Wednesday, 18 January 2017

ඉඩෝරය​


උනා සළු පිළි හරිත​
දිදී දස වධ මඬිත​
කපා අත් පා සිඳිත
උපා නොමදත් නියත​
තොපිම මා ගෙල සිඳිත​

මා ළමැද කිරි කඳුළු ඉනූ උල්පත් කඳුරු
සින්ඳවූ නුඹලාම​
හඬති වැළපෙති තියති දෙස් දෙවොල්
නඟා දෝතම පාළු ගුවනතට

වියළි පරඬලා වන් ගතට සෙවනක් දෙන්න
තුරු පතර වන ගුල්ම තවත් ඉතිරිවී නැත
වළා රැල්ළක් වෙලා කරටි මුදුනට කතර
ගලා නොඇදෙති වළාහක සේළ ​තෙතබරිත​

සා පිපාසා නිවාගත නොහී​ ඉඩෝරෙට
හිඳී ගිය ගත රුහිරු පැළ ගොයම​ හූල්ලයි
​නියර මත පා සිඹින පිදුරු ඊතණ පඳුරු 
යළිත් නෙත පීදෙයිද නීල විල්ලුද පැදුරු?

ඉතින්, සිප වැළඳ ගනිල්ලා
පිය​ සුතන'ඹුන් නුඹලාගෙ
අන්තීම හුස්ම පොද අරන්
මේ වාලුකාවේම​ මියැදෙන්න මා සමඟ​
​ඒ ජීව වායුවෙන් හිස් අහස පුරවන්න​


මල්ලිකා එම්. බණ්ඩාර

18.01.2017​


No comments:

Post a Comment