Monday, 14 August 2017

හිරු මළගම ළඟ​

ගොම්මන ගෙතුළ ලැගගන්නට වලි කනවා
පළඟැටි රැහැයි හඬ දසතින් විසිරෙනවා
හිරුගේ මළගමට සඳපත ඉකිලනවා
පොඩිඋන් කියූ සීපද හිත පැටලෙනවා

දසමස් පුරා මා කුස තුළහොවාලා
ඇටමස් නහර දියකර කිරි පොවාලා
කළුගල් තළා කුස ගින්දර නිවාලා
කොයිබද ගිහින් අද මා හැදු පුතාලා

කිරිකැටි සිනා පා සන් හඬ  රැව් දෙනවා
මීබිඳු කෙළි කවට  දඟකම් සීවෙනවා
දහසක් හෙට අනිද්දාවන් පහුවෙනවා
මගෙ ළය අඟිරිගා  දරු දුක උහුලනවා

දරුවන් ගෙදර අතහැර ගිය දිනේ පටන්
අඳුරක් පාළුවන් ලැග අතු පැලේ හිටන්
ලේකිරි සුවඳ මගෙ නැහැපුඩු අතර නටන්
දෙකණට  ඇහැට නිම නෑ දවසකට හටන්

සුළඟට පහන් සිළ ඔත්පල වෙමින් වැනේ
උළමෙක්  අඬයි කුඹුකේ ලැග ලියැදි කොනේ
මරණයෙ පාළු සීතල හිත කයට දැනේ
කවදද උපන් ගෙට එන්නේ පුතනුවනේ?

මල්ලිකා එම්. බණ්ඩාර​



          1987

No comments:

Post a Comment