Thursday, 26 July 2018

දූතයා


සිළිටි දෙකොපුල
සදිසි බිඹු පල​
ළදල්ලක් වන්
සැලෙන මුදු තොල
​උපුල්වන් නෙතු සඟළ​
දුටු දනන් සිතු පහන් කළ​

හද ලෙනේ අගුළු හල​
වත සදිසි සඳ මඬළ​
ඇවිත් දොරකඩ එබී බැලුවා
මුළු ලොවම ඇය වනැයි සිතුවා

යෞවනේ ලොබ බැන්ඳ තුණු කය
තිරව පවතිනු ඇතැයි සිතුවද​
කොයිතරම් කැළඹිණිද දුටුදා
පළමු වර සුදු කෙස් ගහක් හිස​


මල්ලිකා එම් බණ්ඩාර​

19. 07. 2018

හත්දින්න තරු

ප්‍රිම්රෝස් ​ කඳු මුදුන​
දැදුරු වුණ සඳමඬළ
දියවෙලා ගලන සඳ
අඳුරුවීණි මිහිමඬළ​
අමාවකදා වගේ
පියෂෝ උයන පාමුල

ගෝනි කඩමලු ඔතා
සිරුරු මත​ අතහැරිය
පොඩි සිඤ්ඤ මරං අතු
යටින් නුඹෙ සිරි පතුළ​
දුටිමි හඳුනා ගතිමි
නොමැති මිරිවැඩි සඟළ​

සඳ බසින කණිසමේ
හත්දින්න තරු පොකුර 
රත් සඳුන් කඳන් සේ
හිඳී මහ මඟ වැතිර​

සත් දිනක් මඟ බලා
හිඳ ම'පුතු එනතුරා
යළි නොඑන බව දැනී
සත්කඩට නොපැළුණේ
කිමද මගෙ ළය මඬල​

මල්ලිකා එම් බණ්ඩාර 
18.07. 2018




Thursday, 19 July 2018

දිවමන් දෙවිවරු



මුර කුටියේ පැල් රැකලා
නිදි වරනා අප්පච්චි
උදැනක්කේ කැට කුඹුරේ
හී හානා අප්පච්චි
දිය ඌලේ පැන් සනහා
ගෙට එනවිට රෑවෙච්චි

දරු කැළකට කිරිවරණා
බත සඳහා බිම් නඟනා 
රැක වරණා නිති සදනා
දුක උහුලා අපි රකිනා
රස බොජුනා පිඬු කරනා
ඉටු දෙවිඳුයි අප්පච්චි

පන් නෙළනා පන් වියනා
ගී ගයනා අපෙ අම්මා
දුක දැනෙනා හිත නිවනා
සිරි දෙව්දුව අපෙ අම්මා

අට පෙතියා මල් නෙළලා
වෙහෙරට පුදනා අම්මා
රන් කරඬුවසේ වැඩ හිඳ​
ගෙදොර එකළු කළ අම්මා 

බිම්කරු වල දුරු කරනා
පහන් වැටයි මඟ කියනා
බිය සැක ළඟ ඉවකරනා
මෙතේ බුදුන් අපෙ අම්මා

මල්ලිකා එම් බණ්ඩාර
19. 07. 2018


Incurable Disease

Look! 
This is my only child
who bring back me to life
I lived for him
and will be for him
Can I believe why
he's bound to be die?

since the dawn 
and to until the dusk
a house to house 
and door to door everywhere
looking for medicine
with the prescription
running here and there

the possible house where
that nobody has ever die
soon and very soon
hopefully would be seen

In this vast city 
wherever I have past
The possible such God 
to dry the flowing tears 
fountain in my eyes
or, 
have I missed the someone
with a few mustard seeds
and the pleasing few words
where reaching to my ears
who have mercy on me

Mallika M Bandara


19. 07. 2018

Thursday, 12 July 2018

වැටහීම​


වසන්තය ආවේය​
සිනා මල් පුබුදු කර
මල් පිපී තිබුණේම
කටු පිරුණ අතුපතර​
සුවඳ මල් සිප ගනිමි
කටු ඇනෙන විට හඬමි
සිනා කඳුළැලි අතර​
වෙනස එකවර විඳිමි
ජීවිතය එයම බව​
තවත් මොහොතක හඟිමි
හෙමින් පා යුග තියා
දිනෙන් දින පසු කරමි

මල්ලිකා එම් බණ්ඩාර​

12. 07. 2018

Wednesday, 11 July 2018

ලෙච්චමී


 මල්ලිකා එම් බණ්ඩාර​ - 

අදින් දසක කීපයකට පෙර මතකයක් මගේ හිතේ හීන් සැරේ මෝදු වෙන්නට පටන් ගත්තේ අහම්බෙන් අසන්නට ලැබුණ​ ෆ්‍රෙඩී සිල්වාගේ ගීතයක් ඇසෙන විටය​.
ගීතය අසමින් සිටියදී අහිංසක තේ දළු නෙළන්නිය ඉදිරියේ ඇති දැවැන්ත ලිංගික පීඩනය සහ අනාරක්‍ෂිතබවත්, තරුණ ගැහැණියක ලෙස ඈ මුහුණපාන ස්වාමි සේවක පරතරය පිළිබඳ​ අභියෝගය හමුවේ, ඇය තුළ සිටින ගැහැණිය සටකපට අයුරින් අවදානම මඟ හරින ආකාරයත් කෙතරම් අගේදැයි මම සිතන්නට වීමි.  ඒ ගීතයේ මුල් පේළි දෙකමම හීන් සැරේ මිමිණුවෙමි.

"තේ කූඩය ඉසේ බැඳන්  නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කේ හුඟ කලකට පස්සෙ ලෙච්චමී..."

මගේ හඬින් "ලෙච්චමී" යන්න ඇසෙනවත් සමඟම මගේ ගැයීම මොහොතකට  නතර විය​. ඒ පුංචි විරාමය තුළ,​ රබර් වත්ත පසුකරගෙන ගමේ වෙල් යායට පිවිසෙන, පාසල් නිල ඇඳුමෙන් සැරැසුන දැරියක්  වරෙකත්, මැදිවියට ළංවූ රළු පරළු ගැහැණියක් තවත් වරෙකත්, මගේ හිත තුළ ඇඳීමැකී යන්නට විය​. තුරුණු වියේ ළඳ බොළඳ අහිංසක පෙනුමති දැරිය පසුපසට තල්ලු කර, යෝධ හෙවැනැල්ලක් මෙන් මගේ හිත වසාගන්නට පොරබැදුවේ අර හැඩි දැඩි ගැහැණියයි. තුරුණු දැරිය, ගැහැණියක්ව මට හමුවූ ආකාරය​ නැවතත් මම ආවර්ජනය කරන්නට හිතට ඉඩ දුනිමි.


මම නවවන පන්තියේ ඉගෙන ගන්න කාලෙ ලෙච්චමි කියලා දෙමළ ගෑනු ළමයෙක් අපේ පන්තියට ආවා. පන්තියේ අනික් දැරියන්ට වඩා උස ඒ උසටම ගැලපෙන මහත දෙහෙත ඇති ලෙච්චමී ප්‍රසන්න ශිෂ්‍යාවක් වූ අතර​, හැමෝගෙමත් එක්ක මිත්‍රශීලීව ඇසුරුකළා. අපේ පන්තියේ අවුරුදු දෙකක් එකට සිට සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ ඇයට රචනා ලිවීමෙ අපහසුවක් තිබුණ මුත් ඈ දක්‍ෂ දැරියක්ද වුණා.

කිහිප වාරයක් මා තවත් යෙහෙළියන්ද සමඟ ඇය ජීවත්වු වත්තේ ලැයිම් පේළියට නුදුරින් පිහිටි නිවසට ගොස් ඇත්තෙමි. ඒ ඉස්කෝලේ කිසියම් උවමනාවකට යන එන ගමන් වලදීය​. ඒ ගමන් වලදී ඇගේ මව අපට ආප්ප තෝසේ ඉඩ්ලි වැනි කෑමකින් සංග්‍රහ කළාය​.  ඉතා සුන්දර ගැහැණියක වූ ඇගේ අම්මා ගේ රුව දැනටත් මා මතකයේ රැඳී පවතී. අම්මා ඉතා පැහැපත් පිරිපුන් රූසපුවකට හිමිකම් කී අතර ඇය ගෙලවටා ලොකු තාලියක් සහ අතේ රන් වළලු පැළඳ සිටි බවත්, ඉන්දියන් කපු රෙද්දෙන් නිමවූ කොළ පැහැති සාරියකට රතු හැට්ටයක් ඇඳ සිටි බවත් තාමත් මට මතකය. හැම වෙලේම ප්‍රසන්න සිනාවක් රැඳුන ඇගේ මුහුණ, මාතෘත්වය පිළිබඳ ගෞරවාන්විත හැඟීමක් ජනිත කිරීමට සමත් විය​. මවක වශයෙන් ඈ තුළ උතුරා යන දයාබර බව​, ලෙන්ගතුකම ඒ අයුරින්ම, මගේ ළමා සිත තුළ ඇඳී ඇති ආකාරයෙන්ම වයසින් මුහුකුරා ගිය මතක අතර පවා සජීවීව පැවතුනි.

පැහැබර දවසක අහස අඳුරුවී අකල් වැහි කෝඩයක් වැටුණාක් මෙන්, ලෙච්චමි ගේ පාසල් ගමන නතර වීම, අප බොහෝ දෙනාට අනපේක්‍ෂිත සිදුවීමක් විය​. සාමාන්‍ය පෙළ ලියන්නටත් පෙර ඇය  මහනුවර ප්‍රදේශයේ ධනවත් මුදලාලී කෙනෙකුට විවාහ කරදී තිබුණ බව දැනගන්නට ලැබුණි. පසු කාලයේ අපට ලැබුණ තොරතුරු අනුව ඇගේ දෙමව්පියන් ගේ කැමත්ත අනුව යෝජිත​ විවාහයකට එළඹෙන්නට ඇයට සිදුවූ බව දැනගතිමු.  අවුරුදු දාසයක් වැනි තුරුණු වියේදීම  දැරියකට විවාහ වෙන්නට සිදුවීම​ මොනතරම් ඛේදවාචකයක් දැයි මම එකල බෙහෙවින් කම්පා වීමි.  සැබවින්ම ඇගේ විවාහය, දැරියන් වශයෙන් අපේ පන්තියේ බොහෝ දෙනාගේද සිත් සසල කළ ආරංචියක් විය​. ඒතරම් අඩු වයසින් විවාහයකට එළඹීමට තරම් බලපෑ හේතු මොනවාදැයි අපි නොදත් මුත්, අපි විමතියට පත් වීමු. කම්පාවට පත් වීමු.

පසු කාලයේ මා සරසවි අධ්‍යාපනය අවසන් කර ගුරුපත්වීමක් ලැබ මා ඉගෙනගත් පාසලේ  ගුරු වෘත්තීය අරඹන්නට යෙදුණි. ඒ කාලේ වන විට ලෙච්චමීගේ දෙමාපියන්ට ඔවුන් පදිංචිව සිටි වත්තෙන් පිට යන්නට සිදුවූ බව දැන ගතිමි. ඔවුන් ජීවත් වූ කොම්පැනි වත්ත රජයට පවරා ගත් බවත්, ඉඩම කෑලි වලට කඩා ගෙවල් ඉදිකර, ඉඩම් නැති පවුල් සඳහා උදාගම්මානයක් බවට පත් කර ඇති බවත් දැන ගතිමි.

ඉනුත් බොහෝ කලකට පසු දිනක මට ලෙච්චමී හමුවුණාය​.  ඒ අප පදිංවිව සිටි නිවස​ පිහිටා තිබූ, මහනුවර කටුගස්තොට පාරේ, පරණ මාතලේ පාර අසල දීය​. මම එක් මොහොතකින්, අසුරු සැණින් ඒ ලෙච්චමී බව හැඳින ගත්තෙමි.  මගේ ළමාකාලයේ මිතුරියගේ ළමා රුව නොනැසී පැවති අතර වියපත් වුවද​ ඇගේ හැඩ රුව හඳුනා ගන්නට ලැබීම මා තුළ​ ඇති කළේ අප්‍රමාණ සතුටකි.  සිංහල මිනිසුන් අතරේ ජීවත් වෙන කාලයේ ඇය සිංහල දැරියක ගේ පෙනුමෙන් දුරස් වූයේ ඉතා මද වශයෙනි. දැන් ඇගේ මුහුකුරාගිය පෙනුම​ සම්ප්‍රදායික​ දෙමළ කාන්තාවක් ලෙස​ ඇගේ වාර්ගිකත්වයද පිළිබිඹු කරන්නකි. ඇයද සම්ප්‍රදායික දෙමළ කාන්තාවක මෙන්, අත කණ කර අභරණ සමඟ ප්‍රතිවිරුධ වර්ණ දෙකකින් යුතු සාරියක් සහ හැට්ටයකින්  සැරැසී සිටි අතර, මමද සම්ප්‍රදායික සිංහල ගුරුවරියක ලෙස ඔසරියක් හැඳ මගේ කෙස් කළඹ පිටුපසට කර තද වනසේ කොණ්ඩයක් බැඳ​ සිටියෙමි (එය මා සේවය කළ බාලිකා පාසලේ ගුරුවරියන්ට ඇඳීමට නියමිත වූ විධිය බැවිණි).

මම ඇය​ට සමීපව හෙමින් ඇය ඇමතීමි.
" ලෙච්චමී, මාව මතකද ඔයාට​? මගෙ නම  “නාලිකා”.
අපි දෙදෙන මුහුණට මුහුණ මොහොතක් බලා සිටියෙමු​. ඇය මා හැඳිනගත් බව පෙනෙන්නට තිබුණි. අපේ දෑස් එකිනෙක හමුවුණි. මම මගේ සුපුරුදු පුළුල් සිනාවෙන් මුවපුරා සිනා සීගෙන ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් ඇගේ දෑසෙහි කිසිදු තෙතමනයක් හෝ ප්‍රියමනාප බවක්  නොතැවැරුණ රෞද්‍ර බවක් සැනෙකින් මතු වන්නට විය​. 

"මම ලෙච්චමී නෙවෙයි! මගෙ නම ලක්‍ෂ්මි! මට ඔයා මතකයි. යන්නං...යන්නං!"
ඇය එක හුස්මට කීවාය​. 
ඉන් පසු මහයියාව කනත්තේ කලකට ඉහත සැතපෙන්නට යෙදුන කෙනෙක් මහ මඟ දී හමුවීමෙන් ඇතිවන අන්දමේ තැති ගැන්මකින්, නැත්නම් වික්‍ෂිප්ත භාවයකින් ඇළලුන දෑසින් යුතුව ඇය ගමන වේගවත් කර සෙනඟ අතරේ නොපෙනී ගියාය​.

මම ගල් පිළිමයක් මෙන් හිටිවනම ​මොහොතක් නැවතී ඇය ගිය දෙස බලා සිටියෙමි. පේව්මන්ට් එක දිගේ ඇදෙන සෙනඟ​, පේව්මන්ට් එක මැද ගල් ගැසී ගෙල හරවා පිටුපස බලා සිටින මා දෙස බලන බව මට වැටහුණේ මද වේලාවකට පසුවය​. එහා මෙහා ගමන් කරන සිය ගණනක් මඟියෝ එක් බැල්මක් හෝ මා දෙස හෙලෙන්නට අමතක නොකළහ​. බොහෝදෙනෙක් වරක් මාදෙස බලා මද දුරක් ගොස් නැවත ආපසු හැරී බලන බව මට වැටහෙන්නට විය​​. මා හිටිවනම නැවතී සිටියේ පේව්මන්ට් එකේ හරි මැදය​.

මගේ ඇඟේ නොහැපී යන්නට පරිස්සම්වූ ඇතමුන්, සුළුවෙන් හෝ කළ හැකි සංග්‍රහයක් විදියට මාදෙස රවා බලා පාර දිගේ ඉදිරියට යන බව දැනුනි​. මගේ දෙපා හැරී තිබුණේ මහනුවර නගරය දෙසට වුවද, මගේ හිස හැරී තිබුණේ කටුගස්තොට දෙසටය​. නමුත් මගේ දෑස් හැරී තිබෙන්නට ඇත්තේ පරණ මාතලේ පාර දෙසටය​.  ලෙච්චමීගේ කොළ පැහැති සාරිය සෙනඟ අතරින් නොපෙනී ගියේ  හරියෙන් නිසාය​.

ගැඹුරු හුස්මක් අල්ලා පේව්මන්ට එකේ අයිනකට වී හිටගත් මම, සිද්ධ වුණේ මොකක්දැයි තේරුම් ගන්නට උත්සාහ කළෙමි. සුළු මොහොතකින් මම සිහි එළවාගෙන සිද්දියේ පූර්වාපර​සන්ධි ගලපා ගන්නට උත්සුක වීමි. මගේ හිතට ගොඩ වැදුන පළමුවන හැඟීම වූයේ, අතීත මතකයක සිහිවටනක් ලෙස පැවති පියකරු පිළිමයක් බිමපතිතවී කැඩී බිඳී සුනු විසුණුවූ විටක ඇතිවන අන්දමේ හැඟීමකි. හිතේ කිසියම් තැනක පුංචි අංශුවක් බිඳී යාමෙන් පෑහිය නොහැකි කඩතොළුවක් ඇති විනැයි මට සිතෙන්නට විය​. පිළිමය සුණුවිසුණූ වූවා මදිවට එයින් දැනෙන හිත පුපුරු ගහනා රිදීම ඊටත් වඩා තදින් මට දැනුනායයි සිතමි.කොටින්ම මගේ ළමාවියේ සුන්දර මතක වියපත් ගැහැණියක විසින් පදික වේදිකාවේ කොන්ක්‍රීට් තහඩු මතට අතහල බවත් එකෙනෙහිම කැබෙලිවලට කැඩී සුණු විසුණු  වුණ​  බවත් මට දැනෙන්නට විය​. 

නොකැඩෙතැති නොබිඳෙතැයි සිතා සිටි යමක් අනපේක්‍ෂිත අයුරින් කැඩී බිඳී ගොස් ඇත​. ඒ මා විසින් මහත් භක්තියෙන් හදවතෙහි රුවාගෙන සිටි මගේ ළමාවියයි. ඒ ළමා වියට අයත් යමක් මගෙන් ගිළිහී ඇත​. නැතිනම් බලහත්කාරයෙන් මගේ ළමාවියෙන් කොටසක් ඉරා දමා ඇත​.  නිර්මල පසුබිමක විසිතුරු ලියකම් මල්කම් වලින් නිමවා තිබූ පෙතිකඩකින්, පදාසයක් කිසිවෙකු විසින් ඉරාගෙන ගොස් ඇත​. බලාපොරොත්තු සුන්වීමක අමිහිරි ලැජ්ජාවක්, මදි පුංචිකමක් වැනි හැඟීමක් මගේ සිත පුරා අරක්ගන්නට විය​.

පාසල් ක්‍රීඩා පිට්ටනියේ දුව පැන ඇවිද, එම පිට්ටනියේම නෙට්බෝල් ගැසූ, නිවාසන්තර තරඟ සඳ​හා එකම පිලක් ලෙස, මීටර් සීය, දාහ රිලේ දිවූ මාත් ලෙච්චමිත් අද කෙතරම් දුරස්තදැයි මම සිතන්නට වීමි​. පන්තියේ එකම පේළියේ එක ළඟ වාඩිවී කෙළි කවට කතා කී යොවුන් වියේ යෙහෙළිය මා කෙරෙන් පළාගොස් ඇත​. නැත්නම් මට අහිමිවී ඇත​. 

මා පියෙවි සිහියට ආ කෙනෙහි පුංචි කෙනිත්තීමක් ලෙස මුලින් දැනුන ඒ අමිහිරි හැඟීම, සිත පුරා පහුරු ගානා වේදනාවක් ලෙස වර්ධනය වෙන්නට විය​. ඒ සමඟම අසරණ බවක් ද තවත් මොහොතකින් තරහවකට ආසන්න චිත්ත ස්වභාවයක්ද මසිත තුළ තෙරපෙන්නට විය​. මම ඉක්මන් කර වටපිට බලා පාර පැන ගතිමි. වෙනදා කරවැල් කොකෙකු මෙන් කෙලින් තියාගන්නා හිස අද මට බර වැඩිය​. එනිසා දෑඟුලකට වැඩි දුරක් නොබලාම​ මම ගෙදර තෙක් ඇවිදගෙන ගියෙමි.

(31. 08. 2004)

Sunday, 8 July 2018

සැබෑව​

මට ආගමක් හෝ මට ජාතියක් නැත​
මට භූමියක් හෝ මට මායිමක් නැත​
පැහැයක් කඳවුරක් ගුරු කුලයක්ද නැත​
ඒ හැම ඉක්මවන නිදහස් හිතක් ඇත​

උස් මිටිකම් මනින මිණුමක් තිබෙනු දැක 
වෙහෙසකි තුලාවේ හරි මැද රැඳෙන එක
නින්දා අපහාස ගරැහුම අසල නෙක 
ජීවිත පන්නරය ඇතියෙන් නොමැත​​ දුක​

පීනා දළ සයුර වන ගිරි සිඛර තුළින්
ආවත් පිදුම් නැත වන පස  සුවඳ මලින්
ගල් මුල් වැළඳ සේ මහනෙල් පියළි දැළින්
පියමං කරමු වග වලසුන් රැඳුන වළෙන්

වත්කම් නැතත් හස රැළි උල්පතක් ඇත​   
සිත්තම් කළ මිනිස්කම දිසි නෙතක් ඇත
ඉක්මන් වෙලා ළතවීමෙන් පලක් නැත​
සක්මන් කරනු මිස මට තරඟයක් නැත​

සිඹ සිඹ මුහුණ ළය වස විස වපුරාද​
අඹ යාළුවන් යස ඉසුරට පොරකාද​
දඹ රත්තරං කුස ගින්නට හරියාද​
අග හිඟ කලට මැහි කැළවත් සලකාද?

මල්ලිකා එම් බණ්ඩාර​
07.07. 2018





Friday, 6 July 2018

නවාතැන් පොල​



ජීවිතය අහඹුවකි!
කණ කැසුබු ​
වියසිදුරෙන් අහස
දකින්නට බලා හිඳ​
අමාවක රැයක​
අහස බලනා විලස​​
ජීවිතය අහඹුවකි!

ඒත් මරණය​!
දැන හෝ නොදැන යන ගමනෙකි
ආරාධිතව හෝ අනාරාධිතව​
කැඳවාන යන පිණිස​
නොදන්නා අඩවියට
හැමදාම පෙරමඟ බලා හිඳිනා
කැඳවුම්කරුවෙකි මරණය,

ඉඳුරාම​ දනීනම් 
යායුතුව තිබෙන​ බව
අපමණ වෙහෙස ගෙන​
ජීවත් කරනුවස් ජීවිතය
ඇයිද දුක් ගිනි උහුලාන​
නොනැවත දුවන්නේ?

නියතවම යම් දිනක යායුතු 
නවාතැන​ වෙත යන්න​ ​
සුද්ධ කර කණු මුල්
නැද්ද සැලසුම්, නැද්ද පසුබිම්
නැද්ද මංපෙත් හදන්නේ?

මල්ලිකා එම් බණ්ඩාර​

06.07. 2018

Thursday, 5 July 2018

පොප්ලර් ගස

අද උදෙන්ම මහ වැස්සක් වැස්සා. වැස්ස වහින කොට ගුලිවෙලා නිදාගන්න ඇත්නම් කියල තමයි හැමෝම කියන්නෙ. ඒත් වැස්ස වහින කොට තමයි මට උදේ හිට රෑ වෙනකම්ම හරි නිර්මාණාත්මක දේවල් කරන්ට හිතෙන්නෙ. නැත්නම් රෑ එළිවෙනකං හරි කියවන්න​, ලියන්න මට පුළුවන් වෙන්නෙ. ජීවිතයත් හරියට නිම නොවන පොතක් වගේ. අතේ තිබුණ පොත මේසය මත තියන ගමන් මට හිතුණා.


වැස්සට ඇලේ වතුර ගලාගෙන යන හඬ වෙනදට වඩා ටිකක් වැඩියෙන් ඇහෙනව​. සාමාන්‍ය දවසක නං වතුර ගලායන හඬ හරියට සංගීතයක් නැත්නම් ගීතයක් වගේ. මට දැනෙන්නෙ හරියට නොතේරෙන භාෂාවකින් කරන හීන් මිමිණුමක් වගේ. පරිසරය සජීවීව කතා කරනවා. අවට ගහකොළ වෙගේම කුරුල්ලන් එක්ක සමායෝජනය වෙනව​. අපේ ගෙදරට පිටිපස්සෙන් ගලායන පුංචි දියපාරක් තියෙනව. ඒ පුංචි දියපාර අයින දිගේම  ලිලි මල් පිපිලා මේ දවස් වල​. සුදුපාටට එක යායට පිපුණ ලොකු කුඩා මල් දකිනකොට එකිනෙකට පරස්පර සිතිවිලි දාමයකින් සිත වෙළාගන්නව​.

සුදු ලිලිමල් වලින් හදපු  මල් පොකුරු අතින් ගත් මනාලියන් මගේ මතකයට එනව​. පුංචි කාලෙ අවුරුදු පහ හය වගේ කාලෙ, මුලින්ම ගමේ ලොකු මඟුල් ගෙදරකට ගිය මතකය මගේ හිතේ ඇඳිලා තාමත්. මනමාලී හරියට සුරංගනාවියක් (සුරංගනාවියන් දැකලා නැතත්) වගේ කියලා හිතුණා. තවත් ටික කාලෙකට පස්සෙ සුදු ලිලී මල් වලින් හදපු මල් වඩම් දැක්කම මගේ හිත ටිකක් විතර චංචල වුණා වගේ මතකයි. ගමේ පොහොසත් පවුලක වයස්ගත වැඩිහිටියෙක් ගේ මළගම වෙනුවෙන් එවැනි මල්වඩම් විසිතිස් ගණනක් තිබූ බව මගේ මතක අතර රැඳිලා  තාමත්.  ඒ අතර සුදු ලිලීස් වගේම බාබටන්ස් වලින් විතරක්ම හදපු ඒවත් තිබුණා. මරණයට වගේම මඟුලටත් මල් වලින් දෙන පණිවිඩයෙ  සුන්දර වෙනසක් පවතිනවා නේද කියලා මට හිතෙනව​.
ඇල ඉවුරේ අඩි දහයක් දොළහක් තරම් උසට වැඩුණ  පොප්ලර් ගහ දැක්කම මට මතක් වුණා නුගගහක් යට  පැවත්වුණ ඇත්, වටු, වඳුරු සාකච්ඡාව. ඒ "ට්රිබල" එකතුවෙලා නුග ගහේ ඉතිහාසය කියපු "තිත්තිර ජාතක" කතාව​. පුංචි කාලේ දෙකේ පන්තියට නියමිත පොතක තිබුණා කවියක්. මට මතක තියෙන්නෙ ඒවිදියට​. 

"පෙර එක් කාලයක ඇත් වටු වඳුරු යන
අඹ යාළුවෝ තිදෙනෙක් විසුවෝය වනේ
මේ තුන් දෙනා අතරින් වැඩිමහළු එකා
කවුදැයි දැනගන්න රිසිවූවෝය බොහෝ".
මේ කතාව අවසන් වෙන්නේ ඇතා වඳුරා සහ වටුවා අතරින් වැඩිමහල්ලා වටුවා බව තහවුරු වුණා කියලා.

ඉතින් අපේ ගෙදරට යාබද  ඇළ  පටන් ගන්නෙත් අපේ ඉඩම කිට්ටූවෙන්මයි. පෑදි දිය පාරක් විදියට ටික දුරක් ගලා ගෙන ඇවිත් අඩි හතරක විතර (මීටර් එක හමාරක​)  පුංචි දිය ඇල්ලක් හැදිලා  හැමදාම මුමුණන තැනට මම දවසක ගියා. ඇලේ වතුර රිදී දිය පාරක් වගේ. පිරිසිදුයි සීතලයි. වතුරට බැස්සම මං දැක්කා අඩියක් විතර උස පුංචි පොප්ලර් පැලයක් . ඒක දැක්ක ගමන් මට සරල​ පෘථග්ජන හැඟීමක් පහලවුණා. ඒ ගහ ගලවාගෙන ඇවිත් අපේ මායිමේ හදාගන්න​.  පොප්ලර් ගහක හිමිකාරියක් වෙන්න මොකක්දෝ නොසංසිඳෙන ආශාවක් මගේ හිතේ කොණක පැළපදියම් වෙලා තිබුණා.

අපි New Zealand ආව අළුත, අපට කලින් ඇවිත් පදිංචි වෙලා හිටිය කෙනෙකුගෙන් මම දවසක් ඇහුවා පොප්ලර් ගහක් පෙන්වන්න පුළුවන්ද කියලා. ඉතින් එයා කීවා බෝකොළ වගේ කොළ තියෙන උස ගස් වර්ගයක් ඒක කියලා. මෙහෙ හැම තැනම තියෙනව​. වෙලාවක පෙන්වන්නම් කියලා. ඒ වෙලාව ආවෙම නෑ. ඊට අවුරුදු තුනකට විතර පස්සෙ පෙබරවාරි මාසේ මම Auckland University එකේ උපාධි පාඨ මාලාවක් කරන්න ගියා.  කහපාට කොළ පිරුණ පොප්ලර් වැටිය දැක්කම මට අසීමිත සතුටක් දැනුණෙ. Clock Tower එකට යාබද Princes Street එකේ දෙපැත්තෙම දැවන්ත පොප්ලර් ගස් පේළි දෙකක් තිබුණා! කොළ ඉදිලා ගස් කහම කහ පාට​. මුළු වීදිය පුරාම කොළ හැළිලා. හුළඟේ පාවෙනව​. බලන්න ලස්සනේ බෑ. හරියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කහ මල් පිපෙන කාලේ වගේ කියලා මට හිතුණා.

ඊළඟ අවුරුදු දොළහ ඒ පොප්ලර් ගස් වල හෙවන යට Princes Street එක දිගේ සිය දහස් වතාවක් ඇවිද ගෙන යන්නට ඇති. සීත කාලෙට කොළ හැලිලා ගස් වල අතු රිකිළි විතරයි. සැප්තම්බර් වෙනකොට අතු රිකිළි දළු දාලා නැවුම් කොළපාටට හැරෙනව​.  සිළි සිළි හඬින්පොප්ලර් පත් සැළෙන කොට බෝ සෙවනක් යට ඉන්නවා වගේ දැනෙන්නෙ. “Main Library” එක ළඟ දැවන්ත මේපල් ගස් වල Autumn එකට කොළ හැලෙනව​. මේපල් කොළ මත ඇවිද ගෙන අපි දෙන්න library යනව​. Spring කාලයට පාළුව මකාගෙන ගස් මුදුන්  නැවුම් වෙනව. දළු කරටි දාලා එකම හරිත වර්ණ වියනක් වගේ දෙපැත්තෙම ගස් වල අතු පතර එකට යාවෙලා . පාරට ඉහලින් ඉර එළිය බිඳක් බිමට පතිත නොවෙන තරමට වැඩෙනව​, Summer  කාලෙට එළියට ඇවිත් මේපල් හෙවන යට​ බංකුවක් මත වාඩිවෙලා පළතුරක් කන එක අපූරු  සතුටක්! ආශ්වාද ජනක අත්දැකීමක්.

ඉතින් මට අමතක වුණා ගෙදර ළඟ තියෙන පොප්ලර් පැළය ගැන​. මම ඇළට බැහැලා පොප්ලර් පැලේ ගලවන්න හැදුවා. කීප සැරයක් උඩට ඇද්දා බොහොම පරිස්සමෙන්, නමුත් ඒක උඩට එන පාටක් නෑ. මුල තියෙන්නෙ හුඟක් යට වගේ. මට හිතුණා ඉබේ පැලවුන ගහ මගේ කරගන්න ගිහින් පැලේ කැඩුණොත්  ඒක මහ පොළොවටත් නෑ මටත් නෑ. ඒ නිසා මම අදහස අත් හැරියා. පුංචි පැලේ හොඳට වැඩුණා ඇල අද්දර​. දැන් අඩි දහයක් පහළොවක් විතර උස හොඳ ඉලන්දාරී පාටයි. අතුපතර කොළ වලින් පිරිලා. Autumn එකට කොළ හැළෙයි.  පරිසරය ලස්සන කරන්නට spring වලට අතු රිකිළි දාලා හැඩ වැඩ වෙලා ලොකු ගහක් වෙයි. තවත් කාලයක් ගත වුණාම​ මගේ මතක අතර සචේතනික රසාත්මක නිමිත්තක් වේවි.

පොප්ලර් ගස් වලට තියෙන මේ බැඳීම  මගේ හිතේ පැළ පදියම් වුණේ සෝවියට් කතා පොත් කියවන්නට පටන් ගත්ත කාලෙ. බොහෝ රුසියන් (Russian) කතාවල පොප්ලර් ගස් ගැන සඳහන් වෙන නමුත් ගුරු ගීතයේ පොප්ලර් ගස් දෙක තරම් හදවතට සමීප සජීවී ගස් දෙකක් හමු වෙලා නෑ. ශ්‍රේෂ්ඨ/සම්භාව්‍ය රුසියන් කෙටිකතා පොත මුලින්ම කියෙව්වේ අවුරුදු දොළහ විතර කාලෙදි. දැදිගම රොඩ්‍රිගෝ විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද පොත් වලින් පටන් ගෙන බොහෝ රුසියන් කතා පොත් කියවන්නට​ මම​ ඇබ්බැහි වුණා.

නව වැනි වසරේ ඉගෙන ගන්න කාලේ මට “පළමුවන ගුරුවරයා”  කියවන්නට ලැබුණා. අපිට ඉහල පන්තියක හිටිය අක්කා කෙනෙක් මට කීවා,
 "මේ පොත කියවන්නකො. හරී දුක හිතෙනව​...දරාගන්න බැරිතරම්. ඔයාටත් දැනෙනවද කියලා බලන්න​" ඒ අක්කා කීවා. 
ඊළඟ මුද්‍රණය “ගුරු ගීතය” නමින් මුද්‍රණය වෙලා තිබුණා. පොත් ප්‍රදර්ශනයකදී මම පොත මිලදී ගත්තා. පළමුවන ගුරුවරයා පොතේ අන්තර්ගතය​, මගේ හිතේ පොප්ලර් ගහක් වගේ පැළ වුණේ ඒ විදියට​. ගුරුගීතයේ එන දුයිෂෙන් සහ අල්තිනායිගේ චරිත  වලට අමතරව අල්තිනායි දුම්රියෙන් යන ගමනේදී දකින කඳු ගැටය මත වැඩුණ පොප්ලර් ගස් දෙක ​දුක්ඛිත මතකයක්ව මගේ හිතේ තැන්පත් වෙල තිබුණා. දුයිෂෙන් කෙනෙක් පිටුපස නොහිටියත් කවදා හරි අල්තිනයි වගේ කළු කබායක අයිතිකාරියක් විය යුතුය යන අධිෂ්ඨානය (shameless courage) මගේ හිතෙන් මැකිලා ගියේ නෑ. ඒ නිසාදෝ කබා හතක අයිතිකාරියක් වෙන තෙක්ම ​මහත් ආධ්‍යාශයකින් උපරිම තෘප්තිය ලැබේයයි හිතාගෙන දිව ගියා. ඒත් මම තෘප්තිමත්ද​? 
"හත" සංඛේතවත් කරන්නෙ පරිපූර්ණත්වය නම්, මම දැන් පරිපූර්ණද කියලා මට හිතෙනව​?කබාහතක අයිතිකාරිය වුණාට පස්සෙත් මට දැනෙන්නෙ මං කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. ඉතින් තවමත් මම ගමනේ, මෙතෙක් හමු නොවුණු නොදන්නා දේ දැනගැනීමේ අදිටනින්.ඒත් හොයන සත්‍යය මොකද්ද කියන එක මටවත් දැනුමක් නෑ. කළු කබා සලකුණ​ මගේ ජීවිතය, උපත සහ මරණය පිළිබඳ​ සත්‍යාවලෝකනයේ කඩ ඉම් විදියට, නැත්නම් මං සලකුණු විදියට මම දකිනව. ඒක හරියට King Solomon ගේ ධනස්කන්ධයටත් වඩා මට වටිනව.​ 


සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදු වෙලා ඉන්නෙ අනික් අයට වඩා තමන් හැම දේම දන්නවා කියලා. මට හැමදාම දැනුනේ මගේ දැනුමේ පියවිය නොහැකි හිඩැසක් තියෙනව කියලා. හිඩස වහන්න මං මුළු ජීවිත කාලයම  නොනැවතී වැයම් කළා. දැන් දැන් ඒ හිඩැස වඩාත් විශාලව දැනෙනව​. 

පළවෙනි සිංහල නවකතාව සයිමන් පෙරේරා ගේ "මීනා"සිට පියදාස සිරිසේන​, ඩබ්ල්‍යු. ඒ. සිල්වා, මර්ටින් වික්‍රමසිංහ ගෙන් පසු  ගුණදාස අමරසේකර ඇතුළු පසුකාලීන නවකතා සහ කෙටිකතා කරුවන් ගේ පොත් සහ,​ හැත්තෑවේ දශකයේ මුල් භාගය වන්තෙක්ම ලියවුණ කතා මාතින් අතහැරුණේ නැත​. පියදදාස සිරිසේනගේ පොත් කියවීම පිළිබඳව මා යහළු යෙහෙළියන් අතරේ උපහාසයට ලක්වූ බව මට මතකය​. ඉස්කෝලේ පුස්තකාලයේ වැඩ කළ අයියා සහ අක්කාගෙන්,  පියදදාස සිරිසේනගේ "චින්තාමාණික්‍ය රත්නය​"ඉල්ලූ විට ඔවුන් කීවේ, නවයේ පන්ති වල ළමයින්ට ඒ පොත නිකුත් නොකරන බවය​.
"ඒ පොත කියවන්ට ඔයා එකොළහේ පන්තියටවත් යන්ට ඕන​" ඔවුන් කීවේ උපහාසයෙනි.
මමත් උත්සාහය අත ඇරියේ නෑ. ගුණදාස අමරසේකරගේ පොත් පවා ඒ දිනවල අපට තහනම්ය​. ඒ නිසා තහනම් පොත් අපි කියෙව්වේ හොරෙනි. ඉහල පන්තියක ඉගෙන ගන්නා අක්කලාගෙන් බලහත්කාරෙන් පොත් ඉල්ලා ගෙන කියවන්නට අප පෙළඹුනේ තහනම නිසාය​. තහනම් නියෝග උල්ලංඝණය කරන්නට මනුෂ්‍ය වර්ගයා තුළ පවතින්නේ නොසංසිඳෙන උත්සාහයක්. උත්පත්ති කතාවේ එන විදියට තහනම් ගහේ (Tree of knowledge) ගෙඩි කන්ට ගිජුවුණේ ඒ නිසා වෙන්ට ඇති!.
මම දිනපතා පුස්තකාලයේ පොත් නිකුත් කරන කවුළුව වෙත ගොස් පුස්තකාල සහායක අයියාට කන්නලව් කළෙමි. "අයියා මම ඒ පොතේ භාගයක්ම කියවලා තියෙනවා ඉතිරි ටික කියවන්ට මට පොත දෙනවද​? මම දවසක ඇසුවෙමි.
"අයියෝ නංඟි හරි කරදරයක් නෙ ඔයා".
"අනේ අයියා.." මම කෙදි රිගෑවෙමි.
"අරන් එන්න ඔයාගෙ ඇට්ලස් පොත හරි “drawing”පොත හරි "
බැරිම තැන ඔහු කීවේය​. මම පන්තියට දිව ගොස් පොත ගෙනාවෙමි.
ඔහු චින්තාමාණීක්‍ය රත්නය “drawing” පොත ඇතුළේ සඟවා මා  අතට දුන්නේය​. ඒ පොතේ භාෂාව ඉතාමත් කඨෝරයි. මම එක් රැයකින් පොත කියවීමි. කියවීම පිපාසයක් වූ කළ කෙනෙකුට දැනෙන්නේ තමන් කතරක අතරමං වූ සෙයකි. පොත් පත්, කෑමටත් වඩා වැදගත්වූ කාලයන් මට සිහිපත් කළ හැකිය​.

 ඒවුණාට, ඒ කාලෙ වෙන කොට මගේ භාෂා දැනුම සහ හැසිරවීම ඉහල මට්ටමක පැවතුනා. අනුරාධපුර පොළොන්නරු, දඹදෙණි මෙන්ම කෝට්ටේ යුගවල සාහිත්‍ය පොත පත බෙහෙවින් මා අත ගැවසීම නිසා මගේ ව්‍යාකරණ සහ සාහිත්‍ය දැනුම සහ ව්‍යවහාරය නිසා මට ඒ පොත කියවන්ට අපහසු වුණේ නැහැ. අර ඒ කාලේ පොත් පත් වල හරවත් දේ උකහා ගත් නිසා, නූතන සිංහල පොත් පත් කියවීම හරිම අමාරුයි.  ඒවායේ තියෙන දේ මගේ හිතට වදින්නෙ නෑ වගේ.  ඒක හරියට හොඳ වයින් (wine) වලට හුරුවුණ කෙනෙකුට බාල වයින් වලට හුරු වෙන්න තියෙන අමාරුව වගේ. මෑත කාලයේ ලියවුණ සමහර පොත් ගැන​ “book review” කියවන කොට මට ආයෙත් කියවන්ට ආසාවක් ඇතිවුණා. ඒත් දශක දෙකකටත් වැඩි කාලයක සිදුවූ භාෂාමය සහ චින්තන රටාවේ පරිවර්තනය​, මාත් වත්මන් සාහිත්‍ය සහ රසවින්දනයත් අතර පරතරය​ විශාල පරාසයකින් විතැන්  කරලා  තියෙනවා කියලා මට හිතෙනව​.

මල්ලිකා එම් බණ්ඩාර​

25. 06. 2018

Tuesday, 3 July 2018

වැරැද්ද​


අඳුරු කලපුව ඉමේ  සජීවී මා පමණි
දිගාවුණ​ පාළු හිස් අහස යට මා පමණි
සිනාසෙන සුවහසක් හඬ අතර මා පමණි
සාදයේ සල්පිලේ හුදකලා මා පමණි

කොහේදෝ තැනක වැරැදී ඇතැයි හැඟුනාම​
මගේ පස බර වැඩිය කිරා මැන බැළුවාම​
තුලාවේ සිදුරු ඇති බව හැඟෙයි හැමදාම​
ඉතින් වුණ වැරැදි නිවැරැදි කරන්නේ කෝම​

ලැබෙන තුරු දිගු කලක් හඹා ලුහුබැඳි  දේම​
ලැබුණ පසු අගය අඩුවී ගිහින් නොදැනීම​
ලොව හැදූ මිමි වලට මා වැටෙන්නැතුවාම​
පිටුවහල් වුණා සිරගතවුණා නොදැනීම​
හඬන තැන ඉකිබිඳිමි නිහඬ සිත ඇතුළේම
සිනා මැද ඉපිල යමි හදවතින් නොපෙනීම​
දුක දකිමි සෙත් පතමි පෙමෙන් හද පතුළේම​
විඳිමි වැට ඉණි නොමැති සිතක හිමිකරු වීම

මල්ලිකා එම් බණ්ඩාර​
27. 06. 2018