Wednesday, 6 October 2021

අහිමි කිරුළු

 

මුදු කිරණා සදිසි මනා

වත පුරසඳ පළුවක්දෝ

අත පොවනා මානෙක නැති

දුර දිළෙනා තරුවක්දෝ

 

නීල උපුල චල නයනා

මල්සර දුනු දිය ඇද්දෝ

අප මෙදිනා කල් බැන්ඳේ

දුර නොයනා ගමනක්දෝ

 

මෙතුවක් කල් ලුහුබැන්ඳේ

මිරිඟුව පසුපස වද්දෝ

පෙරුම්පුරා රැක ගත්තේ

මට හිමි නැති කිරුළක්දෝ

 

මහමෙර සුළඟේ වෙළුනා

අඹ දළුවක් සේ දැනුණා

මිහිකත දෙදරා වැටුණා

මහ වරුසා ඇද හැලුණා

 

මල්ලිකා එම් බණ්ඩාර

24.04. 2009

 

No comments:

Post a Comment