Thursday, 12 January 2017

අත්තම්මාගේ උපහැරැණ



ඉස්සර වගේ නෙවෙයි දැන්
නිය පිටින් පුංචි පාරක් වුණත්
වැදුණොතින්
රිදෙන්නේ මගෙ හිතට​

පරෙස්සම් වෙයල්ලා!
කියන්නට පෙර යමක්,
ආල වට්ටම් දමා හැරැහෙද්දි
අර අදින්නේ, තම්ප​ලා ගහටද​
තණ පඳුරටද කියා
මගෙ හිතට දැනෙනවා

කෙනෙකුගේ ඉස්කෙළිය
දුටු මනත​ දුරතියා
එන එකා මිනිහාද නොමිනිහද කියන වග​.
මගේ හිත කියනවා

ඉහේ කෙස් සුදු වුණේ
දැනුම් තේරුම් ඇතුව​
ජීවිතේ බර සාර දැන හැඳින
පත දෙපත ලහ සරිව​
කිරා මැන බලා මිස​,
කැප්පෙටියා කොළ ඉදෙන්නා වගේ
අකලට නම් නොවේ

සිද්ද වෙන හැම දේම
දැක දැකත් නුදුටුවා සේ
දැන දැනත් නොදන්නාසේ
කරබාන​ හිටියේම​,
මගේ ඇස්පනා පිට
ලැජ්ජාව දැනේයයි නුඹලාට​,
දුක හිතුන නිසා මිස​
නොතේරුම් කමට හෙමනං නෙවෙයි

ගැටපද අටුවා, ටිප්පණි ටීකා නැතත්
ගුණ නුවණ සුවඳ විඳ​ ජීවිතේ හදාලෙමි මං
ඒ නිසා,
ලෝගු කරපටි තොප්පි නැතිවුණත්
ලගු කරන්නට එපා බොලා මං

මල්ලිකා එම්. බණ්ඩාර

12.01.2017

No comments:

Post a Comment