Friday, 27 December 2019

දූතයෝ සහ ශ්‍රාවකයෝ


මගේ දේශය මගේ ජනගණ​

මගේ උරුමය කෙළෙසනා

නොරැටියන් විනකටින බව දැන​

උන්ට එරෙහිව නැඟිටිනා

මගේ ගත ලේ නහර තෙරපෙන​

රුහිරු පුද දී කකියනා

මගේ යුතුකම ඉටුකළෙන් උන්  

හෙලා දැමුවෝ හිසගසා

 

සැබෑවක්! එය සැබෑවක්මය​

සවන් දෙන්නට අඬගසා

මිනිස්වග තුළ හිඳින​ දෙවිඳුන්

මුණගැසෙන මඟ කී නිසා

නිගාදී පිටිතල හයා බැඳ​

මඟ දිගේ කස පහරදී

සාපරාධී සොරෙකුසේ ගෙන​ගියෝ 

මුහුණට කෙල ගසා

 

සැබෑවේ ඇති සැහැසි බව දැන​

පිටුදකින්නට කටුක සත්‍යය​

කටු කිරුළ හිස පළඳවා

කටුක මිදියුස වළඳවා

නිහඬ කෙරුවෝ ගොල්ගොතාවෙදි

බෝදරාළට​ ඇණගසා!

 

පොවා වස විස ලවා දඟගෙයි

කටුසැමිටියෙන් හම ගසා

දූතයෝ හැමදාම මියයති

ඇණගසා හෝ හිස ගසා 

 

අසනු රිසි නැති දෙයට ගරහති

පරහ දුටු තැන​ එරෙහි නොම​වෙති

සවන් දෙන්නෝ මුණගැසෙන තුරු

සැබෑවේ පණිවුඩය නොමියෙති 

 

මල්ලිකා එම් බණ්ඩාර​

12.25. 2019

 

 

 

 


Tuesday, 24 December 2019

හැරැමිටිය


බේත් තෙල් මුසුව  දිගු කාලයක් පෙරවලා
හාන් රෙදි කඩ හිඳී ඇඳ වියලෙ තනිවෙලා
යාන්තම් ඇඳී යන මතකයේ වියැකිලා
හීන්වට දැනෙයි පරසතු සුවඳ තැවරිලා

සිත් මල් ලියකම් මතකයෙ වියනේ
නෙත් පියවෙන තුරු අඳිනා ගුවනේ
වත්තන් කර පණ නල හිමි සඳිනේ
හත් මහ ගෙවුණා ඔත්පොළ සයනේ

පිළිමල් ඔද බිඳ දිය නද නඟනා
පෙරමුණු බැඳ මිරිඟුව වෙත ඇදුණා
කාලය පියඹා ගිය සඳ  නොදැනා
දිවගිය අරමුණ කිමදැයි හැඟුණා

හෙවනැල්ලක් සේ ආ මඟ නිබඳා
ගත සිත සවි බල වැහැරුන ගිජිඳා
මං පෙත ඉමදී තනිවම​​ යනදා
හැරැමිටියකි මා ගිය​ අත හැරදා

මල්ලිකා එම් බණ්ඩාර​
24. 12. 2019

Monday, 9 December 2019

පුරන් යාය

කුරුළු ගී නද මුසුව 
මල් පිපෙන කණිසමේ
ළහිරු නිදිගැට හරින
සීතලට අළුයමේ 
බකිණි මල් සුවඳ දී
නුඹ මසිත තැවරුණේ

වැඩහිඳිනා මාළිගාවෙ
අනුහස ළෙහි තුළ හංගා
උඩුමාලේ මල් පිදුවේ
පර වෙන්නටදෝ මන්දා

වළා බැම්ම මත හිඳගෙන 
තනියම ඉකිලන වේලේ 
මගේ සුසුම් වල දැවටී
කිරි මුහුදේ රළ පෙරළේ

අඳුරු ලලා වට වැස්සේ 
බොරදිය සීරාවක් සේ
අපේ මතක බොඳවී ඇත
මියැදුන​ නිම්නය ඔස්සේ

පඳුරු ල​ලා පැළපතසේ
පීදී හද ගැබ සහසේ
අකලට මැළවී යන්නද 
මෙවන් පෙමක් කිරිවැදුනේ?

මල්ලිකා එම් බණ්ඩාර​
14. 10. 2018 -


Wednesday, 20 November 2019

එඩේරා සහ බැටළුවෝ



නිරතුරුව ඇස ගැටෙන පොල්කිච්චියක මිසක​
කිමිද ආ හංසයෙකු නොවෙමි මානස විලේ 
​සවන් දී අසාපල්ලා හොඳින් මා හඬට​
අරුත් බර ගීතයක් ගයනු රිසියෙමි තොපට

පිසදමන​ පිණිස දුක සුසුම කඳුලැලි නෙතින්
පියාඹා  සප්ත සාගරය ගිනි කඳු මතින්
සුබාරංචියක් ගෙන ආමි නුඹලා වෙතට​
තිත්තවූ ඇත්ත මී බිඳු නොවී දෙසවණට​
දැනුනාද​ මා වදන් ​වහ කදුරු සේ හිතට​

දිවා කල සිහිනයක හොවා මන ලොල් වඩන​
පොවා මිදි යුස මියුරු​ තොපේ හිත් රවටාන
මුවවිටක් හිනා දේදුනු පැහැය දවටාන ​
සට කපට වෘක​රැල​ ​හිඳී කඳවුරුලාන​

අසනමුත් ඇහුම්කන් දෙනු නොහී මා හඬට​
යටිකුරුව තියා ඇත පවස නිවනා කළස​​
රකුසු හඬ කන්කලුය​ හිත් වසඟවන සුළුය​ 
සබඳ යුග නෙත් යොමන් මිදී මායා දැලෙන්

බැටලුවන් සේම​ වල්මත් වෙච්ච ගොපලුන්ට​ 
නෑසුනා වෙන්ට ඇත අඬ ගසන හඬ රැලට
කොටලුවෙකු පිට නැඟී දුගී දන හා සමඟ
මෙසායා ඇවිත් ගිය බව හඟිනු ඇත දිනක​

බුමුතුරුණු මත වඩින රජෙකු බැහැදකින්නට  
පෙරනිමිති බල බලා මඟ දෙපස  රැඳුන තොප​
සුබ අස්න  නොම හැඳින​ සිරගතව හිඳින වග​ 
දෙපය රැඳි විලංගුව මොරගසා කියනු ඇත

මල්ලිකා එම් බණ්ඩාර​

18.11. 2019


Thursday, 7 November 2019

ජනතා වේදිකාවක දුටු යෙහෙළියට​

එකම ඉස්කෝලෙ
එක පන්තියේ ළඟම හිඳ
වෙන්වුණත් අදිසියේ
අදත් සෙබළියකි නුඹ  
සජීවී රණ බිමේ 

බෙදාගෙන දුක් සුසුම්
සිනා කෙළි කවටකම්   
යොවුන්විය මැද ගෙවුණ​ 
බිතු සිතුවමක් නොවු 
හදින් හද වෙළාගත් මිතුරු දම

කම්බි දහඅට පොටක් වටකරපු 
කඳවුරේ නුඹ වින්ද
සන්තාප දුක් කන්ද​
මුදා පත් ඉරුව මත​ 
ඉසිඹුවක් ලබනුවස්,
බූස්සේ කඳු වලල්ලෙන් එහා 
ගුවන් බඳ​ නිදහසේ පියාඹන
කුරුල්ලන් ගැන ලියු
ළබැඳි මා මිතුරු සඳ​,

ඇස්පනා පිට බිඳුන ලෝකය​ 
කැබෙලි එකිනෙක ගෙන පුරුද්දා
අකම්පිත මහ පොළොව සේ විඳ​ 
අසෙනි වැහි සර පහර​ නින්දා
සොඳුරු ෆීනික්ස් කිරිල්ලිය යළි 
නැඟිට ගත් අළු දූලි පිසදා
දැනෙයි අභිමානයක් නුඹ වැනි 
අයෝමය ගැහැණියක හින්දා

කාලයේ මිණුම මත​ 
වියපත්ව ඇතත් අප
පණස් වසරකට පෙර​
යොවුන්විය මෙනෙහි කර 
උත්තමාචාරයෙන් හිස නමා 
මගේ හද පතුළෙන්ම​ පිදෙන
ළබැඳි සෙනෙහසයි මේ
සොඳුරු ෆීනික්ස් කිරිල්ලී!

මල්ලිකා එම් බණ්ඩාර
7. 11. 2019




Sunday, 27 October 2019

පාන්කිරිත්තීගේ අන්තිම අවස්ථාව​



මේ දවස් වල නොයෙකුත් දේශපාලන මතිමතාන්තර FB එක පුරාම ව්‍යාප්ත වෙනවාඋදේ හිටං රෑ එළිවෙනතුරුත් සමහරු කැන්වසිං කරනවා. දේශපාලනයට හරි ජනාධිපතිවරණෙට හරි කිසිම සම්බන්ධයක් නැති මාතෘකාවක් කතා කළත් දේශපාලන කොමෙන්ට්ස් වැහි වහිනව​. සමහරු ගහට පොත්ත වගේ ප්‍රධාන  දේශපාලන පක්‍ෂ දෙකේ පාට දෙකට බද්ධ වෙලා. හැමෝම හිතන්නෙ මේක තමයි රට බේරා ගන්ට උදාවුණ අන්තිම අවස්ථාව කියල​. අවුරුදු පහකට වරක් අපි හැමදාම ඔය තැටිය වාදනය කළා විවිධ ආලවට්ටං දාලා. පහුගිය  සැරෙත් මොනතරම් නම්  බලාපොරොත්තු තියාගෙන හංසයෝ පියාඹා යන දිහා අපි බලාගෙන හිටියද​?ඒ  හැම කොමෙන්ට් එකකම වෛරය ක්‍රෝධය හාස්‍යය   දේශපාලන මුග්ධ භාවය ඉක්මවා ගිය අවිනිශ්චිත භාවයක්, භීතියක් අරක්ගෙන ඇති බව මට දැනෙනව​. අනුන් ගේ වැරැදිම දකින එහෙත් යථාර්ථය නොදකින​, තමන් ගේ දේ හොඳවුණත් නැතත් එය හොඳයයි දකින​, වැරැද්ද පෙනිපෙනීත් එය  එය නිවැරැදි කර ගන්නවා වෙනුවට නරක දේටම ආවඩන මිනිසුන් එසේ කරන්නේ තමන් හෝ තම දරුපවුල් හෝ රටේ ජාතියේ සුභසිධියට නොව තම පක්‍ෂයේ දේශපාලන වර්ණයේ සහ එම පක්‍ෂ අත්අඩංගුවේ තියාගෙන සිටින නායකකාරකාදීන් ගේ සුභසිද්ධිය, සුඛ විහාරණය සහ පැවත්ම උදෙසා පමණක් වීම මොනතරම් අභාග්‍යයක්‍ ය​. 

දේශපාලන විද්‍යා ගුරුවරියක් විදියට තරුණ ශිෂ්‍ය​ ශිෂ්‍යාවන් සමඟ​, අවුරුදු දහඅටක අත්දැකීම් මෙනෙහි කරන විට​, දේශපාලන විද්‍යා මූල ධර්ම​​ න්‍යයයන් සහ​ ප්‍රායෝගික දේශපාලනය ව්‍යවහාරයේ පවතින දුරස්ථ භාවය තෝරා බේරා ගන්නට හැකිවන​ පරිදි පන්තිකාමරය තුළදී  දරුවන් දැනුවත් කරන්නට​ මට අවශ්‍ය විය​.තුලනාත්මක දේශපාලන විද්‍යාව උගන්වන්ට නම් ගුරුවරයා තුලාවක් වගේ වෙන්න ඕන කියල මං විශ්වාස කළා. මගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර වලින් බැහැරව​ ඊළඟ පරම්පරාවටවත් සම්‍යක් දෂ්ටිය පහලවන පිණිස  මේ දෙවැදෑරුම් සං සිද්ධි දිහා බලන්ට මගේ ශිෂ්‍ය​ ශිෂ්‍යාවන්ට උනන්දුව සහ ධෛර්යය ඇතිකරවන්ට මහන්සි ගත්තා. බොහෝ විට මිනිසුන් ඉගෙන ගත් සත්‍යය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අනුගත කරගන්නේ ල්ප  ළැදිකමකින් යයි මට හිතෙනව. ගෝල බාලයෝ දැන් "ලොකු ළමයි" විතරක් නෙවෙයි ඒ අයටත් ළමයි බමයි ඉන්නව දකිනව  FB එකෙන්. ඉතින් මේ මව්වරු දරන දේශපාලන මතිමතාන්තර ගැන මට ප්‍රශ්නයක් නෑ වගේම​ ඒ අයගෙ දැනුම සහ අවබෝධය කොයිතරම් ප්‍රායෝගිකද  කියන එකත් මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කාලයත් පවතින ක්‍රමයත් අතරේ දෝලනය වන මිනිස් ජීවිත වල කුමක් දෝ හිඩැසක්  ඇතිවෙලා වද්දෝ කියලා මට හිතෙනව​.මොකද " හැම මිනිසාම දේශපාලන ජීවියෙක්නෙ!" 

ඉතින් ඔය FB විෂබීජයක් වැටිලද මන්දා මේ සැරේනම් මටත් හිතුණා, පහුගිය අවුරුදු පහේදී අපේක්‍ෂා කළ ශ්‍රී ලංකාවේ කේතුමතී නුවරක් කිරීමේ සිහිනය බිඳවැටුණට පස්සේ දැන්වත් අපිට බැරිද අපි හිතපු විදිය වෙනස් කරලා, ඒ කියන්නෙ මේ අලූත් කණ්ඩායමට එක වරක් දීලා බලන්න​ කියලා. හැත්තෑ එක් අවුරුද්දක්ම පොට වරද්දා ගත්ත අපිට බැරිද තව අවුරුදු පහක් මේ දාං පෙතේ ඉත්තෝ මාරු කරලා බලන්න​? ඒ කියන්නෙ විකල්ප කණ්ඩායමට දීල බලන්න​. එතැන ඉන්නෙ අපි හැමෝම ඉල්ලන, දේශපාලනයේ මුවාවෙන් මහජන දේපල අයථාලෙස පරිහරණය නොකළ පිරිසක්. ඒ අයට මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන හොඳ වැටහීමක්, දැක්මක් තියෙන නිසා මාතෘභූමිය ඇද වැටී ඇති; දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සමාජයීය ප්‍රපාතයෙන් යළි ගොඩ ගැනීමේ සැබෑ ඕනෑකමක් තියෙනවා. මහජන නියෝජිතයින් යනු කවුරුන්ද​, ඔවුන් ගේ වගකීම සහ වගවීම පිළිබඳව මනා අවබෝධයක් තියෙන බව ඔවුන් පාර්ලිමේන්තුව තුල දශක තුනක් පුරාවට ඔප්පු කරලා තියෙනවා.

අපි හරියට පාන්කිරිත්තෝ වගේ. කන්කරච්චලේ දරන්ට බැරි වෙනතරමට ගිරිය පුප්පාගෙන කෑගහනවා. බයිලා ගහනවා, නටනවා, තමන්ට වැඩක් ඇතත් නැතත් අනික් අයට ඇහෙන්ට, පෙනෙන්ට සංදර්ශන ඉදිරිපත් කරනවා. ඒත් ඉතින් අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. අපේ රටේ දේශපාලනේ වගේ. අවුරුදු හැත්තෑඑකක්ම කළේ පළුවෙනුත් පදාසයක් ම නැති බෙරයක් බදාගෙන හිටිය එක​.බෙරේ මූණත් පාට වරින් වර වෙනස්කරනවා.  නමුත් හරියට බෙරේ පදම් කරගන්න ක්‍රම වේදය​ මෙලෝ හසරක් දන්න ආචාරියෝනෑ. හැමදාම වුණේ වැරැදි ආචාරියෙකුගෙ කරේ බෙරේ එල්ලලා  අපි බලපොරොත්තු වුණා හොඳ සුරල් පද වැදෙයි කියලා. වරපට බිඳුණ ඇතුළ හිස් බෙරේ, අපිට මතක්කරලා දුන්නා "බල් බල්" සද්දේ  ඇර වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දැන් ඉතින් අළුත් බෙරයක් වයමු කියන තැනට තරුණ විශාරද ආචාරීන්ට ඒත්තු ගැනිලා තියෙන එක කොච්චර අපූරු දෙයක් ද​?

ඇයි අපි මේ පක්‍ෂ පාටවලට මේ තරම්  ගැති වෙලා ඉන්නෙ? මේ රටට සර්වජන චන්දබලය ලැබුණට පස්සෙ, චන්දදායකයින් විසින් මැතිවරණයකදී මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේදී (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අනුව​)​ තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ කියාවලිය හඳුන්වා දී තිබුණ විදියම, තවමත් අපි, විසි එක්වන සියවසේ දෙවන කාර්තුවේදීත් අනුගමනය කරනවා.  එදා මළපොතේ අකුර නොදත් කුඹුරෙන් හේනෙන් එහා දෙයක් නුදුටු, සර්වජන චන්දය අපබ්‍රංශයක් වුණ නූගත් මිනිස්සුන්ට ඇඟිළි අත්සන තියන්න පුරුදු කරනවා වගේ, මැතිවරණයකදීත්, පාට ඉදිරියෙන් කතිරය ගැසීමට පුරුදු කරනු ලැබුවාදැන් බැලුවාම​, පක්‍ෂයට හෝ නියෝජිතයාට අදාල පාට/සංකේතය​ ඉදිරියෙන් කතිරය ගැසීම හැර අපි ඉන් එහාට එක අඩියක්වත් තියා නැහැ. තාමත් අපි උප්පැන්න සහතිකයේ තියෙන නම, ආගම, ජාතිය වගේම අපි අයත් වියයුතු දේශපාලන පක්‍ෂය පවා දෙමව්පිය උරුමයෙන් ආව දේපලක් වගේ "හණ​" ගහගෙන ඉන්නෙ.ඒ එහෙම වෙන්න ඇත්තෙ ආනයනිත බීජය නීරෝගීව වැඩෙන්නට ලංකා පස සූදානම් නෑ කියන එක  විය හැකියි. 

චන්දය හිමි ඇත්තෝ, ඡන්දයෙන් අගතියට නොයා යුතුයි. ඔබ උගත්, බුධිමත්, නිදහස් චන්දදායකයෙක් නම් පරම්පරා ගණනකට ඉස්සර තිබුණ "ප්‍රාථමික​"ලෝකයෙන් එළියට ඇවිත් වර්තමාන ලෝකය දිහා අවදියෙන් බලන්න පුළුවන් වෙන්න ඕන​. පරම්පරා තුනකට එහා ඔබේ පවුල්වල උදවිය හිටිය විදිය ඔබට ගැලපෙනවාද​? ඔබේ දරුවන්ට ගැලපෙනවාද යන්න සිතා බලන්න​. පරම්පරා තුනකට එහා තිබුණ ලෝකයට අද ඔබ​ අයත් නැත​. ඉතින් ඔබේ දරුවාට නැත්නම් ඊළඟ පරම්පරා වලට ඒ ලෝකයේ සුන්බුන් කොහොම ගැලැපෙනවාද​? පාරම්පරික දේ රැක ගතයුතුයයි ඔබ තර්ක කරනු ඇත​. ඒත් ඔබ ජීවත්වන ලෝකයට, ඔබේ දියුණුවට බාධාවන දේ ඔබ රැක ගතයුතුදැයි ඔබගෙන්ම අසන්න.

ඔබ ලත් මනුෂ්‍යාත්ම භාවය නිදහස් නිවහල් චින්තනයකින් හෙබි, මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙන්නට මිස හීන දීන වහල් මනසකින් ජීවත් වෙන්නට නොවන බව මතක තබා ගන්න​. ඔබේ මාතෘ භූමිය​, ඔබේ ජීවිතය, ​ ඔබ ජීවත්වන පරිසරය​ තුළ, සවිඥානික සබුද්ධික මානවහිතවාදී මිනිසෙකු ලෙස ජීවත් වෙන්නට ඇවැසි පසුබිමක් තිබේදැයි නිශ්චය කර ගැනීම ඔබ සතු වගකීමකි. අධ්‍යාපනයෙන් හෝ ගුණ දහමින් ශික්‍ෂණය නොවූ වර්තමාන මුග්ධ දේශපාලකයින් ඔබේ ගැලවුම්කාරයින් යයි ​ පිළිගත යුතුද​? ඔවුන් ඔබ මුලා කොට ඇත​. ඔවුන් ඔබ ඉදිරියේ ස්වර්ග රාජ්‍යය නිර්මාණයකර දෙන බවට පහුගිය දශක හතක්ම දිවුරා පොරොන්දු දී ඔබව මුලා කොට ඇත​.

ඒ ඔවුන් ගේ දරු පවුල් වල ශ්‍රී විභූතිය සඳහාය​. යටත් විජිත ස්වාමීන්ගෙන් ලත් බලය යොදවා දුර්වල මිනිසුන් ගැත්තන් ලෙස තියා ගැනීම සඳහාය​. ප්‍රධාන පක්‍ෂ දෙක ඥාතීන්, මිතුරන් සහ එකම පන්තියට අයත් ප්‍රභූන් ගෙන් සමන්විතය​. අවුරුදු පහකට වරක් ඒ පන්ති දෙකෙන් එකක් බලයට පත් කිරීමට කතිරය ගසන බහුජන චන්දදායකයින් රටේ සාමාන්‍ය මිනිසුන් ය​. ඔවුන් දෙපසට බෙදී ඇනකොටා ගන්නේ තමන් සඳහා නොව තමන් කැති පාට දෙකට අයත් ස්වාමීන්ට ඔටුණු පැළඳවීම සඳහාය​. මෞලි මංගල්‍යයෙන් පසු ස්වාමීන් සිහසුන හොබවන අතර සාමාන්‍ය ගැත්තන්ට නිතර රථ පෙළපාලි, සාද, සංදර්ශන සහ  උත්තමයන් සඟරජ්වරුන් බැහැදැකීම, පිරිත් නූල් ගැට ගැසීම, ආශිර්වාද කළ ජලය පානය කිරීම සිට ආගම ඇදහීම පවා විවිධ චැනල් ඔස්සේ විකාශනය කර නරඹන්නට සලස්වනු ලබයි.

ටිකක් හිතා බලන්න. ඔබ අද සිටින්නේ දේශපාලකයින් විසින් දහ අතේ දිවුරා පොරොන්දුවූ ස්වර්ගයේද? හැබහින්ම, ඔබ අද පයගසා සිටින්නේ, පරම්පරා ගණනකට ගෙවා නිමකළ නොහැකි ණය කන්දරාවක උරුමක්කරයින්ව, ජීවත්වීම සඳහා දරන නිමක් නැති අරගලයක නිරතවන කොටස් කරුවන්ව නොවේද​​? දේශපාලකයින් විසින් දශක හතක් තිස්සේ දූෂණය කළ, අවභාවිතා කළ​, අපහරණය කළ අපේ සුන්දර මාතෘ භූමිය හිතූ මනාපයට කැබෙලි කොට නොරටුන්ට විකුණා අප යාචකයින් ලෙස ලෝකය හමුවේ අවමානයටත්, ලංකා දෙරණ මත අසරණ භාවයටත් පත් කර ඇත​. 

රැකියා නිර්මාණය කිරීමේ හැකියාවක් පාලකයින්ට  නැත​. උන් මැටි මෝල්ලුය​. සංවර්ධන ක්‍රියා වලියට උගතුන් දායක කරගන්නේ කොහොමද කියා හිතාගන්නවත් උන් අපෝසත්ය.​උපාධිධාරීන් තම සුදුසුකම් වලට සරිලන රැකියා ඉල්ලා “protest”කළ යුතුව ඇත​. වැටුප වැඩි කරගන්ට , වාහන බලපත්‍රයක් ගන්ට​, ළමයා ඉස්කෝලේ දාගන්ට​, මහ පොළ දීමනා වැඩි කර ගන්ට ආදී වශයෙන් ඔය හැම දේටම මහජනතාව "protest"කරනවා. ඒත් මහජන නියෝජිතයෝ වරප්‍රසාද ලද්දෝය​. ධන නිධාන වලට අරක් ගත් පිසාචයන්, කුම් භාණ්ඩයින්, මළ පෙරේතයන් ය​. ඒ ඇත්තෝ රජයෙන් නඩත්තු වන ​දන්සැලෙන් කාබී, කාඩි කළගෙඩි වගේ බඩ තඩි ඔඩොක්කුවේ තියාගෙන කැරැකෙන පුටුවේ දපාගෙන ඉන්නට ආශිර්වාද ලද්දෝය​.  ඒ අයගෙ ඕනෑ එපාකම් කැබිනට් එකෙන්ම සම්පූර්ණ කරන නිසා අපේ කැබිනට් හැමදාම හිස් ය​. පොකට් හිල් වෙලාය​. දරුවෝ සාගින්දරේය​. අඹුවෝ මැදපෙරදිගට විකිණිලාය. පුරුෂයෝ තිතට මත් වෙලාය​. තරුණ තරුණියෝ නන්නත්තාර වෙලාය​. මේ ව්‍යසනයෙන් දේශය මුදවා ගන්නට පහුහියවර නටපු තොයිලයෙන් පස්සේ පෙරේත තටුවට වහ වැටුණේ සිගාල ගෝත්‍රිකයින් ය​.  

යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස ලැබුවදා ඉඳන්ම​ උගතුන් පාලනය වෙන්නේ දූෂණ වංචා, රාජ්‍ය දේපල අවභාවිතා වලට කප්පිත්තන් වූ නූගත් තක්කඩි දේශපාලකයින් පිරිසක් යටතේය. චන්දදායකයිනි, ඔබේ රීරි මාංශත් රටේ ජීවනාලියත් උන් විසින් සූරා මිරිකා උරා බී ඔබ හිඟමනට ඇද දමා ඇත​. එල්ලෙන්ට වැලක් නැතිව මහජන නියෝජන ආයතන වලට රිංගා ගත් උන්, රජවරුන් සිටුවරුන් වෙලාය​. ඔබේ කතිරයේ අනුහසින් මාළිගා ප්‍රාසාදවල, කෙත්වතු දේපලවල හිමිකරුවන් වෙලාය​. දෙස් විදෙස් බැංකු ගිණුම් වල හිමිකරුවන් වෙලාය​. බතින් බුලතින් සශ්‍රීක කළ හැකිව තිබූ භුමිය අද මතින්, සල්ලාල කමින් බේබදුකම ඇතුළු සියළු අවක්‍රියාවන් ගෙන් ස්වයම්පෝෂණය වෙලාය​. ඔබේ දරු මුණුබුරන්, ඔබ විසින්ම තෝරා පත්කර යැවූ නියෝජිතයින් විසින් ඇටවූ මර උගුල්වල සිරගත​ වෙලාය​.  මතක තබාගන්න, යම් දවසක ඒ දරුමුණුබුරන් උන්ට කළ මේ  වින්නැහිය ගැන​ හෙන ඉල්ලන්නේ නුඹලාට එරෙහිවය​​.

ඇත්තටම මේ ජාතික ව්‍යසනයෙන්‍ රට ගොඩදාගන්න මේක තමයි අන්තිම අවස්ථාව කියලා මටත් හිතෙනවා. මහජන දේපල අයථා ලෙස පරිහරණය කිරීමෙන් දේශපාලකයින් සේම පරිපාලන ක්‍ෂේත්‍රයේ, පාලනතන්ත්‍රයේ හැම අස්සක් මුල්ලක්ම දූෂිත මළපෙරේතයින් අරක් ගෙනය​. ඉතින්වත් හිතාපල්ලා! ඔය කඩමලු වැරැහැලි දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක්වත් නුඹ​ලා ගැන කරදර වෙන්නේ නැත​. උන් දෙගොල්ල ඥාතීන්ය​, මිතුරන්ය​. සහෘදයන්ය​. නුඹලා නිකම්ම නිකං පාන්කඩය​. උන්ගේ දෙපා පිස දමන පාපිස්නයන් ය. උන්ගේ හොද්ද රස කරගන්නට දැමූ රම්පේ කරපිංචා රොඩු බොඩුය​. මැතිවරණ කාලෙට හිනාවෙන ඇත්තන් ගේ දතකට මැතිවරණ​යෙන් පස්සේ පූට්ටු වෙනවාමය​.

ඒ නිසා කසිප්පු කාලට, ඉඳුල් බත් පිඩට වහල්ලු නොවී ; නුඹලාගේ කිරට අඬන​, බත් ඉල්ලන​දරුවන්ට​සුදුසු අධ්‍යාපනයක් දෙන්ට, උගත් දරුවන්ට ජීවත් වෙන්නට සුදුසු රටක්, හෙට දවසක් වෙනුවෙන් එක මොහොතක් සිහිබුද්ධියෙන් යුතුව හිතා  නැවත නොතැවෙන්ට තීරණයක් ගනිල්ලා! මේක තමයි අන්තිම අවස්ථාව කියලා අන්තිම වතාවටත් හිතාපල්ලා!එච්චරයි!


මල්ලිකා එම් බණ්ඩාර​
 27. 10. 2019

Sunday, 6 October 2019

Bookmark

World Teachers' Day, also known as International Teachers Day, is an international day held annually on October 5. It has established in 1994. Teachers' Day aims to focus on "appreciating, assessing and improving the educators of the world" and to provide an opportunity to consider issues related to teachers and teaching.  

First time we celebrated “our day” at the Girls High School Kandy, Sri Lanka.  The occasion has been organised by the students to appreciate and honour their teachers. At the event they offered some beautiful gifts for us and this gorgeous bookmark was one of them. Last 25 years, I preserved this sentimental symbol as an appreciation of our students.

Mallika M Bandara
5. 10. 2019





Wednesday, 25 September 2019

ඇය​ අම්මාය



මැළවුණ සිත අතු ඉතිලා නෑඹුල් මල් පීදෙන්නට
මල් වරුසාවක් වැස්සා වාගේ මගෙ ඉස්මත්තට​
අපෙ අම්මගෙ වත තැවරුණ සිනා පොදක් දැකගන්නට
යළි කවදා හැකිවේවිද මේ අත්බවයේ දී මට

නුඹෙ අත් හැඳි යුග සෙවනේ මා හිඳුවා  මුවා වෙන්න
හිතේ උපන් කරුණාවෙන් සඟවාගෙන කඳුළු ගොන්න​
දරදිය ඇද රෑ දාවල් පණම් අටක් හොයා ගන්න​
වෙර දියකර වැළඳූ දුක මෙතෙකැයි බෑ කියා ගන්න​

දොළොස් මහේ පහන වෙලා මට මහගිරි දඹ නඟින්න​
සිළිටි පළස් අතුළ මැදුරු දොර හිඳ පායුග හොව​න්න
දූවිල්ලේ ගිනි අව්වේ ඇවිද්ද කුසගිනි නිවන්න
අම්මේ නුඹ පෙවූ කිරට කාට​ හැකිද ණය ගෙවන්න?

මල්ලිකා එම් බණ්ඩාර​

25. 09. 2019

Friday, 20 September 2019

මම නුඹය​


මං දන්නවා නුඹ මෝඩ ගෑණී
නිතර රැවටෙනවා
ඉල්ලුවොත් යම් කෙනෙක් ඇවිදින්
නුඹේ හිත පිනවා
සත්තකයි ඉල ඇට කඩා හරි
හදවතත් දෙනවා

විනේ කටිනා වනේ හිවලුන්
හෙමින් ළං වෙනවා
චාටු බස් දී හිනා මල් දම්
නුඹට පළඳනවා

පිරුණ වස විස ගැන​ නොදන්නී
සුව අසුන් පනවා
මලේ රුසිරට ගෙලේ සරහා
නුඹ හිනා වෙනවා

නුඹේ  හිත දාසියක මුත් 
ඈ නුඹට අණ දෙනවා
වසා මායම් දැලෙන්
දෙනුවන් නුඹව රවටනවා

සසල දියරල පමණි තනියට
නුඹ කඳුළු බොනවා
දෙපා යුග මුල හැලුණ​ මල් පෙති
නුඹට හිනහෙනවා

නෙත විලක් වී සිත දොලක් වී
නුඹත් වැළපෙනවා
මමත් නුඹ අතනෑර​
සසරේ ඇවිදගෙන යනවා

මල්ලිකා එම් බණ්ඩාර

20. 09. 2019 

Monday, 16 September 2019

සරසවි මතකයෙන් බිඳක් - ඉතින් ඊට පස්සේ...



දවසක් මම පින්ක්-සැමන් කරියක් කිරට හදන ගමන් ඒකේ සුවඳත් සමඟ මගෙ හිත ඉස්මත්තෙන් තටු ගසා නැඟිටින මතකයක් අතුපතරදා ලියලන්ට පටන් ගත්ත​. අමුමිරිස් රම්ප කරපිංචා සේර සුවඳත් එක්ක මගේ හිත විදුලිවේගෙන් පියාඹලා ගියා. හන්තාන කඳු වැටියටත් ඉහලින් ගිහින් ගිහින් ගිහින් නතර වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ,  රාමනාදන් ශාලාවේ මුළුතැන් ගෙයි. මොහොතකින් මගේ මූණපුරා හීන්වට හිනාවක් තුනීවෙලා යනව මට දැනුණ​.
“ඇයි තනියම හිනා වෙන්නෙ?” මගෙ පුතා මගෙන් අහනව​.
"මේ කරිය දැක්කම, දැක්කම නෙවෙයි ඒකෙ සුවඳ දැනුනම, ​මට අපේ කැම්පස් එකේ සිද්ධියක් මතක් වුණා". 
තවත් වැඩිපුර හිනාවෙන ගමන් මං කාරණේ සංක්‍ෂිප්තව එයාට​කීව.  
ඒත් සවිස්තරාත්මක කතාව මේකයි.
ඒ කාලෙ, ඒ කියන්නෙ 1974, වෙන කොට විශ්ව විද්‍යාලයේ හොස්ටල් වල කෑම දුන්නෙ ටෝකන් එකකට. අපි පෝලිමේ ගිහින් කෑම පිඟාන අරන් ඩයිනිං හෝල් එකෙ ඉඳගෙන කෑම කනව, නැත්නම් රූම් එකට අරන් යනව​. සමහර වෙලාවට අපි ටෝකන් එක දීල කෑම නිකුත් කරන කවුළුවේ ඉන්න සේවකයා හෝ සේවිකාවගේ විදිය අනුව වැඩිපුර මාළු  කෑල්ලක් ඉල්ලා ගන්න පුරුද්දක් තිබුණා.
අපි සේවිකාවන්ට කතා කළේ අක්කා කියලා. එතැන හිටියා නන්දක්කා, පේමක්කා, සෝමක්කා, විමලක්කා සහ ලුයිනක්කා වගේ අක්කලා. ඉතින් අපි ඒ අය සමඟ ඉඳ හිට විහිළු තහළුත් කළා. හැත්තෑව දශකය වෙනකොට සාමාන්‍ය පන්තියේ දරු දැරියන් විශ්ව විද්‍යාල අධ්‍යාපන වර ප්‍ර​සාදය වැඩිපුර භුක්ති වින්ද අතර, පන්ති පරතරය ලිහිල් වෙමින් පැවතුනා.  වැඩිහිටියන් වයසට අදාල නෑකමකින් ඇමතීම අපේ සංස්කෘතියේ මානුෂීය ලක්‍ෂණයක් විදියට පිළිගත් නිසාදෝ, වැඩිහිටි තරුණ සේවිකාවන්ට නමින් පමණක් ඇමතීම අපහසු බවක් දැන්නෙන්ට ඇති. අනික් අතට ඉවුම් පිහුම් කළ කාන්තාවන් අතර විද්‍යා කලා විෂයයන් ගෙන් උසස් පෙළ සමත්, විශ්ව විද්‍යාලයට නොතේරුණ අයත් හිටියා. ඒ අය බොහොම දුකෙන්, තමන්ට උසස් අධ්‍යාපන දොරටු විවෘත නොවීම ගැන අපි එක්ක කතා කරනව​. මේ කාරණා නිසා අපි තරමක මානුෂීය අවබෝධයකින් යුතුව සහසම්බන්ධතා පැවත්තුවා. මිත්‍රශීලීව කටයුතු කළා.
මේ කියන දවසෙ ෆිෂ්  කරි බෙදන්න හිටියෙ ලුයිනක්කා. ලුයින බොහොම නිශ්ශබ්ද චරිතයක්. එයා කතා කළේ මඳ වශයෙන් වගේම​ විහිළු තහළු වලට එතරම් කැමැත්තක් දැක්වුවේත් නෑ.
එදා පිඟන් වලට බෙදලා තිබුණ මාළු කෑලි ප්‍රමාණයෙන් පුංචියි. අපි  එකිනෙකා හෙමින් කතා කර ගත්තා.
එක මාළු කෑල්ලක් මදි. ඉල්ල ගමු තව එකක් !” කවුදො යෝජනාවක් කළා.
එහෙම  කට්ටියම එකඟ වෙලා  අපි කවුන්ටර් එකට කිට්ටු කරන ගමන්, මං ළඟින්ම හිටිය " අපාය සහාය " මිත්‍රයින් අතරෛන් කෙනෙකුට ඇහෙන්ට, " අපි මයිනගෙන් ළූණු" කෑල්ලක් ඉල්ලගමු!" කියල​ කීව​,
මගේ ළඟ හිටිය කාණ්ඩෙ මහ හයියෙන් හිනාවුණා. ලුයින හිතුව අපි හිනාවුණේ එයාට වෙන්ට ඇති කියලා. එයාට තරහ ගියා.
“බලාපල්ලකො එයැයිගෙ මූණ නිකං කුණ්ඩි හට්ටිය වගේ”. පෝලිමේ හිටිය ගාල්ල පැත්තේ කෙනෙක් කොඳුරණවා ඇහුණා. ආයෙත් හැමෝම හිනාවුණා.
එතකොටම ලුයිනා, " මොකද්ද මිසී විකාර කතා කියන්නෙ " කියලා මූණ පුළුටු කර ගෙන මට රැව්වා.
" අයියෝ ලුයිනක්කා, ඔය තරම් තරහ ගන්නෙ ඇයි? මං කීවෙ,  ලුයිනගෙන් මාළු කෑල්ලක් ඉල්ලගන්නවා කියලානෙ. කපා ගන්නවා කියලා නෙවෙයි නෙ”.
කියලා මමත් කීව.
“අනික් අතට​ මේගොල්ල හිනා වුණේ මට. ඔයාට නෙවෙයි නෙ " මම හිනා වෙමින්ම කීව​.
එදා වැඩේ අප්සෙට්! කොහොම හරි ලුයිනා මාළු කෑල්ලක් දුන්නෙ නෑ. අපි පිඟානට බෙදලා තියෙන ප්‍රමාණයෙන් සෑහීමට පත් වෙලා. ඩයිනිනං හෝල් එකට ගියා. ඔය යන අතරේ එකෙක් කියනව ".
" මදැයි හැන්දෙන්ම ඔළුවට එකක් බෙදුවෙ නැතුව​".
“මගෙ ඇඟේ මාළු නැටූව​". තව කෙනෙක් කීව.
“මටනං හිතුණා ලුයිනගෙන් මාළු කෑල්ලක් කපාගෙනම එන්ට​" ඔය අස්සෙ තව එකෙක් කියනව​.
එදා කෑම කන ගමන් මුළු ඩයිනිං හෝල් එකම හෙල්ලෙන්ට අපි මාළු සම්බන්ධ කරලා විකාර කතා කිය කියා හිනාවුණා. ඉන් පස්සෙ ලුයිනා කෑම කවුන්ටරයේ ඉන්න වෙලාවට අපි බොහොම පරිස්සම් වෙනව.
ඒවා ඉතාම සුළු සිද්ධීන් වුණත් සරසවියෙන් ලද මිල කළ නොහැකි අත්දැකීම්. සමහර විට කොතරම් කටුක වුණත්, ආහ්ලාදජනක වුණත් ඒවායේ අපූර්ව සුන්දරත්වයක්  තියෙන විත්තිය මට වරින් වර මතකයට නැගෙන එවන් සිදුවීම් සිහිපත් කර දුන්නා.

ඒ නිසාම ඉතාමත් අභව්‍යයයි සිතිය හැකි හීන දකින පුරුද්දක් මට තිබුණා. සරසවියෙන් පිට වුණාට පස්සෙ අපේ කණ්ඩායමේ දහදෙනෙක්වත් මුණගැහුණෙ නැතිතරම්. ඒ වුණත් හැමෝගෙම තරුණ මුහුණු, මුලින් දුටුදා වගේම මතකයේ කොණක සිතුවම් වෙලා තිබුණා. යම් සිද්ධියක් මතකයට ආවම ඒ හා සම්බන්ධ සගයින් සජීවීව මතකයේ සැරිසරනවා. ඒ ළඟ මොහොතේ ආයෙත් ඒ අය​ බිතු සිතුවම්.

එහෙම වෙලාවට මට හිතුණා “අපිට ආයෙත් මුළු බැච් එකම එකට එකතු වෙන්න ලැබුණොත්!කියලත්. නොයෙක් විට අනන්ත වාර ගණනක් මම එහෙම හිතන්ට ඇති. සමහර වෙලාවට මගෙ මනඃකල්පිත දවල් හීන​ සැබෑවුණ අවස්ථාත් තියෙනව​. මේකනං එහෙම එකක් නෙවෙයි! ලුයිනා කීවා වගේ ඒකත් මගේ විකාරයක් මිසක් හීනෙන්වත් අපේක්‍ෂා කළ හැකි දේවල් නෙවෙයි. වෙලාවකට මට හිතුණා.

හිරහිදලන් අරන්, පවුල් පන්සල් වෙලා, දරුමල්ලොත් එක්ක කුටුම්භයේ සිරගත වෙලා හිටියා මිසක්, උපන් ගම් රටවලින් පිටවුණාට පස්සෙ අපි ආයෙත් හමුවුණේ නැති තරම්. එහෙම තිබියදීත්  නැවත හමුවීමේ නොසන්සිඳෙන ආසාවක් බලාපොරොත්තුවක් හැමදාමත් මගේ හිතේ ගුලිවෙලා. 
වෙන්වුණ අය නැවත එකතුවෙලා, " ඉතින් ඊට පස්සෙ ....?"කියලා අපි වෙන්වුණ තැන ඉඳලා කතා කරන්න, අපේ ජීවිත බෙදා හදාගන්න ඇත්නම්! එහෙම අහන එක මටනං මොනම විදියකින්වත් ඕපාදූප කතාවක් නෙවෙයි. මොකද දැන් අපි වියපත් ගැහැණු  මිනිස්සු. තරුණ කාලෙ ජීවිතය තේරුම් ගන්ට උත්සාහ කරපු  කෙල්ලො කොල්ලො වගේ නෙවෙයි. අනුන්ට හිනාවෙන්න නෙවෙයි දුක සැප බෙදාගන​, ජීවිතවල සැඳෑ සමයට සැහැල්ලුවක් වෙන්න​. ජීවිතයේ නානාප්‍රකාර දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරුණ සිත් වලට සැහැල්ලුවක් දෙන්න​. සතුටක් නම් බෙදා හදාගන්න​. අගය කරන්න​.  තනිවුණ අතරමං වුණ ජීවිත වලට නම් බලාපොරොත්තුවක ආලෝක පුංජයක් දල්වන්න​. ඒක නේද අපේ මනුස්සකම​, වියපත් බව කියන්නෙ? මං හිතුවෙ ඒ විදියට​.

මගේ ජීවිතේ අවුරුදු දොළහ ආසන්න කාලයක් පේරදෙණිය සරසවියට නුදුරු ගන්නොරුව රණබිම ආසන්නයේ ජීවත් වුණා. පස්චාත් උපාධියක අධ්‍යයන කටයුතු සඳහා දෙවන වරටත් සරසවි ආවා. රැකියාවට සම්බන්ධ​ අධ්‍යාපනික උපදෙස් ලබා ගැනීම සඳහා අපට ඉගැන්වූ ආචාර්ය මහාචාර්යවරු හමුවෙන්න​ හෝ  සරසවියේ වැඩකළ හෝ පදිංචි වෙලා සිටි ඇතැම් පුද්ගලයින් හමුවෙන්නත් නිතර සරසවියට ආවා ගියා. වලේ නාට්‍ය නරඹන්න දරුමල්ලෝත් එක්ක එකතුවෙලා නොයෙක් වර ආවා. 
මහනුවර නගර මධ්‍යයේත්, ප්‍රිම්රොස්  උද්‍යානයේ තවත් දශකයකුත් ජීවත්වුණා. මේසා දීර්ඝ කාලයක් තුළ සරසවි සමකාලීනයන් දැක ඇත්තේ කීයෙන් කීදෙනෙක් ද​? ඒක හරියට ජීවිතයේ එක් අවධියක අකල් මරණයක් සිද්ධවුණා වගේ. නැවත හමුවීමක් නැති සදාකාලික නැවතීමක්, සමුගැනීමක් වගේ. අපි හැමෝම දහ අතේ විසිරිලා ගිහින්. 

මොනතරම් වාද විවාද විරසකවීම් වෙලා තිබුණත්, හිත් රිදීම් පෑරීම් තිබුණත් ආයෙත් එකම එක වරක් අපට මුණගැහෙන්න ඇත්නම්! ආයෙත් වරක් අර අපි එකතු වුණ විසිරුණ දවස් සිහිකරන්න ඇත්නම්! ජීවිතයේ මතක ලෙනේ විශාල කුහරයක් ඉතුරුවෙලා! ඉතින් අපි එකින් එකා දැන් වියපත් වෙලා. යළි හමු වීමක් නැතුවම​, නුදුරු දිනක අපිට​ අවසාන සමුගැනීමට සිදුවුණොත්? ඒ හැඟීම​ කොතරම් ඛේදජනකද​​? ඉතින් ඒ වගේ දෙගිඩියාවකින් තවත් අවුරුදු ගණනක් ගෙවිලා ගියා.... 

මල්ලිකා එම් බණ්ඩාර​
06. 09. 2014.

(ඊළඟ කොටස MAGPIE LOUNGE” එකේදී අහමු)