Saturday, 15 August 2020

තක්සලාවේ මතක සටහන් අතරින්

මා මහනුවර උසස් බාලිකාවේ සේවයේ නියුක්තව සිටි කාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් ඊයේ හවස මට දුර කථන ඇමතුමක් දුන්නාය​. අවුරුදු තිහකට​ පමණ පසු ඇය මා ඇමතුවේ “මැඩම් මම ---යයි, මුළු නමම සඳහන් කරමින්. ඇය මගේ මතකයට ගොඩවැදුනේ හුරුපුරුදු පාසල් නිල ඇඳුමෙන් සැරසුන තුරුණු වියේ සුන්දර දැරියක් විදියට​.  

“ඉතින් කොහොමද පුතා”යි මා පිළිතුරු දුන්නේ සාමාන්‍යයෙන් ගැහැණු හෝ පිරිමි දරුවෙකුට මා ඇමතූ ආකාරයෙන්.

"මැඩම් කීව තැනට මම දැන් ඇවිත්". ඇය කීවාය​.

“අද ඉස්කෝලෙට ආව ළමයෙක් මැඩම්ව දන්නව කිව්වා. ඉතින් මං “telephone number” එක ඉල්ලා ගත්තා”. ඇය කීවාය​.

ඇය උප විදුහල්පති ධුරය හොබවන විදුහලේ මගේ ඥාති දැරියක​ඉගෙන ගනිමින් සිටි බව මම දැන සිටියෙමි.

“ඒ ළමය මගෙ නෑයෙක් පුතා” මම කීවෙමි.

“එහෙමනං කීවෙ නෑ. එයාට අස්වීමේ සහතිකය ගන්න ඕන කීව​. සාමාන්‍යයෙන් අපි එක දවසකින් දෙන්නෙ නෑ. ඒත් ඉතින් කවුරුවුණත් ළමයෙක්නෙ කියලා මං 

ඒක කරලා දුන්නා. ඔක්කොම ඉවරවෙලා තමයි මැඩම් ගැන කීවෙ. ඒත් නෑකමක් කීවෙ නෑ”.

“මැඩම්ට මතකද මට ලැබෙන්ට තිබුණ සමහර දේවල්, සුදුසුකම් තිබුණත් මට ලැබුණෙ නෑ. මං අඬ අඬා ඇවිත් ඒක මැඩම්ට කීවා. මට ඉස්කෝලෙදි සිද්දවුණ අසාධාරණ කම් ගැන කියලා මං අඬලා තියෙනවා. ඉතින් මැඩම් කීවෙ, ' බැරිවුණ දේ ගැන පසු තැවෙන්නෙ නැතුව ඔයාට හරියට කරන්න පුළුවන් දෙයක් තෝරාගෙන ඒ අංශයේ පුළුවන් තරම් ඉදිරියට යන්න අධිෂ්ඨාන කර ගන්න කියලා.

මං ඒක කළා! Thank you madam!

“අම්මයි තාත්තයි දෙන්නත් විදුහල්පතිවරු. ඒ අය කැමති වුණේ නෑ මං ගුරුවෘත්තියට යවන්ට​. ඒත් ඉස්කෝලෙදි මට වඩා කැපී පෙනුණ​, ටීචර්ස්ලගේ වැඩි සැලකිල්ල ලැබුණ, සමහර නිලතල ලැබුණ​ අයට වඩා මං අද හුඟක් ඉදිරියෙන්". 

“මැඩම් මට කීවෙම, මට නින්දා අපහාස උපහාස කරන අයට පාඩමක් උගන්වන්ට නං පුළුවන් තරම් හොඳින් වැඩ කරලා, කට පියා ගෙන වැඩ කරලා පෙන්වන්ට කියලා. දවසක ඒ අය දකියි ඔයා හාවද ඉබ්බද කියලා. ඇත්තටම මැඩම් කීවෙ හාවාවත් ඉබ්බාවත් නෙවෙයි. හාවිද ඉබ්බිද කියල". ඇය කීවේ හිනාවෙමින්.

මම ඒ දැරිවියට මගේ විෂය පථයට සම්බන්ධ කිසිවක් උගන්වා නැත. ඇය කාගේ දරුවෙක් වුණත් මා ඇයට​  වැඩිහිටියෙක්, ගුරුවරයෙක් ඕනම දරුවෙකුට කළ යුතු විදියට​ අවවාද කරන්නට ඇත​. ඇය ඒ තරම් කතෘගුණශීලී වීම ගැන අගය කළෙමි. මා ඇයට කියු දෙයක් මට මතක නැත. නමුත් කිවයුතු දේ කියා පෙරළා යමක් බලපොරොත්තු වූ නොවූ බව දනිමි. අවවාදයක් හෝ තරවටුවක් විහිළුවක් කර​  කෝන්තර ඇතිකර ගත් අය ශිෂ්‍යාවන් මෙන්ම ගුරුභවතුන් අතරද සිටි බව අරුමයක් නොවේ.

පැය භාගයකට ආසන්න දුරකථන සංවාදය අවසන්වූ පසු මම ඒ අතීතය තුළ මද දුරක් හුදකලාව​ඇවිද්දෙමි.

“ගුරුවරු වෙලා පන්ති කාමරයක කොටු වෙන්ට එපා. මම මේ ජොබ් එකට ආවෙ මම ගුරුවරියක් වුණේ "ජොබ්" එකක් ඕනකමට මිස කැමැත්තෙන් නෙවෙයි”.

මං මගේ පන්තිවල දැරියන්ට කීව.

“ඒවුණාට මැඩම් කොච්චර හොඳට කරනවද ජොබ් එක”​.

“පටන් ගත්ත දේ මම හොඳින්ම කරනව​. හොර බොරු නැතුව​. නමුත් ඔයාලා මම නතරවුණ තැන නතර වෙන්න එපා.  ගුරුවරයා පහු කරලා යන්ට ඕන ගෝලයෝ”.

ඒත් මම මගේ උපරිම ශක්තියෙන් වැටුපට ණය නොවෙන්ට විතරක් නෙවෙයි රාජකාරිය ඉක්මවා වැ ඩ කර වර්ණවත් ප්‍රථිපල ලබා දී ඇත්තෙමි. කුමන හේතුවක් නිසාවත් මගේ විෂය ඉගැන්වෙන පීරියඩ් එක හෝ දෙක “කට්” කිරීමට ශිෂ්‍යාවන්ට ඉඩ නුදුන්නෙමි.

ඇතම් ශිෂ්‍ය නායිකාවන් “Commitymeeting”එකක් තියෙන නිසා පන්තියෙන් බැහැරව ඉන්නට අවසර ඉල්ලූ අවස්ථා තිබුණි.

“ආහ්! යන්න අවසරයි! හැබැයි යන්න ඉස්සර​, “Vice Principal” ගෙන් “note” එකක් අරන් එන්න”​.

මම කීවේ එපමණකි.

කිසිම ශිෂ්‍යාවක් එවැනි “ notes” ගෙනත් දී හෝ පන්තියෙන් බැහැරව සිට​ නැත​.

මගේ ඉගැන්වීම් විධියක් විදියට​, පාඩම නීරස නොවන පිණිස, පාඩමට සම්බන්ධකාරණාවක් හා ඈඳුනු විනාඩියක දෙකක​"අතුරු කතාවක්" කියා සිසුවියන් ප්‍රබෝධමත් කරන අතරම පාඩම කරගෙන ගියෙමි. මේ විවෘත සමීප භාවය නිසාම ඇතම් ශිෂ්‍යාවන් ඔවුන් ගේ පෞද්ගලික ගැටළු සමහර විට පෙම්වතුන් පිළිබඳ ගැටලු, දෙමව්පියන් අතර පවතින අසමඟිතා පවා මා සමඟ පවසා කළහැකි, දියහැකි විසඳුමක් ඇද්දැයි අසාතිබේ.  කෙසේ හෝ බියකින් තොරව සමීප වියහැකි මනුස්සයෙක් මා තුළ සිටින බව දැරියන්ට අවබෝධයක්තිබිණි.  මගේ දෛනික විෂය ඉගැන්වීම්,  විෂය කරුණුවලට පමණක් සීමා නොකළෙමි. දැරියන්ට ජීවිතයකියා දෙන්නටත් අවබෝධය ලබා ගන්නට ඇවැසිවේයැයි මා ඇදහූ දේ කියා දුනිමි. විහිළු තහළු  වගේම අකුරට වැඩ කළයුතු බව ආදර්ශයෙන් තහවුරු කරන්නට හැකි හැම උත්සාහයක්ම ගතිමි.

වරක් මම පන්තියේ විෂය උගන්වන්නේ නැති බවත් විහිළු කතා කියමින් ළමයි හිනස්සන බවත්, අහල පහල පන්ති කාමරවල පාඩම් කරගෙන යාම අපහසු බවත් විදුහල්පතිණියට ගුරුවරියන් කීප දෙනෙකු ගතු කියා තිබුණි. 

දිනක් විනාඩි අසූවක කාල පරිඡෙදයක පාඩමක්මට නොදැන්නට පන්තිය පිටුපස පඩිපෙළේ රැඳී විදුහල්පතිණිය අධීක්‍ෂණයකර තිබිණි.විදුහල්පතිණිය මගේ පාඩම් උගන්වන ක්‍රමය විශේෂ සහ    විශිෂ්ඨබව උප විදුහල්පතිණිය සමඟ සඳහන් කර තිබූ අතර ගතු කේලාම් කියන්නියන් ගෙන් පරිස්සම් වියයුතු බව උපවිදුහල්පතිණිය මට දැනුම් දුන්නාය​.

මල්ලිකා එම් බණ්ඩාර​

15.08. 2020

 

 

No comments:

Post a Comment