශ්‍ය ක්‍රියා මාර්ග ගැන
දැන ගැනීමට මට අවශ්‍ය වුණා. සාකච්චාවේ ප්‍රතිපලයක් වශයෙන් මා ගතයුතු ඊළඟ පියවර ගැන
අවධානයෙන් ඉන්නට මා සමත් වුණා. මගේ දරුවාට වයස අවුරුද්දක් ගතවූ පසු නැවත වරක් මම පේරාදෙණිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා
හමුවුණා. එම විශේෂඥ වෛද්‍යවරයා මාව පරීක්‍ෂාකර, දැනට
ශල්‍යකර්මයක් කළ නොහැකි බවත්, මව්කිරිදීම නතර කර මාස හයකින් නැවත පැමිණෙන
ලෙසත් දන්වනු ලැබුවා. ඒ අනුව නියමිත කාලය තුළ මා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස්
ශල්‍ය කර්මය කරගනු ලැබුවා. ඒ වනවිට අවුරුදු දෙකහමරක් තුළ ගැටිත්ත ලොකු නෙල්ලි ගෙඩියක් තරම් වර්ධනයවී
තිබුණා. එය නොතකා හැරියානම් තවත් වර්ධනය විය හැකිව තිබුණා.
මා එම ශල්‍යකර්මයට යනවිට මගේ සති දෙකක වෛද්‍ය නිවාඩු
අනුමත කරගත යුතුවුණා . එවකට මා සේවය කළ ඉස්කෝලේ පන්ති කීපයක මා සමාජවිද්‍යා විෂය ඉගැන්වූ අතර මා වෙනුවෙන් නියමිත පන්ති වලට ඉගැන්වීමට එක් ගුරු මහත්මියක් ස්වේච්ඡාවෙන් කැමත්ත පලකළා.
සති දෙකකට පස්සෙ මං ඉස්කෝලෙ ආවාම අර මගෙ සහන
ගුරුවරිය මගෙන් දහක් ප්‍රශ්න අහන්ට පටන් ගත්ත. ඉතින් මං ඇහුව ඔයා ඇයි මේතරම්
උනන්දු මේ ගැන. ඔයා ගැන මොනව හරි සැකයක් තියෙනව නම් සිකුරාදා clinic දවස, ගිහින් ඒ ස්පෙෂලිස්ට් මුණගැහෙන්න කියලා කීවා.
අසාමාන්‍ය වෙනසක් තියෙන බව දැනෙනව
කියලා ඒ ගුරුවරිය කීවා. ඇය බොහොම
ලැජ්ජාශිලීව මා සමඟ කතා කළේ. ලෙඩ දුක් සැඟවීම සංස්කෘතික ලක්‍ෂණයක් නම් එය කොයිතරම්
හානිකර දෙයක්ද? මිනිස් ජීවිතයකට
හානිකර, මානව සංහතියේ
පැවත්මට අහිතකර සංස්කෘතිය හෝ එහි ලක්‍ෂණ රකිනවාට වඩා මිනිස් ජීවිතය කොයි තරම් නම් වටිනවාද කියල මම හිතෙන් තර්ක කළා.
ඒ ඉස්කෝල නිවාඩුවට ඉස්සර සතිය. ඊළඟ සිකුරාදා එයා ඉස්කෝලෙ ආවෙ නෑ. ඊළඟ සතියමත් එයා ආවෙ නෑ. ප්‍රින්සිපල්
කීව ඒ ගුරුවරිය රෝහල් ගත කරලා
කියලා.
දෙසැම්‍බර් නිවාඩුව මාසයක්ම දිගයි. ඒ මාසෙත් විසි
වෙනිදට අපි වැටුප ගන්න ඉස්කෝලෙ ගියා. එදා අපි හැමෝම දැන ගත්තා ඒ ගුරුවරිය ට “breast cancer” කියලා. ජනවාරි මාසෙ
ඉස්කෝලෙ පටන් ගන්නකොට එයා නැවත නොඑන්නම ගිහින්.
ඉතින් තරුණ දුවරුන් වගේම, හැම කාන්තාවක්ම පියයුරු පිළිකා
පිළිබඳ ඇනුවත්ව සිටීම වැදගත්නැද්ද? එවැනි අත්දැකීමක් ඇති අය තම අත්දැකීම අන් අය සමඟ
සුහදව හුවමාරු කරගන්නට තරම් කාරුණික වෙනවා නම්, එය ඔබ, තවත් ඔබ වැනිම, කාන්තාවන් ගණනාවකගේ
ජීවිත රැකගන්න උපකාර කළා වෙනව.
අපි ජීවත් වෙන්නෙ විසිඑක්වෙනි සියවසේ දෙවෙනි
දශකයේ. ගෝලීකරණයේ හිණිපෙත්තේ පයගහලා ඉන්න අපිට මුළු ලෝකෙම පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා.
සැඟවිය හැකි හෝ යුතු කිසිම දෙයක් නැතිතරම්. තාක්‍ෂණය දියුණුයි, ඒ නිසා තොරතුරු සංසරණය වේගවත්. මේ සමාජ ක්‍රමය තුළ දැනුම ව්‍යාප්ත වෙනව වගේම, ලෙඩ රෝගත් බෙදා හදා ගැනෙනවා. ඒ වගේම ලෙඩ රෝග නිවාරණයත් එකම මනුෂ්‍ය පවුලෙ අය අතරේ බෙදා
හදා ගමු.
මල්ලිකා එම්. බණ්ඩාර
07.11.2016
No comments:
Post a Comment