Thursday, 13 August 2020

රාජ සභිකයෝ ​

 

ගත පිරුවට උතුරු සළු ඇත කරේලා

නළලේ හිනා කිණිසිය ඉණතුරේලා

දෙව්වත් සුදුවේද කපුටන් කිරේලා

හිටියා රජ ගෙවල්වල අන්දරේලා

 

නැති බැරි එකා ළඟ පන්සිල්පද කිව්වෝ

හැත්තෑ දෙවසක්ම රට යමපුර යැව්වෝ

උන්ටය​  කිරුළු අපි හිඟමනටම යැව්වෝ

ඉලපත ගනිව් මෙවරත් ආවොත් ඔව්වෝ

 

කටු මැටි බිත්තියේ එල්ලා බක මුහුණු

ඉච්ඡා බසින් රාගෙන් මත්වෙන ගැහැණු

සොච්චම් දෙයක් දී කතිරෙට වහවැටුණු 

කුණු පොල් වැනිය රොත්තම හිස කෙස් පැහුණු

 

පරපුරු තුනක් රවටා ගෙන දිනුවෙම්මා

පාලක පෙළේ හත් යුගයක් තැනුවෙම්මා

දෑසම ඇතත් කිසි වරදක් නොදනෙම්මා

උන් රජ කරපු අපි මහ මඟ තනිවෙම්මා

 

ධන බල ඉසුරු ඇති කොට දණ නොනමාය​

නොතරම් කම් කළත් විළිබිය නැතුවාය

භීතිය වපුරලා යහතින් වැජඹේය

නීතිය උන් අතය අපි දඟ ගෙටයාය

 

මල්ලිකා එම් බණ්ඩාර​ - 4.08. 2020

No comments:

Post a Comment