Sunday, 22 January 2017

පොද වැස්සක්


පොල්වතු රබර්වතු ගෙවතු පීරා
එකතු කර පළිඟු දිය සීරා
රිදී දෝනාව වන් දෑල මැද​
රන් කරල් පීදෙන ලියැදි හරහා
සුළඟට පොර බදන​
සුදු රැළි ගවුම, නිල් කරපටිය
දමනය කරමින්ම සැරිසරමි මම​
පුරුද්දට වෙනදා මෙන්

ඉඩෝරෙට​ කොළ හැළුන රබර්වතු යායම​ 
ඉපල් බේරුණ දෑත් නඟා හිස් අහසට​
හිරිකඩක් එනතුරා මඟබලා ඉන්නවා.
ඒ පාළු රබර් ගස් යට 
සට පට හඬින් පිපිරී 
බිම වැටෙන​ රබර් ඇට​ 
මතකයෙන් ඇහිඳිමි මම.​

සිහින් සිරි-සිරි පොදක් විලසින්
ගලා ආ දුරකතනයෙන්
මා පුතුගෙ ළබැඳි පිය තෙපුල්
කර දැවුණු පොළොව මත පතිත විණි  

දසක ගණනක් ඈත​, දසදහස් ගව් ඈත​
මතක නිම්නයේ හිඳ​
පාළු නුඹ ගැබ පුරා වැහි වළා පිරිවරා
කඩා  වැටුණා කඳුළු වැස්සක් 
සැඩ පහරක්ව​ 
පීනන්න බැරිතරම් මට​

මල්ලිකා එම්. බණ්ඩාර​
22.01.2017

No comments:

Post a Comment