වැස්සට ඇලේ වතුර ගලාගෙන යන හඬ වෙනදට වඩා
ටිකක් වැඩියෙන් ඇහෙනව. සාමාන්‍ය දවසක නං වතුර ගලායන හඬ හරියට සංගීතයක් නැත්නම්
ගීතයක් වගේ. මට දැනෙන්නෙ හරියට නොතේරෙන භාෂාවකින් කරන හීන් මිමිණුමක් වගේ. පරිසරය
සජීවීව කතා කරනවා. අවට ගහකොළ වෙගේම කුරුල්ලන් එක්ක සමායෝජනය වෙනව. අපේ ගෙදරට
පිටිපස්සෙන් ගලායන පුංචි දියපාරක් තියෙනව. ඒ පුංචි දියපාර අයින දිගේම ලිලි මල් පිපිලා මේ දවස් වල. සුදුපාටට එක යායට
පිපුණ ලොකු කුඩා මල් දකිනකොට එකිනෙකට පරස්පර සිතිවිලි දාමයකින් සිත වෙළාගන්නව.
සුදු ලිලිමල් වලින් හදපු මල් පොකුරු අතින් ගත් මනාලියන් මගේ මතකයට එනව.
පුංචි කාලෙ අවුරුදු පහ හය වගේ කාලෙ, මුලින්ම ගමේ ලොකු මඟුල් ගෙදරකට ගිය මතකය මගේ
හිතේ ඇඳිලා තාමත්. මනමාලී හරියට සුරංගනාවියක් (සුරංගනාවියන් දැකලා නැතත්) වගේ කියලා
හිතුණා. තවත් ටික කාලෙකට පස්සෙ සුදු ලිලී මල් වලින් හදපු මල් වඩම් දැක්කම මගේ හිත
ටිකක් විතර චංචල වුණා වගේ මතකයි. ගමේ පොහොසත් පවුලක වයස්ගත වැඩිහිටියෙක් ගේ මළගම
වෙනුවෙන් එවැනි මල්වඩම් විසිතිස් ගණනක් තිබූ බව මගේ මතක අතර රැඳිලා තාමත්.
ඒ අතර සුදු ලිලීස් වගේම බාබටන්ස් වලින් විතරක්ම හදපු ඒවත් තිබුණා. මරණයට
වගේම මඟුලටත් මල් වලින් දෙන පණිවිඩයෙ සුන්දර
වෙනසක් පවතිනවා නේද කියලා මට හිතෙනව.
ඇල ඉවුරේ අඩි දහයක් දොළහක් තරම් උසට
වැඩුණ පොප්ලර් ගහ දැක්කම මට මතක් වුණා
නුගගහක් යට පැවත්වුණ ඇත්, වටු, වඳුරු
සාකච්ඡාව. ඒ "ට්රිබල" එකතුවෙලා නුග ගහේ
ඉතිහාසය කියපු "තිත්තිර ජාතක" කතාව. පුංචි කාලේ දෙකේ පන්තියට නියමිත පොතක තිබුණා
කවියක්. මට මතක තියෙන්නෙ
ඒවිදියට.
"පෙර එක්
කාලයක ඇත් වටු වඳුරු යන
අඹ යාළුවෝ තිදෙනෙක් විසුවෝය වනේ
මේ තුන් දෙනා අතරින් වැඩිමහළු එකා
කවුදැයි දැනගන්න රිසිවූවෝය බොහෝ".
මේ කතාව අවසන් වෙන්නේ ඇතා වඳුරා සහ වටුවා
අතරින් වැඩිමහල්ලා වටුවා බව තහවුරු වුණා කියලා.
ඉතින් අපේ ගෙදරට යාබද ඇළ
පටන් ගන්නෙත් අපේ ඉඩම කිට්ටූවෙන්මයි. පෑදි දිය පාරක් විදියට ටික දුරක් ගලා
ගෙන ඇවිත් අඩි හතරක විතර (මීටර් එක හමාරක)
පුංචි දිය ඇල්ලක් හැදිලා හැමදාම
මුමුණන තැනට මම දවසක ගියා. ඇලේ වතුර රිදී දිය පාරක් වගේ. පිරිසිදුයි සීතලයි. වතුරට
බැස්සම මං දැක්කා අඩියක් විතර උස පුංචි පොප්ලර් පැලයක් . ඒක දැක්ක ගමන් මට සරල පෘථග්ජන හැඟීමක් පහලවුණා. ඒ ගහ ගලවාගෙන ඇවිත්
අපේ මායිමේ හදාගන්න. පොප්ලර් ගහක හිමිකාරියක්
වෙන්න මොකක්දෝ නොසංසිඳෙන ආශාවක් මගේ හිතේ කොණක පැළපදියම් වෙලා තිබුණා.
අපි New Zealand ආව අළුත, අපට කලින් ඇවිත්
පදිංචි වෙලා හිටිය කෙනෙකුගෙන් මම දවසක් ඇහුවා පොප්ලර් ගහක් පෙන්වන්න පුළුවන්ද
කියලා. ඉතින් එයා කීවා බෝකොළ වගේ කොළ තියෙන උස ගස් වර්ගයක් ඒක කියලා. මෙහෙ හැම තැනම තියෙනව. වෙලාවක පෙන්වන්නම් කියලා. ඒ වෙලාව ආවෙම නෑ. ඊට
අවුරුදු තුනකට විතර පස්සෙ පෙබරවාරි මාසේ මම Auckland University එකේ උපාධි පාඨ
මාලාවක් කරන්න ගියා. කහපාට කොළ පිරුණ
පොප්ලර් වැටිය දැක්කම මට අසීමිත සතුටක් දැනුණෙ. Clock Tower එකට යාබද Princes
Street එකේ දෙපැත්තෙම දැවන්ත පොප්ලර් ගස් පේළි දෙකක් තිබුණා! කොළ ඉදිලා ගස් කහම කහ
පාට. මුළු වීදිය පුරාම කොළ හැළිලා. හුළඟේ පාවෙනව. බලන්න ලස්සනේ බෑ. හරියට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කහ මල් පිපෙන කාලේ වගේ කියලා මට හිතුණා.
ඊළඟ අවුරුදු දොළහ ඒ පොප්ලර් ගස් වල හෙවන යට Princes
Street එක දිගේ සිය දහස් වතාවක් ඇවිද ගෙන
යන්නට ඇති. සීත
කාලෙට කොළ හැලිලා ගස් වල අතු රිකිළි විතරයි. සැප්තම්බර් වෙනකොට අතු රිකිළි දළු දාලා නැවුම් කොළපාටට හැරෙනව. සිළි සිළි හඬින්පොප්ලර් පත් සැළෙන කොට බෝ
සෙවනක් යට ඉන්නවා වගේ දැනෙන්නෙ. “Main Library” එක ළඟ දැවන්ත මේපල් ගස් වල Autumn එකට
කොළ හැලෙනව. මේපල් කොළ මත ඇවිද ගෙන අපි දෙන්න library යනව. Spring කාලයට පාළුව
මකාගෙන ගස් මුදුන් නැවුම් වෙනව. දළු කරටි
දාලා එකම හරිත වර්ණ වියනක් වගේ දෙපැත්තෙම ගස් වල අතු පතර එකට යාවෙලා . පාරට ඉහලින්
ඉර එළිය බිඳක් බිමට පතිත නොවෙන තරමට වැඩෙනව, Summer කාලෙට එළියට ඇවිත් මේපල් හෙවන යට බංකුවක් මත වාඩිවෙලා පළතුරක්
කන එක අපූරු සතුටක්! ආශ්වාද ජනක
අත්දැකීමක්.
ඉතින් මට අමතක වුණා ගෙදර ළඟ තියෙන පොප්ලර්
පැළය ගැන. මම ඇළට බැහැලා පොප්ලර් පැලේ ගලවන්න හැදුවා. කීප සැරයක් උඩට ඇද්දා බොහොම
පරිස්සමෙන්, නමුත් ඒක උඩට එන පාටක් නෑ. මුල තියෙන්නෙ හුඟක් යට වගේ. මට හිතුණා ඉබේ පැලවුන ගහ මගේ කරගන්න ගිහින්
පැලේ කැඩුණොත් ඒක මහ පොළොවටත් නෑ මටත් නෑ.
ඒ නිසා මම අදහස අත් හැරියා. පුංචි පැලේ හොඳට වැඩුණා ඇල අද්දර. දැන් අඩි දහයක්
පහළොවක් විතර උස හොඳ ඉලන්දාරී පාටයි. අතුපතර කොළ වලින් පිරිලා. Autumn එකට කොළ
හැළෙයි. පරිසරය ලස්සන කරන්නට spring වලට
අතු රිකිළි දාලා හැඩ වැඩ වෙලා ලොකු ගහක් වෙයි. තවත් කාලයක් ගත වුණාම මගේ මතක අතර සචේතනික
රසාත්මක නිමිත්තක් වේවි.
පොප්ලර් ගස් වලට තියෙන
මේ බැඳීම මගේ හිතේ පැළ පදියම් වුණේ සෝවියට්
කතා පොත් කියවන්නට පටන් ගත්ත කාලෙ. බොහෝ
රුසියන් (Russian) කතාවල පොප්ලර් ගස් ගැන
සඳහන් වෙන නමුත් ගුරු ගීතයේ පොප්ලර් ගස් දෙක තරම් හදවතට සමීප සජීවී ගස් දෙකක්
හමු වෙලා නෑ. ශ්‍රේෂ්ඨ/සම්භාව්‍ය රුසියන් කෙටිකතා පොත මුලින්ම කියෙව්වේ අවුරුදු දොළහ විතර කාලෙදි. දැදිගම
රොඩ්‍රිගෝ විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද පොත් වලින් පටන් ගෙන බොහෝ රුසියන් කතා පොත්
කියවන්නට මම ඇබ්බැහි වුණා.
නව වැනි වසරේ ඉගෙන ගන්න
කාලේ මට “පළමුවන ගුරුවරයා” කියවන්නට
ලැබුණා. අපිට ඉහල පන්තියක හිටිය අක්කා කෙනෙක් මට කීවා,
"මේ පොත කියවන්නකො. හරී දුක හිතෙනව...දරාගන්න බැරිතරම්. ඔයාටත් දැනෙනවද කියලා බලන්න" ඒ අක්කා කීවා.
ඊළඟ මුද්‍රණය “ගුරු ගීතය” නමින් මුද්‍රණය වෙලා තිබුණා. පොත් ප්‍රදර්ශනයකදී මම පොත මිලදී ගත්තා. පළමුවන ගුරුවරයා පොතේ අන්තර්ගතය, මගේ හිතේ පොප්ලර් ගහක් වගේ පැළ වුණේ ඒ විදියට. ගුරුගීතයේ එන දුයිෂෙන් සහ අල්තිනායිගේ චරිත වලට අමතරව අල්තිනායි දුම්රියෙන් යන ගමනේදී දකින කඳු ගැටය මත වැඩුණ පොප්ලර් ගස් දෙක දුක්ඛිත මතකයක්ව මගේ හිතේ තැන්පත් වෙල තිබුණා. දුයිෂෙන් කෙනෙක් පිටුපස නොහිටියත් කවදා හරි අල්තිනයි වගේ කළු කබායක අයිතිකාරියක් විය යුතුය යන අධිෂ්ඨානය (shameless courage) මගේ හිතෙන් මැකිලා ගියේ නෑ. ඒ නිසාදෝ කබා හතක අයිතිකාරියක් වෙන තෙක්ම මහත් ආධ්‍යාශයකින් උපරිම තෘප්තිය ලැබේයයි හිතාගෙන දිව ගියා. ඒත් මම තෘප්තිමත්ද?
"හත" සංඛේතවත් කරන්නෙ පරිපූර්ණත්වය නම්, මම දැන් පරිපූර්ණද කියලා මට හිතෙනව?කබාහතක අයිතිකාරිය වුණාට පස්සෙත් මට දැනෙන්නෙ මං කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. ඉතින් තවමත් මම ගමනේ, මෙතෙක් හමු නොවුණු නොදන්නා දේ දැනගැනීමේ අදිටනින්.ඒත් හොයන සත්‍යය මොකද්ද කියන එක මටවත් දැනුමක් නෑ. කළු කබා සලකුණ මගේ ජීවිතය, උපත සහ මරණය පිළිබඳ සත්‍යාවලෝකනයේ කඩ ඉම් විදියට, නැත්නම් මං සලකුණු විදියට මම දකිනව. ඒක හරියට King Solomon ගේ ධනස්කන්ධයටත් වඩා මට වටිනව.
සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදු වෙලා ඉන්නෙ අනික් අයට වඩා තමන් හැම දේම දන්නවා කියලා. මට හැමදාම දැනුනේ මගේ දැනුමේ පියවිය නොහැකි හිඩැසක් තියෙනව කියලා. හිඩස වහන්න මං මුළු ජීවිත කාලයම නොනැවතී වැයම් කළා. දැන් දැන් ඒ හිඩැස වඩාත් විශාලව දැනෙනව.
"මේ පොත කියවන්නකො. හරී දුක හිතෙනව...දරාගන්න බැරිතරම්. ඔයාටත් දැනෙනවද කියලා බලන්න" ඒ අක්කා කීවා.
ඊළඟ මුද්‍රණය “ගුරු ගීතය” නමින් මුද්‍රණය වෙලා තිබුණා. පොත් ප්‍රදර්ශනයකදී මම පොත මිලදී ගත්තා. පළමුවන ගුරුවරයා පොතේ අන්තර්ගතය, මගේ හිතේ පොප්ලර් ගහක් වගේ පැළ වුණේ ඒ විදියට. ගුරුගීතයේ එන දුයිෂෙන් සහ අල්තිනායිගේ චරිත වලට අමතරව අල්තිනායි දුම්රියෙන් යන ගමනේදී දකින කඳු ගැටය මත වැඩුණ පොප්ලර් ගස් දෙක දුක්ඛිත මතකයක්ව මගේ හිතේ තැන්පත් වෙල තිබුණා. දුයිෂෙන් කෙනෙක් පිටුපස නොහිටියත් කවදා හරි අල්තිනයි වගේ කළු කබායක අයිතිකාරියක් විය යුතුය යන අධිෂ්ඨානය (shameless courage) මගේ හිතෙන් මැකිලා ගියේ නෑ. ඒ නිසාදෝ කබා හතක අයිතිකාරියක් වෙන තෙක්ම මහත් ආධ්‍යාශයකින් උපරිම තෘප්තිය ලැබේයයි හිතාගෙන දිව ගියා. ඒත් මම තෘප්තිමත්ද?
"හත" සංඛේතවත් කරන්නෙ පරිපූර්ණත්වය නම්, මම දැන් පරිපූර්ණද කියලා මට හිතෙනව?කබාහතක අයිතිකාරිය වුණාට පස්සෙත් මට දැනෙන්නෙ මං කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. ඉතින් තවමත් මම ගමනේ, මෙතෙක් හමු නොවුණු නොදන්නා දේ දැනගැනීමේ අදිටනින්.ඒත් හොයන සත්‍යය මොකද්ද කියන එක මටවත් දැනුමක් නෑ. කළු කබා සලකුණ මගේ ජීවිතය, උපත සහ මරණය පිළිබඳ සත්‍යාවලෝකනයේ කඩ ඉම් විදියට, නැත්නම් මං සලකුණු විදියට මම දකිනව. ඒක හරියට King Solomon ගේ ධනස්කන්ධයටත් වඩා මට වටිනව.
සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදු වෙලා ඉන්නෙ අනික් අයට වඩා තමන් හැම දේම දන්නවා කියලා. මට හැමදාම දැනුනේ මගේ දැනුමේ පියවිය නොහැකි හිඩැසක් තියෙනව කියලා. හිඩස වහන්න මං මුළු ජීවිත කාලයම නොනැවතී වැයම් කළා. දැන් දැන් ඒ හිඩැස වඩාත් විශාලව දැනෙනව.
පළවෙනි සිංහල නවකතාව
සයිමන් පෙරේරා ගේ "මීනා"සිට පියදාස සිරිසේන, ඩබ්ල්‍යු. ඒ. සිල්වා,
මර්ටින් වික්‍රමසිංහ ගෙන් පසු ගුණදාස
අමරසේකර ඇතුළු පසුකාලීන නවකතා සහ කෙටිකතා කරුවන් ගේ පොත් සහ, හැත්තෑවේ දශකයේ මුල් භාගය
වන්තෙක්ම ලියවුණ කතා මාතින් අතහැරුණේ
නැත. පියදදාස සිරිසේනගේ පොත්
කියවීම පිළිබඳව මා යහළු යෙහෙළියන් අතරේ උපහාසයට ලක්වූ බව මට මතකය. ඉස්කෝලේ පුස්තකාලයේ වැඩ කළ අයියා සහ අක්කාගෙන්, පියදදාස සිරිසේනගේ "චින්තාමාණික්‍ය රත්නය"ඉල්ලූ විට ඔවුන් කීවේ, නවයේ පන්ති වල ළමයින්ට ඒ
පොත නිකුත් නොකරන බවය.
"ඒ පොත කියවන්ට
ඔයා එකොළහේ පන්තියටවත් යන්ට ඕන" ඔවුන් කීවේ උපහාසයෙනි.
මමත් උත්සාහය අත ඇරියේ
නෑ. ගුණදාස අමරසේකරගේ පොත් පවා ඒ දිනවල අපට තහනම්ය. ඒ නිසා තහනම් පොත් අපි
කියෙව්වේ හොරෙනි. ඉහල පන්තියක ඉගෙන ගන්නා අක්කලාගෙන් බලහත්කාරෙන් පොත් ඉල්ලා ගෙන
කියවන්නට අප පෙළඹුනේ තහනම නිසාය. තහනම් නියෝග උල්ලංඝණය කරන්නට මනුෂ්‍ය වර්ගයා තුළ පවතින්නේ නොසංසිඳෙන උත්සාහයක්. උත්පත්ති කතාවේ එන විදියට තහනම් ගහේ (Tree of knowledge) ගෙඩි කන්ට ගිජුවුණේ ඒ නිසා වෙන්ට ඇති!.
මම දිනපතා පුස්තකාලයේ
පොත් නිකුත් කරන කවුළුව වෙත ගොස් පුස්තකාල සහායක අයියාට කන්නලව් කළෙමි.
"අයියා මම ඒ පොතේ භාගයක්ම කියවලා තියෙනවා ඉතිරි ටික කියවන්ට මට පොත දෙනවද? මම දවසක ඇසුවෙමි.
"අයියෝ නංඟි හරි කරදරයක් නෙ ඔයා".
"අනේ අයියා.." මම කෙදි
රිගෑවෙමි.
"අරන් එන්න ඔයාගෙ ඇට්ලස්
පොත හරි “drawing”පොත හරි "
බැරිම තැන ඔහු කීවේය. මම පන්තියට දිව ගොස් පොත ගෙනාවෙමි.
බැරිම තැන ඔහු කීවේය. මම පන්තියට දිව ගොස් පොත ගෙනාවෙමි.
ඔහු චින්තාමාණීක්‍ය
රත්නය “drawing” පොත ඇතුළේ සඟවා මා අතට දුන්නේය. ඒ පොතේ භාෂාව ඉතාමත් කඨෝරයි. මම එක්
රැයකින් පොත කියවීමි. කියවීම පිපාසයක් වූ කළ කෙනෙකුට දැනෙන්නේ තමන් කතරක අතරමං වූ
සෙයකි. පොත් පත්, කෑමටත් වඩා වැදගත්වූ කාලයන් මට සිහිපත් කළ හැකිය.
ඒවුණාට, ඒ කාලෙ වෙන කොට මගේ භාෂා දැනුම සහ හැසිරවීම ඉහල මට්ටමක පැවතුනා. අනුරාධපුර පොළොන්නරු, දඹදෙණි මෙන්ම කෝට්ටේ
යුගවල සාහිත්‍ය පොත පත බෙහෙවින් මා අත ගැවසීම නිසා මගේ ව්‍යාකරණ සහ සාහිත්‍ය දැනුම
සහ ව්‍යවහාරය නිසා මට ඒ පොත කියවන්ට අපහසු වුණේ නැහැ. අර ඒ කාලේ පොත් පත් වල හරවත් දේ උකහා
ගත් නිසා, නූතන සිංහල පොත් පත් කියවීම හරිම අමාරුයි. ඒවායේ තියෙන දේ මගේ හිතට වදින්නෙ නෑ වගේ. ඒක හරියට හොඳ වයින් (wine) වලට හුරුවුණ කෙනෙකුට
බාල වයින් වලට හුරු වෙන්න තියෙන අමාරුව වගේ. මෑත කාලයේ ලියවුණ සමහර පොත් ගැන “book
review” කියවන කොට මට ආයෙත් කියවන්ට ආසාවක් ඇතිවුණා. ඒත් දශක දෙකකටත් වැඩි කාලයක
සිදුවූ භාෂාමය සහ චින්තන රටාවේ පරිවර්තනය, මාත් වත්මන් සාහිත්‍ය සහ රසවින්දනයත් අතර පරතරය විශාල පරාසයකින් විතැන් කරලා
තියෙනවා කියලා මට
හිතෙනව.
මල්ලිකා එම් බණ්ඩාර
25.
06. 2018
No comments:
Post a Comment