Wednesday, 11 July 2018

ලෙච්චමී


 මල්ලිකා එම් බණ්ඩාර​ - 

අදින් දසක කීපයකට පෙර මතකයක් මගේ හිතේ හීන් සැරේ මෝදු වෙන්නට පටන් ගත්තේ අහම්බෙන් අසන්නට ලැබුණ​ ෆ්‍රෙඩී සිල්වාගේ ගීතයක් ඇසෙන විටය​.
ගීතය අසමින් සිටියදී අහිංසක තේ දළු නෙළන්නිය ඉදිරියේ ඇති දැවැන්ත ලිංගික පීඩනය සහ අනාරක්‍ෂිතබවත්, තරුණ ගැහැණියක ලෙස ඈ මුහුණපාන ස්වාමි සේවක පරතරය පිළිබඳ​ අභියෝගය හමුවේ, ඇය තුළ සිටින ගැහැණිය සටකපට අයුරින් අවදානම මඟ හරින ආකාරයත් කෙතරම් අගේදැයි මම සිතන්නට වීමි.  ඒ ගීතයේ මුල් පේළි දෙකමම හීන් සැරේ මිමිණුවෙමි.

"තේ කූඩය ඉසේ බැඳන්  නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කේ හුඟ කලකට පස්සෙ ලෙච්චමී..."

මගේ හඬින් "ලෙච්චමී" යන්න ඇසෙනවත් සමඟම මගේ ගැයීම මොහොතකට  නතර විය​. ඒ පුංචි විරාමය තුළ,​ රබර් වත්ත පසුකරගෙන ගමේ වෙල් යායට පිවිසෙන, පාසල් නිල ඇඳුමෙන් සැරැසුන දැරියක්  වරෙකත්, මැදිවියට ළංවූ රළු පරළු ගැහැණියක් තවත් වරෙකත්, මගේ හිත තුළ ඇඳීමැකී යන්නට විය​. තුරුණු වියේ ළඳ බොළඳ අහිංසක පෙනුමති දැරිය පසුපසට තල්ලු කර, යෝධ හෙවැනැල්ලක් මෙන් මගේ හිත වසාගන්නට පොරබැදුවේ අර හැඩි දැඩි ගැහැණියයි. තුරුණු දැරිය, ගැහැණියක්ව මට හමුවූ ආකාරය​ නැවතත් මම ආවර්ජනය කරන්නට හිතට ඉඩ දුනිමි.


මම නවවන පන්තියේ ඉගෙන ගන්න කාලෙ ලෙච්චමි කියලා දෙමළ ගෑනු ළමයෙක් අපේ පන්තියට ආවා. පන්තියේ අනික් දැරියන්ට වඩා උස ඒ උසටම ගැලපෙන මහත දෙහෙත ඇති ලෙච්චමී ප්‍රසන්න ශිෂ්‍යාවක් වූ අතර​, හැමෝගෙමත් එක්ක මිත්‍රශීලීව ඇසුරුකළා. අපේ පන්තියේ අවුරුදු දෙකක් එකට සිට සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ ඇයට රචනා ලිවීමෙ අපහසුවක් තිබුණ මුත් ඈ දක්‍ෂ දැරියක්ද වුණා.

කිහිප වාරයක් මා තවත් යෙහෙළියන්ද සමඟ ඇය ජීවත්වු වත්තේ ලැයිම් පේළියට නුදුරින් පිහිටි නිවසට ගොස් ඇත්තෙමි. ඒ ඉස්කෝලේ කිසියම් උවමනාවකට යන එන ගමන් වලදීය​. ඒ ගමන් වලදී ඇගේ මව අපට ආප්ප තෝසේ ඉඩ්ලි වැනි කෑමකින් සංග්‍රහ කළාය​.  ඉතා සුන්දර ගැහැණියක වූ ඇගේ අම්මා ගේ රුව දැනටත් මා මතකයේ රැඳී පවතී. අම්මා ඉතා පැහැපත් පිරිපුන් රූසපුවකට හිමිකම් කී අතර ඇය ගෙලවටා ලොකු තාලියක් සහ අතේ රන් වළලු පැළඳ සිටි බවත්, ඉන්දියන් කපු රෙද්දෙන් නිමවූ කොළ පැහැති සාරියකට රතු හැට්ටයක් ඇඳ සිටි බවත් තාමත් මට මතකය. හැම වෙලේම ප්‍රසන්න සිනාවක් රැඳුන ඇගේ මුහුණ, මාතෘත්වය පිළිබඳ ගෞරවාන්විත හැඟීමක් ජනිත කිරීමට සමත් විය​. මවක වශයෙන් ඈ තුළ උතුරා යන දයාබර බව​, ලෙන්ගතුකම ඒ අයුරින්ම, මගේ ළමා සිත තුළ ඇඳී ඇති ආකාරයෙන්ම වයසින් මුහුකුරා ගිය මතක අතර පවා සජීවීව පැවතුනි.

පැහැබර දවසක අහස අඳුරුවී අකල් වැහි කෝඩයක් වැටුණාක් මෙන්, ලෙච්චමි ගේ පාසල් ගමන නතර වීම, අප බොහෝ දෙනාට අනපේක්‍ෂිත සිදුවීමක් විය​. සාමාන්‍ය පෙළ ලියන්නටත් පෙර ඇය  මහනුවර ප්‍රදේශයේ ධනවත් මුදලාලී කෙනෙකුට විවාහ කරදී තිබුණ බව දැනගන්නට ලැබුණි. පසු කාලයේ අපට ලැබුණ තොරතුරු අනුව ඇගේ දෙමව්පියන් ගේ කැමත්ත අනුව යෝජිත​ විවාහයකට එළඹෙන්නට ඇයට සිදුවූ බව දැනගතිමු.  අවුරුදු දාසයක් වැනි තුරුණු වියේදීම  දැරියකට විවාහ වෙන්නට සිදුවීම​ මොනතරම් ඛේදවාචකයක් දැයි මම එකල බෙහෙවින් කම්පා වීමි.  සැබවින්ම ඇගේ විවාහය, දැරියන් වශයෙන් අපේ පන්තියේ බොහෝ දෙනාගේද සිත් සසල කළ ආරංචියක් විය​. ඒතරම් අඩු වයසින් විවාහයකට එළඹීමට තරම් බලපෑ හේතු මොනවාදැයි අපි නොදත් මුත්, අපි විමතියට පත් වීමු. කම්පාවට පත් වීමු.

පසු කාලයේ මා සරසවි අධ්‍යාපනය අවසන් කර ගුරුපත්වීමක් ලැබ මා ඉගෙනගත් පාසලේ  ගුරු වෘත්තීය අරඹන්නට යෙදුණි. ඒ කාලේ වන විට ලෙච්චමීගේ දෙමාපියන්ට ඔවුන් පදිංචිව සිටි වත්තෙන් පිට යන්නට සිදුවූ බව දැන ගතිමි. ඔවුන් ජීවත් වූ කොම්පැනි වත්ත රජයට පවරා ගත් බවත්, ඉඩම කෑලි වලට කඩා ගෙවල් ඉදිකර, ඉඩම් නැති පවුල් සඳහා උදාගම්මානයක් බවට පත් කර ඇති බවත් දැන ගතිමි.

ඉනුත් බොහෝ කලකට පසු දිනක මට ලෙච්චමී හමුවුණාය​.  ඒ අප පදිංවිව සිටි නිවස​ පිහිටා තිබූ, මහනුවර කටුගස්තොට පාරේ, පරණ මාතලේ පාර අසල දීය​. මම එක් මොහොතකින්, අසුරු සැණින් ඒ ලෙච්චමී බව හැඳින ගත්තෙමි.  මගේ ළමාකාලයේ මිතුරියගේ ළමා රුව නොනැසී පැවති අතර වියපත් වුවද​ ඇගේ හැඩ රුව හඳුනා ගන්නට ලැබීම මා තුළ​ ඇති කළේ අප්‍රමාණ සතුටකි.  සිංහල මිනිසුන් අතරේ ජීවත් වෙන කාලයේ ඇය සිංහල දැරියක ගේ පෙනුමෙන් දුරස් වූයේ ඉතා මද වශයෙනි. දැන් ඇගේ මුහුකුරාගිය පෙනුම​ සම්ප්‍රදායික​ දෙමළ කාන්තාවක් ලෙස​ ඇගේ වාර්ගිකත්වයද පිළිබිඹු කරන්නකි. ඇයද සම්ප්‍රදායික දෙමළ කාන්තාවක මෙන්, අත කණ කර අභරණ සමඟ ප්‍රතිවිරුධ වර්ණ දෙකකින් යුතු සාරියක් සහ හැට්ටයකින්  සැරැසී සිටි අතර, මමද සම්ප්‍රදායික සිංහල ගුරුවරියක ලෙස ඔසරියක් හැඳ මගේ කෙස් කළඹ පිටුපසට කර තද වනසේ කොණ්ඩයක් බැඳ​ සිටියෙමි (එය මා සේවය කළ බාලිකා පාසලේ ගුරුවරියන්ට ඇඳීමට නියමිත වූ විධිය බැවිණි).

මම ඇය​ට සමීපව හෙමින් ඇය ඇමතීමි.
" ලෙච්චමී, මාව මතකද ඔයාට​? මගෙ නම  “නාලිකා”.
අපි දෙදෙන මුහුණට මුහුණ මොහොතක් බලා සිටියෙමු​. ඇය මා හැඳිනගත් බව පෙනෙන්නට තිබුණි. අපේ දෑස් එකිනෙක හමුවුණි. මම මගේ සුපුරුදු පුළුල් සිනාවෙන් මුවපුරා සිනා සීගෙන ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් ඇගේ දෑසෙහි කිසිදු තෙතමනයක් හෝ ප්‍රියමනාප බවක්  නොතැවැරුණ රෞද්‍ර බවක් සැනෙකින් මතු වන්නට විය​. 

"මම ලෙච්චමී නෙවෙයි! මගෙ නම ලක්‍ෂ්මි! මට ඔයා මතකයි. යන්නං...යන්නං!"
ඇය එක හුස්මට කීවාය​. 
ඉන් පසු මහයියාව කනත්තේ කලකට ඉහත සැතපෙන්නට යෙදුන කෙනෙක් මහ මඟ දී හමුවීමෙන් ඇතිවන අන්දමේ තැති ගැන්මකින්, නැත්නම් වික්‍ෂිප්ත භාවයකින් ඇළලුන දෑසින් යුතුව ඇය ගමන වේගවත් කර සෙනඟ අතරේ නොපෙනී ගියාය​.

මම ගල් පිළිමයක් මෙන් හිටිවනම ​මොහොතක් නැවතී ඇය ගිය දෙස බලා සිටියෙමි. පේව්මන්ට් එක දිගේ ඇදෙන සෙනඟ​, පේව්මන්ට් එක මැද ගල් ගැසී ගෙල හරවා පිටුපස බලා සිටින මා දෙස බලන බව මට වැටහුණේ මද වේලාවකට පසුවය​. එහා මෙහා ගමන් කරන සිය ගණනක් මඟියෝ එක් බැල්මක් හෝ මා දෙස හෙලෙන්නට අමතක නොකළහ​. බොහෝදෙනෙක් වරක් මාදෙස බලා මද දුරක් ගොස් නැවත ආපසු හැරී බලන බව මට වැටහෙන්නට විය​​. මා හිටිවනම නැවතී සිටියේ පේව්මන්ට් එකේ හරි මැදය​.

මගේ ඇඟේ නොහැපී යන්නට පරිස්සම්වූ ඇතමුන්, සුළුවෙන් හෝ කළ හැකි සංග්‍රහයක් විදියට මාදෙස රවා බලා පාර දිගේ ඉදිරියට යන බව දැනුනි​. මගේ දෙපා හැරී තිබුණේ මහනුවර නගරය දෙසට වුවද, මගේ හිස හැරී තිබුණේ කටුගස්තොට දෙසටය​. නමුත් මගේ දෑස් හැරී තිබෙන්නට ඇත්තේ පරණ මාතලේ පාර දෙසටය​.  ලෙච්චමීගේ කොළ පැහැති සාරිය සෙනඟ අතරින් නොපෙනී ගියේ  හරියෙන් නිසාය​.

ගැඹුරු හුස්මක් අල්ලා පේව්මන්ට එකේ අයිනකට වී හිටගත් මම, සිද්ධ වුණේ මොකක්දැයි තේරුම් ගන්නට උත්සාහ කළෙමි. සුළු මොහොතකින් මම සිහි එළවාගෙන සිද්දියේ පූර්වාපර​සන්ධි ගලපා ගන්නට උත්සුක වීමි. මගේ හිතට ගොඩ වැදුන පළමුවන හැඟීම වූයේ, අතීත මතකයක සිහිවටනක් ලෙස පැවති පියකරු පිළිමයක් බිමපතිතවී කැඩී බිඳී සුනු විසුණුවූ විටක ඇතිවන අන්දමේ හැඟීමකි. හිතේ කිසියම් තැනක පුංචි අංශුවක් බිඳී යාමෙන් පෑහිය නොහැකි කඩතොළුවක් ඇති විනැයි මට සිතෙන්නට විය​. පිළිමය සුණුවිසුණූ වූවා මදිවට එයින් දැනෙන හිත පුපුරු ගහනා රිදීම ඊටත් වඩා තදින් මට දැනුනායයි සිතමි.කොටින්ම මගේ ළමාවියේ සුන්දර මතක වියපත් ගැහැණියක විසින් පදික වේදිකාවේ කොන්ක්‍රීට් තහඩු මතට අතහල බවත් එකෙනෙහිම කැබෙලිවලට කැඩී සුණු විසුණු  වුණ​  බවත් මට දැනෙන්නට විය​. 

නොකැඩෙතැති නොබිඳෙතැයි සිතා සිටි යමක් අනපේක්‍ෂිත අයුරින් කැඩී බිඳී ගොස් ඇත​. ඒ මා විසින් මහත් භක්තියෙන් හදවතෙහි රුවාගෙන සිටි මගේ ළමාවියයි. ඒ ළමා වියට අයත් යමක් මගෙන් ගිළිහී ඇත​. නැතිනම් බලහත්කාරයෙන් මගේ ළමාවියෙන් කොටසක් ඉරා දමා ඇත​.  නිර්මල පසුබිමක විසිතුරු ලියකම් මල්කම් වලින් නිමවා තිබූ පෙතිකඩකින්, පදාසයක් කිසිවෙකු විසින් ඉරාගෙන ගොස් ඇත​. බලාපොරොත්තු සුන්වීමක අමිහිරි ලැජ්ජාවක්, මදි පුංචිකමක් වැනි හැඟීමක් මගේ සිත පුරා අරක්ගන්නට විය​.

පාසල් ක්‍රීඩා පිට්ටනියේ දුව පැන ඇවිද, එම පිට්ටනියේම නෙට්බෝල් ගැසූ, නිවාසන්තර තරඟ සඳ​හා එකම පිලක් ලෙස, මීටර් සීය, දාහ රිලේ දිවූ මාත් ලෙච්චමිත් අද කෙතරම් දුරස්තදැයි මම සිතන්නට වීමි​. පන්තියේ එකම පේළියේ එක ළඟ වාඩිවී කෙළි කවට කතා කී යොවුන් වියේ යෙහෙළිය මා කෙරෙන් පළාගොස් ඇත​. නැත්නම් මට අහිමිවී ඇත​. 

මා පියෙවි සිහියට ආ කෙනෙහි පුංචි කෙනිත්තීමක් ලෙස මුලින් දැනුන ඒ අමිහිරි හැඟීම, සිත පුරා පහුරු ගානා වේදනාවක් ලෙස වර්ධනය වෙන්නට විය​. ඒ සමඟම අසරණ බවක් ද තවත් මොහොතකින් තරහවකට ආසන්න චිත්ත ස්වභාවයක්ද මසිත තුළ තෙරපෙන්නට විය​. මම ඉක්මන් කර වටපිට බලා පාර පැන ගතිමි. වෙනදා කරවැල් කොකෙකු මෙන් කෙලින් තියාගන්නා හිස අද මට බර වැඩිය​. එනිසා දෑඟුලකට වැඩි දුරක් නොබලාම​ මම ගෙදර තෙක් ඇවිදගෙන ගියෙමි.

(31. 08. 2004)

2 comments:

  1. මං හිතන්නෙ ඒ ලක්ෂ්මී සහ ලෙච්චමී අතර වෙනස එන්නේ සංස්කෘත වචනය දෙමළ අකුරෙන් කෙලින්ම ලියන්නට බැරි නිසා විය යුතුයි.

    ලක්ෂ්මී කියා සිංහල කාන්තාවන් මිස දෙමළ කාන්තාවක් නම් මට කිසි දිනක හමු වී නැහැ

    ඒ වගේම ලක්ෂ්මන් යන නම තියන දෙමල අයෙකු එය සිංහල අයකු ලියන විදියට වඩා වෙනස් ආකාරයට ඉංග්‍රීසි අකුරෙන් ලියා තිබෙනු මා දැක තිබෙනවා.

    ReplyDelete
  2. Thank Rasika!ලක්‍ෂ්මී හින්දු දෙවඟනක්. නාගරික දෙමළ අය ලක්‍ෂ්මී කියනවා. ග්‍රාමීය හෝ වතු දෙමළ අය ලෙච්චමී කියනව​. උදාහරණයක් විදියට​: ප්‍රෙඩීගෙ - "තනිපංගලමේ ඉඳින්න වරෙන් ලෙච්චමී ". මං ඔය කියන අයගෙ නම "අන්න ලෙච්චමි". ලක්‍ෂ්මී පූජා වලට සහභාගිවෙලා මට පුරුදුයි. මං ඉගෙන ගත්ත ඉස්කෝලේ වගේම උගන්වපු ඉස්කෝලේත් 1/6ක් දෙමළ ළමයි හිටියා. ඒ culture එක මට සමීපයි.

    ReplyDelete