Thursday, 21 October 2021

සළිත දිය කඳුර

ඈත​ මරු කතර මැද 

මිහිමඬළ දැදුරු කර​

වාලුකාවෙන් උපන්

නීල දිය දහර පිරි

විලක් විය​ පැන් බෙදන​ 

 

හුදකලා කෙම් බිමේ

තුරුලතා සෙවන යට

මඳ පවන විඳ නිබඳ​

පවස සරැතැස නිවන​

 ගිමන  සනහන සොඳින​

ගමන සතපන  නිමෙස​

 

නන් දනා හෙළා ගිය​

අබිළිදෑ කුණු කසළ​ 

කිළිටි සඟවා ගතිමි ​

හොවා ළෙහි පතුළේම

ජීරණය වන​ පිණිස නොකැළතී

යනෙන උන් නැති සඳ​

ඒ පාළු ඉසව්වේ

 

කතර තරණය කරන​

ගැල් සාත්තුවක හිඳි

කොළු කුරුට්ටෝ රෑන​

නිසළ දිය සසළ කර​

ගැසුවෝය ගල් අහුරු

පෑදි දිය බොර වෙන්න​.

 

දැහැන් ගත වී වින්ද

සමාධිය බිඳ වැටිණි

වැලි කුණාටුවක් සේ

මහත් සංවේගයෙන්

ර​ළ පතර සළිත විණි

 

පාරවන සිත​ තනන​

වැහි කුණාටුවක් විත්

මල් වැස්ස වහින තුරු

දැහැන් ගත වෙමි යළිත්

 

මල්ලිකා එම් බණ් ඩාර​

21. 10. 2021


Wednesday, 6 October 2021

හමුවීමක්

 


 

මම මගෙ මහ ගෙදර තනියම හිඳින කොට

නාවර පෙරුන නුඹෙ මුව සිහිවුණා මට

නුඹ හැදු කෝම්පිට්ටුව  අඹ සෙවන යට

තාමත් හිඳිමි මා හිත තුළ නිදන් කොට

මල්ලිකා එම් බණ්ඩාර

 

5.04.2021

 

අහිමි කිරුළු

 

මුදු කිරණා සදිසි මනා

වත පුරසඳ පළුවක්දෝ

අත පොවනා මානෙක නැති

දුර දිළෙනා තරුවක්දෝ

 

නීල උපුල චල නයනා

මල්සර දුනු දිය ඇද්දෝ

අප මෙදිනා කල් බැන්ඳේ

දුර නොයනා ගමනක්දෝ

 

මෙතුවක් කල් ලුහුබැන්ඳේ

මිරිඟුව පසුපස වද්දෝ

පෙරුම්පුරා රැක ගත්තේ

මට හිමි නැති කිරුළක්දෝ

 

මහමෙර සුළඟේ වෙළුනා

අඹ දළුවක් සේ දැනුණා

මිහිකත දෙදරා වැටුණා

මහ වරුසා ඇද හැලුණා

 

මල්ලිකා එම් බණ්ඩාර

24.04. 2009

 

අතරමඟ



ගිමන නිවන්නට සෙවනක් පතනා

පවස නිවන දිය දෝතක් සොයනා

නිරුදක වැලි කතරේ 

ඉම නොපෙනෙන අඳුරේ

තරු පහනක් වී රැකවරණය සැදුවා


හබල කැඩී ගිය රුවල බිඳී ගිය 

රළු ගල් පර අතරේ ඒ මේ අත වැනෙනා

මා තනිවූ සඳ අබලන් නෞකාවේ

පිළිසරණක් විණි සවියක්වී නිබඳා 


රළ පෙළ වැළපෙන හඬට සවන් දෙන 

මා සිත දළුලයි බිය සැක අපමණ

මඟ තොට නොපෙනෙන පාළු අඩවියක

අත්වැල බිඳිලා මා නෙත අඳවිණ 


ඉම බිම නොපෙනෙන මහ සිඳු පතුළේ

ගිනිගෙන දැවෙනා සුන්බුන් අතරේ

ගිළී නොයන්නට තොටුපොළ වූ ඔබ

වෙරළ කොනේ  මා තනියම හැරදා 


මල්ලිකා එම් බණ්ඩාර

5. 05. 1998

සුභ ගමන්!

 


පුන් පෝය ගෙවී ගිය නවම් මහ දොර ගාව

හඳ කිරණ ඉහිරිලා අහස් ගැබ පුරහාම

දිග හැරුණ දියඹ මත රළපතර බිඳුනාම

ලොව කෙතෙක් සුන්දරද සිතමි මම හැමදාම​ ​

 

රාසිගෙ අව්වැල්ල තැවරිලා දුටුවාම​​

කරවටක්  කිමිද සිතිජය ඉමේ ගිළුනාම​ ​

මිහිමඬළ සිප වැළඳ සුභ ගමන් කීවාම

සමුදුනිමි හෙට යළිත් දකින්නට අද සේම

 

මල්ලිකා එම් බණ්ඩාර

 05. 04. 2021

සකිසඳිනේ

 


සපු කැකුළක්සේ පිණි මල්වැස්සේ

පූදින්නසුවඳ දීහිමිදිරියේ

වැහි වළාකුළක් සේ කඳු මුදුනේ

දැවටිළා ඉන්නමා සකිසඳිනේ

 

හිරු මල පරවී නටුවෙන් ගිළිහී

බොඳ වෙලා සිතිජ ඉම යයි  සැඟවී

නෙත හඬා වැටෙන පැතුමක් තනිවී

හිතකොනේ සැඟවිලා ඇත මැළවී

 

අතුපතර මුවාවී ඉකිබිඳිනා

කෝකිලාවියේ ගී තණු ගොතනා

කිරි කවඩි සිනා දෝතක් පුරවා

හමුවෙන්න හෙටත් මා හිතනළවා

 

මල්ලිකා එම් බණ්ඩාර

9.04. 2021

හිදැස

 

නුඹ හිඳී මා අසල හිඳගෙන

ඒත් අප නුදුරක නොවේ

ගව් ගණන් හිත පියාඹා ගොස්

නිසල කය පමණක් හිඳී

 

සුසුම් වැල් බිඳ වැටෙන මානේ

පිය තෙපුල් ගොළුවී මිඳී

හිතේ හිරිගඩු පිපෙන සිහිතල

මිසක උණුසුම නැත රැඳී

 

අස් ලොමක හිඩසකින් වෙන්වුණ

අඩවියක අපි තනිවෙලා

දැත් පටලා පිය නඟන්නෙමු

බඹ ලොවක වල්මත් වෙලා

 

මිළින වී ගිය දැස නිසලය

අලස සිතිවිලි දියවෙලා

දහක් දියඇද කළස බිඳුනා 

නියං කාලය එළඹිලා

 

මල්ලිකා එම් බණ්ඩාර

09. 05. 2021