Sunday, 23 April 2017

පිළිබිඹුව

පිළිබිඹුව - පොතකින් පිටු කීපයක් - 2018

පේරාදෙණි නිම්නය හරහා අලසව, නිසලව ගලායන මහවැලි ගංගාව මෙන් මගේ සිතුවිලි උදාසීනව සිත් ගං පතුලට ඇලීගෙන රැඳී සිටියි. එය එකාකාරීය​. හැමදාම දකින දේ එක වගේය​. බැල්කැනියට ගියවිට නිතර දෙවේලේ පෙනුනේ එකම දසුන්‍ ​ය. ගලහ පාරේ එහාටත් මෙහාටත් යන මිනිස් රූ අතර මා දන්නා බොහෝදෙනා සිටිති. අතිනත වෙළීගෙන පියමං කරන පෙම්වතුන් අතර​ පවා ඇත්තේ සෙල්පිළිම වල දක්නට හැකි අන්දමේ  සිත් පිත් නැති බවකි. පාරෙන් මෙහා පටු කුඹුරු යායට යාව ඇති වෙල පිල්ලෑවෙහි දිගේලි කරන ලද හරක් බානක් තණ කොළ උළා කන දෙස මොහොතක් බලාගෙන සිටියෙමි. විය ගහට බැඳ නැති නිසා උන් දෙන්නා නිදහසේ ඒ කාරිය කරගෙන යයි. බරපතලක් වගකීමක් ඇත්තේම නැත. ඉනුත් මෙහා ගඩොලින් බැඳ හුණු පිරියම් කරන ලද සොහොන් කොත් කීපයක් ප්‍රථම වතාවට මගේ ඇස ගැටුණේ මේ දැන්ය​. කාගෙ කවුරුන්ගේදැයි නොදන්නාමුත් සොහොන්කොත් දැකීම මතුළ කිසියම් ශොකී බවක් දනවන්නට සමත් විය. එය ශෝකයටත් වඩා කලකිරීමක් යයි මම නිගමනය කරමි. මේ දසුන එක අතකින් ජීවිතයේ නිශ්ඵලබව​, අස්ථිර බව​ හෝ ශුන්‍යබව පසක් කරන්නක් විය​.

බොහෝ සරසවි සිසුන් කලකිරෙන්නේ මේ පරිසරය සමඟ සමහන් විය නොහැකි නිසා නොවේදැයි මට සිතෙයි. ඒ සිතුවිල්ල පිටුපස කාගේදෝ දාර්ශනික සංකල්පයක් පදනම්වී තිබුණද එය හරියටම කාගේදැයි සිහිපත් වෙන්නේ නැත​. දළ අදහස මෙවැන්නකි. " නොනැසී රැකුනේ වෙනස්වන පරිසරයට සුදුසු ලෙස අනුවර්තනයවූ ජීවී විශේෂ පමණි". පරිසරයට අනුවර්තනය නොවනතාක් කල් ජීවත්වීමේ අභියෝග අප කරා සේන්දු වෙයි. එය අරගලයකි. පොර බැදුමකි.

මගේ හිත පිස්සිගේ පලා මල්ලටත් අන්තය​. ඕනෑදේත් එපාදේත් කඳු බවට පත් වෙමින් එහි  රැඳී සිටියි. ගොම්මන් වෙලාවට අදෘශ්‍යමාන ආත්ම ඇවිදිනවා යයි විශ්වාසයක් ජනවහරේ පවතී. මේසා විශාල නේවාසිකාගාරයේ මහා පාළුවක් තනිකමක් අරක්ගෙන ඇති හවස් කාලයට නානා විධ මතක මගේ හිතට ගොඩ වැදෙන්නෙත් ඒ ආත්ම ඇවිදින්නාක් මෙනි. රූම්මේට් කෙනෙක් හිටියාට එයා දකින්න ලැබෙන්නෙත් හාවා හඳ දකින රටාවටය​. 

මගේ රූම්මේට් නිපුණී කාමරයට එන්නේ බොහෝ රෑ බෝවීය​. නිපුණිත් අසංගත්  ගාල නොලිහා දක්කන ගැල් සාත්තුකාරයින් වගේය​, ඔවුන් දෙන්නාත් ලයිබ්‍රරියටවී පාඩම් කරන්නට යයි කියා යනමුත් බොහෝ විට ඔවුන් එකිනෙකාට කොඳුරමින් සිටියා මිස​ පාඩම් කළාම නොවේ. අසංගගෙ උරහිසට උරහිස ස්පර්ශ වනසේ ඔහු දෙසට බරව වාඩිවන නිපුනී අසංගගේ අත'ඟිලි සෙමෙන් පිරිමදියි. නැත්නම් වරින් වර අත'ඟිලි මිරිකමින් අනුරාගී නෙතින් ඔහු දෙස බලා හිඳියි. ​ඔවුන් කාලය ගෙවා දමන්නේ එකිනෙකාගේ සිරුරේ උණුසුමට​ ලොල්ව ඇතිවන ඇලීම් හා බැඳීම් තීව්‍ර වන ආකාරයෙනි. වෙනත් විදියකින් කීවොත් ඕනෑම පෙම්පතුන් යුවළක් හැසිරෙන ආකාරයෙනි. අසංගගේත් නිපුණීගේත් ඇසුර පටන් ගත් මුල් දිනවල මමද ඔවුන් සමග ලයිබ්‍රරියට ගියෙමි. පසු කාලයේ පෙම්වතුන් යුවලකට ඔවුන්ගේ පෞද්ගලිකත්වය, ප්‍රේමාර්ද්‍ර හැගීම් නිදහසේ ප්‍රකාශ කරගන්නට ඉඩ දියයුතු යයි මට පසක් විය. හිතාමතා නොවුවත් ඔවුන් සමඟ වාඩිවී සිටීම නොහොබිනා කමකැයි මට සිතේ.

"ඔයා මොකද “කරත්ත පාර බ්ලොක් කරන්නේ” යි යමෙකු අසන්නට පෙර මම තීරණය කළෙමි.
ඒ අනුව ලෙක්චර්ස් ඉවරවූ සැනින් අවශ්‍ය පොතක් සොයා ගැනීමට ලයිබ්‍රරියට ගොස් හැකි ඉක්මණින් හොස්ටල් එකට එන්නට පුරුදු වීමි. හුදකලා කාමරය මගේ පොත පතේ වැඩ කර ගැනීමට පුළුවන් වන පරිදි නිස්කලංක විය​. මම ඒ පාළුවට, නිස්කලංක බවට බෙහෙවින් ප්‍රිය කළෙමි.
කඳුකරයේ සැඳෑ සීතලය බෙහෙවින් සුවදායකය​. බැල්කනියේ වේවැල් පුටුවේ දිගෑදී ඔහේ ඉන්නට ඇත්නම් යයි සිතුන මෙවන් සවස් කාල වලදී මා අසීමිත නිදහසක් බුක්ති වින්දෙමි. දැවැන්ත පාම් (palm) ගස් වල සුවිසල් බඳ ප්‍රතාපවත් මුර සෙබළ මුළක්සේ රාමනාදන් ශලාවට පිවිසෙන මාර්ගයේ වම් පසින් නැඟී සිටියි. ශාලාවේ ප්‍රධන ගේට්ටූවට එන්නට පෙර, පිපුණ මලින් පිරුණ​ අරලිය  මල් වැටිය පරිසරයට​ අපූරු සුන්දරත්වයක් මෙන්ම ප්‍රව්ඪ බවක් ආරෝපණයකර ඇත​. අරලිය ගස් පේලියට යාබද තරමක වැඩුණු නාගස් දෙකක් තිබේ. බක් මාසයේ මේ ගස් දෙකේ අතුපතර පිපුණ නා මලින් මුළු මහත් රාමනාදන් භූමියම සුවඳවත් වෙයි. එවන් සැඳෑ කාලයන්හිදී කිසියම් පූජණීය බවකින් සිත් පිරීයන බවක් දැනෙයි. නාමල් සුවඳ තවරාගත් සැන්දෑවතේ කඳු වැටි හරහා හමායන සීතල සුළං පොදක් මුහුණේ තැවැරෙද්දී අමුතුම ප්‍රබෝදයකින් සිත පිනා යයි.

මේ පරිසරය තුළ තනිවෙන මගේ සිත, ඊට බෙහෙවින් ආකර්ශනය වෙන්නටත්, දොඩමලු වෙන්නටත් නවතාවයකින් පුනරාවර්ජනය වෙන්නටත් තතනයි. ඇතැම් විට අල්තාරය ඉදිරියේ ඔරසන් කියන සැදැහැවතියක ගේ පව් කමා කිරීමේ පාපොච්චාරණයක්මෙන්,මගේ සිත සිතිවිලි මුදාහරින්නට වෙර දරයි. එක් අතකින් ගැහැණියක හෝ මිනිසෙකු ගේ ආත්මාභිමානය හමුවේ ලාභ අපේක්‍ෂාව අත් හරින්නට සූදානම් වීම අරුමයක් ද​? දීර්ග කාලයක් තිස්සේ මනසින් කළ වාද-විවාද තර්ක-විතර්ක වලින් පසු මගේ හිත ගලක් මෙන් තද කර ගන්නට මට ඕනෑවිය​. එක් අතකින් මවිසින් නිම කළ යුතු පැහැර හැරිය නොහැකි මෙහෙවරක් තිබේ. ඒ මගේ පවුල වෙනුවෙනි. ඒ අඳේට කුඹුරු කොටන අපුච්චා ප්‍රවේණිදාස භාවයෙන් මුදවා ගැනීමේත්,  තැන් තැන් වල කුලී කුරක්කමෙන් ජීවත් වෙන්න්ට පොර බදන අම්මත්, හය හතර නොදන්නා නංගීගේත් අනාගතය  සඳහාය​.

මේ හේතූන් නිසා මට මගේ ජීවිතය යනු අප්‍රමාණ වටිනාකමක් ඇති අසිරිමත් දෙයක් යයි සිතන්නට කුඩා කල පටන් හුරුවී ඇත්තෙමි. මනුස්ස ජීවිතයක්‍ යනු කොයිතරම් දුර්ලභ දෙයක්ද? මට අප්‍රමාණ ප්‍රර්ථනා නැත​. ඒ නිසාම මගේ හිත ප්‍රීතිමත්ය. සැහැල්ලුය​. ඒ සරල බව බිඳවැටේයයි මම බෙහෙවින් පරිස්සම් වීමි. ජීවිතය අර්ථ ශුන්‍ය දෙයකැයි සලකනවාට වඩා එය ආශිර්වාදයක් කොට පිළිගැනීම කොයිතරම් වටිනා දෙයක්දයි​ මට සිතේ. කෙසේ වුවද පණ්ඩිතයින්ගේ හා දේශනාකාරයින්ගේ ප්‍රලාප වලින් සිත දූෂණය නොකර තබා ගන්නට මම​ වෙර දරමි.

අන්තිම රැස් බිඳත් හන්තාන කඳු මුදුන් මත තවරමින් මළ හිරු අනික් කඳු වලල්ලෙන් මුවාවී යන්නට ඇතැයි මට දැනුනේ මග දෙපස වීදි ලාම්පු දැල්වෙන්නට පටන් ගත්තාටත් පසුව​ය​. හැම හවසම වගේ අදත්, නේවාසික ශිෂ්‍යයන් රංචු ගැසී ගලහ පාර දිගේ යන සුපුරුදු දර්ශනය එලෙසින්ම දැකිය හැකිය​. ඔවුන් කතා කරන්නේ ප්‍රමාණය ඉක්මවූ උස් හඬිණි. ගැහැණු නේවාසිකාගාර අසලින් යන විට නේවාසික ශිෂ්‍යයන් ගේ හඬ උස් වෙන බව ශිෂ්‍යාවෝ කියති. බොහෝවිට ඔවුන් ඒ දෛනික ගමන යොදා ගන්නේම, රාමනාදන් ශාලාවේ කෙල්ලන්ට පෙනෙන්නට යයි, අපේ කාමර පේළියේ සිටින සීනීයර් ගර්ල්ස්ලා, සිනාසෙමින් සඳහන් කරනු මා අසා ඇත්තෙමි.

මෙලෙස සැඳෑවතේ ඇවිදගෙන යන ගමන් වලට රාමනාදන් ශාලාවෙන් කෙරෙන සමච්චල්ද, ඒවාට  ප්‍රතිචාරද නොඅඩුව ලැබෙයි. විශේෂයෙන් හිල්ඩා ඔබේසේකර ශාලාවේ සහ ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසික ශිෂ්‍යයන්, පුරුද්දක් ලෙස පවත්වාගෙන යන මෙවැනි පෙරළිලි අනෙකුත් ශිෂ්‍ය නේවාසිකාගාර වල සිදුවන්නේ මදක් අඩුවෙනි. එහෙත් ශිෂ්‍යාවන් ගේ නේවාසිකාගාර වල එවැනි පෙරළීම් සිදුවන්නේ කලාතුරකින්වුවද​, රාමනාදන් ශාලාවට ආවේණික හුදකලා පරිසරය බිඳවැටෙන, කැළඹෙන අවස්ථාද විරල නොවේ.

ඇතම්විට ගම්පොළ පාරේ යන මිනිසුන් ඉලක්ක කර, කැඩපතක් හිරුඑළියට හරවා එහි පරාවර්තනය මඟින්, පාරේ යන එන්නන් ගේ අවධානය යොමු කර ගෙන, මඟීන්ට හූ කියන ශිෂ්‍යාවන් කණ්ඩායමක් සිටින බව මගේ මතකයට නැඟිනි.  සයිබීරියාවේ, එනම් රාමනාදන් ශාලාවේ එහා කෙලවරේ ගඟ පැත්තට මුහුණලා ඇති කාමර වල​  පදිංචිකාරියන් ය​.

රංචු ගැසී ගලහ පාර දිගේ යන සිසුන්ට කෙනෙහිලි කිරීමට අවශ්‍යවූ විට, රෝල් කළ කාඩ් බෝඩ් එකක් නැත්නම් ෆයිල් කවරයක් කටට තියා පාරේ යන අයට හූ කියන්නට සමහර​ ශිෂ්‍යාවෝ බලා සිටිති. මානෙල් එවැනියන් ගෙන්  ප්‍රධාන පෙළේ එකියකි. කැම්පස් එකේ ඇයට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටියේ නැත​. එනිසා ඇය හැසිරුණේ බෙහෙවින් ස්වාධීන අයෙකු වශයෙනි.

"ඕයි හිල්ඩා කොළ කුඩ්ඩෝ. මොකොද වේලිල්ලද...? " අසන ඈ කොල්ලන්ගේ කැම්පස් කාඩ් එකෙන්ද අමතන්නීය​.
එවන් විට​ කොල්ලන්ට ඌරු ජුවල්‍ ය​. හරියට වෙඩි වැදුන ඌරන් වගේ ප්‍රතිප්‍රහාරයට අර අදියි. ඔවුන් කෙල්ලන්ට  පිළිතුරු දීම සඳහා සිංහල ශබ්දකෝෂයේ  වර්ණවත්ම භාෂාව  පරිහරණය කරන්නට පටන් ගනී.

මානෙල් කෙටි තාප්පයට මුවාවී පුනීලයක්සේ සැකසූ ශබ්ද විකාශනයෙන් කෑගසයි.
සිසු නඩය දන්ඩෙන් පහර ලත් නයින් මෙන් කිපෙයි. රංචුවම පාර අයිනේ නැවැතෙයි. එතැන් සිට පැයක් හමාරක් විතර මුළු ​ රාමනාදන් ගාලාවටම ඇසෙනසේ බැණ වදින්නට පටන් ගනියි. සමහර බැනුම් උපන්තේකට අසා නැති, අම්මා මුත්තා කාලෙකවත් නොඇසූ විරූ, දෙන්නෙකුට මූණ බලා ගෙන ඇසිය නොහැකිතරම් අසැබි වචනය. ඒත් ඉතින් ඔහේ අසා සිටින්නට සිද්දවෙනවාමය​.

"උඹෙ ඉස රුදාව අඩුවුණාද​?"
මානෙල් ගේ යෙහෙළියක් බැල්කැණියට එබී බලා අසන්නීය​.
මානෙල් තක්කඩි හිනාවකින් මිතුරියට පිළිතුරු දෙන්නීය​.
" ඒක මගෙ විනෝදාංසෙ බං".
'හෙට ලෙක්චර්ස් යන්න හම්බ​ වෙන්නෙ නෑ, හිල්ඩා එක ළඟින්. අපිට පෙරළයි."
“ඒක උන් හැමදාම කරන එකනෙ”.
"මෙහෙම ඉල්ලා ගෙන කෑමක්නම් මම දැකලම නෑ"
"එතකොට අපි එතැනින් යනකොට ඔය යක්කු අපිට කියන ඒවා? මහ ජරා කතා කියනවා උන්. මටත් කියල තියෙනවා".
“ඇහුන්නෑ වගේ යන්න ඕනෙ ඒ වෙලාවට​”.
“ඇහෙන්නෙ නැති වෙන්නෙ කොහොමද​? නම කියල කෑ ගහන කොට​... හ්ම්ම්...”
"ටික දවසක් කෑගහයි. මුණට හම්බ වුණාම ඒ අයටම ලැජ්ජා හිතෙයි. 
ලැජ්ජාවට වෙන්ට ඇති අර...​ අර පැරපැට් එකේ හැංගිලා, එහෙම නැත්නම් සරමෙන් හරි ටවල් එකෙන් හරි ඔළුව හංගගෙන උන් කෑගහන්නෙ”.
"දැන් ඉතින් හැම හවසකම ඔය සෙල්ලම තියෙයි"
මානෙල්ගේ මිතුරිය කීවාය​. 

මානෙල් ගේ විනෝදාංශය නිසා තවත් සතියක් විතර, හැම හවසකම යන්තම් අඳුර වැටෙද්දී, කොලු හූව ඇසෙන්නට විය​. ඊට පිළිතුරු වශයෙන් දෙවන තුන්වන දින වල සිට ගලහ පාර පැත්තට තිබෙන කාමරවල ශිෂ්‍යාවෝ රංචු වශයෙන් එක්ව කොල්ලන්ට හූ කියන්ටත්, ඔවුන් ප්‍රකෝප කරවන​ නොයෙකුත් "ස්ලෝගන්" පාවිච්චි කරන්නටත් වුහ​. කොලු රැල​ අපේ නේවාසිකාගාරයට කුණු බැණුම් වලින් බැන වැදී හොඳටම අඳුරු වැටුණ පසු ඔවුන් ගේ නේවාසිකාගාර බලා විසිර යන්නට විය. ඔවුන් බැනවැදුනේ නේවාසික ශිෂ්‍යාවන්ට පමණක් නොවේ. එවක ශාලාධිපතිණිය​, උප ශාලාධිපතිණිය ඇතුළු හූවට කිසිම සම්බන්ධයක් නැති උදවියටත් එක්කය​. 

සමහර හැන්දෑ කාල​වල හිස් බැල්කැනියටවී මේ සියළු සංසිද්ධීන් දැක අසා, සවස් යාමය ගත කිරීමට මම පුරුදුව සිටියෙමි. හන්තාන කඳු වැටියට ඉහලින් නැඟ එන ළසඳ පත පුරසඳක්ව මෝරා එන තෙක් මම ඔහේ බලා හිඳිමි. මගේ ජීවිතය පුරා පවුරු පදනම් බැඳගෙන තිබූ සිතිවිලි සමුදායක් විසින් මා සිරගත කර ඇත​. කටුව තුළට වී සිටීමට ප්‍රිය කරන ගොළුබෙල්ලෙකු මෙන් අලසවූත් කුසීතවූත් ජීවිතයකට මා කොටුවී සිටියා යැයි මම සිතමි. ඒ නිසා කාලය ගෙවී ගියේ හැඟීම් දැනීම් වලින් තොරවය​. මේ අයුරින් පුර සඳ අවපසට හැරී ක්‍රමයෙන් ගෙවී, බියකරු අමාවක අඳුරේ ගැලී කොයිතරම් කාලයක් ගෙවී ගියාදැයි නිනවක් නැත​. 

කටු සටහනක් ඇඳ හදිසියේ පින්තාරු කරන ලද පෙතිකඩක් මෙන් ප්‍රේමය හෝ ආලය බලහත්කාරයෙන් කෙනෙකුගේ සිතක් තුළට රිංගවිය හැකිද? සිතුවමකට නිශ්චිත තේමාවක් තිබිය යුතුය​. තේමාව​ සුදුසු පසුබිමක් මත කටු සිතියමක් බවට පත් කර, නිර්මිත විය යුතුය​. කිසිවකු විසින් අඳින ලද චිත්‍රයක් මා අභියසට පිළිපන් නමුත්, ජීවිතයේ අරුත එම බොඳවූ චිත්‍රයේ නැතැයි මට සිතුණි. 

අතපත් මහඟු යමක් මවිසින් අත් හරිනලදැයි පුංචි මනස්තාපයක සිහින් ඉකිබිඳුමක් මගේ සිතේ කොනක ඉඳහිට මට ඇහෙන්නට විය​. අකල් මරණයක සෝක ප්‍රකාශිත ගීතයක් මෙන් ඒ පාපොච්චාරණය ගැයෙන සෑම මොහොතකම ​ මා එතරම්ම සැහැසි වූයේ මන්දැයි සිතන්නට විමි. මවිසින් නොවියන ලද නමුත්, තනි පාර්ශවයක් විසින් පන්නම් රටා දැමූ කලාල පැදුරක් මෙන්, මා වට කර වියන ලද අනාගතයට පිවිසෙන්නට සැබැවින්ම මම බියපත්වීමි. යුවතියක​ ලෙස හෝ ගැහැණියක ලෙස කළ යුතු කළ හැකි බොහෝදේ ඇතත් මම හිත් පිත් ඇති මනුස්සයෙකු ලෙස හැසිරි යුතුය. කුමන හේතුවක් නිසා හෝ අනුන් අත නැටවෙන රූකඩයක් වීමට මම නොකැමැත්තෙමි. මගේ ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට මට ඇති අයිතිය ලඝුකොට සලකන්නට මා ඉඩ දිය යුතුද ​? සැබැවින්ම නැත​!

මම තීරණය කළේ ඒ විදියටයි. ඒත් සරසවියත් එහි ඇති මන මෝහණීය පරිසරයත් තුළ මට දැනුන හුදකලා බව විසින් මා හෙම්බත් කර දමනු ලැබිණි. බොහෝ දිනවල හවස් කාලයේ​ රාමනාදන් ශාලාවේ දෙවන මහලේ තිබූ අපේ කාමරය හිස්ව පවතී. ඒනිසා room-mate" ගෙන් තොර කාමරයෙහි අප්‍රමාණ නිදහසක් බුක්ති විඳින්නට මට ඉඩකඩ තිබුණි. 

අද​ හවස සෙනෙට් එක හරියෙදි භාතිය හමුවීම නිසාදෝ, ඒ මොහොතේ සිට​ මගේ සිත කැළඹීමකට පත් ඇතැයි මට දැනේ. සැබවින්ම​ භාතියගේ දෑස් වල ලියැවී තිබුණ​ ආයාචනාත්මක පණිවුඩය කියවීමට මම බිය වෙමි.
“මොකද තනියම​?”
“ඔයා මොකද තනියම​?”
“මේ මගෙ final year එකනෙ. ලයිබ්‍රරි ගියා”.
“මමත් එහෙමයි”.
භාතියගේ හඬ සංසුන්ය​. දෑස්වල තවමත් අර මීට අවුරුදු දෙකකට ඉහත ඒ හරියෙදිම හම්බ වෙලා කතා කරද්දී තිබුණ දිළිසීම නොමැකී තිබිණි. දුකක්දැයි නොදන්නා මනෝභාවයකින් මගේ හිත සසලවෙනු මට දැනිණි.

එදිනෙදා දේවල් කතා කරන ගමන් අපි ඇවිද ගෙන ආවෙමු. භාතිය​," Kissing Bend" එක ළඟදී, මොහොතක් නතරවීය. මමද නතරවුණේ අපේ කතාව අවසන් වෙන තුරුය​. ඒත් අපි කතාවකින් තොරව එකිනෙකා දෙස නිමේශයක් බලාසිටියෙමු. ඒ කොතෙක් වේලාවක් දැයි මම නොදනිමි. ප්‍රේමයද අනුරාගයද යි නොදත් හැඟීම් පෙළක් ඒ දෑස් වල ලියැවී මැකී යන්නට විය​.
"එහෙනං හෙට Arts Block එකේදී හම්බ වෙමු". 
ඔහු ළයාන්විතව සිනාසුනේය​.                                                                               මගේ මුහුණේ ද කෝල හිනාවක් ඇඳුනා වන්නට ඇත​. ඉන් පසු අප දෙදෙනාම සිනාසුනෙමු. 
අළුත් හඳුනා ගැනීමක් අළුත් පටන් ගැන්මක් ඒ පුංචි විරාමය තුළ  පිළිසිඳ ගත්තාදැයි මම නොදනිමි.
“මං යන්නම් මේධා" යි භාතිය මුදු හඬින් කීවේය​. 
හීන්වට හිනාවුණා මිස මම කිසිත් කීවේ නැත​. 

ඒ මහා පෞරුෂය හමුවේ මා තුළ සිටි යෞවන පෞරුෂය ඉටිරුවක් සේ දියවී යනබවක් මට දැනුණි. මගේ හිත් ඉස්ස්මත්තට කුළුගෙඩි පහරක් වැදුනා වැනි පිපිරීමක්, සසළ වීමක් ඇතිවී නැතිවී ගියේය​. ඒත් මම නොසැලී සිටිය යුතුයයි දැඩිව අදිටන් කරගතිමි. වරක ඉල්ලා  හඬන,  එහෙත් පලා යන්නට වෙර දරන ප්‍රේමය හමුවේ, පිරිමියෙකුට  වසඟ වීමට  ප්‍රේමණීය මිමිණීමක් වුවද ප්‍රමාණවත් විය හැකිය​. 

භාතිය​ එතැනින් ජේම්ස් පිරිස් ශාලාවට යාබදව​ Mars ශාලාවට​ නඟින පඩි පෙළ, දිගේ යන්නට හැරුණි. ඒකට කියන්නෙ ගහේ නඟිනවා කියලා. මද දුරක් ගිය මම භාතිය​, ගහේ නඟින්නට ඇතැයි සිතා ආපසු හැරී බැලුවෙමි. ඒ වන විටත් භාතිය  හිටිවනමය​.  ඒ මුහුණ පුරා පුළුල් සිනාවක් විසිරී තිබුණි. එකෙණෙහිම මගේ ඇතුළාන්තයේ සිහින් විදුලි කෙටීමක් ඇතිවී නැතිවී ගියේය​. විදුලි කෙටීම අකුණක පෙරනිමිත්තක් විය නොහැකිද ?  ඒ සිතිවිල්ලත් සමඟ මා තුළ ඇතිවූයේ අවිනිශ්චිත බියකි.

හනික ඉදිරිය බලාගෙන මම හැකිතරම් වේගයෙන් රාමනාදන් ශාලාව දෙසට​ ගමන ඉක්මන් කළෙමි.

එන අතරමඟදී මට ​ කැම්පස් එකේ අපේ පළවෙනි අවුරුද්දේ, භාතියත් මාත්​ අතර ඇතිවූ සංවාදය නැවතත් මෙනෙහි වෙන්නට විය​​. එදා අප අතර​ හුවමාරුවූ වචන මට තාමත් මතකය​. නේවාසිකාගාරය දක්වා එනතෙක්​, මම ඒ දෙබස ආවර්ජනය කළෙමි.
එදත් එයා ඇහුවේ අද අහපු ප්‍රශ්නයමය​.
“මොකද තනියම​?”
“මට නම් ටියුට් ක්ලාස් එකක් තිබුණා. ඔයා මොකද තනියම​?”
 “මං ඔයා එනකං බලාගෙන හිටියෙ...”
“ඇයි විජේවර්ධනේ ගියෙ නැද්ද​? වරුණීටත් බූට්ද​?”
“වරුණියි මායි හිච් වෙලා හිටියෙ නෑ”.
“ඒ වුණාට මං කැමති නෑ, මම නිසා තවත් ගර්ල් කෙනෙක් දුක්වෙනව දකින්න. එයා මගෙ "batch–mate!". අනික් අතට වරුණී හිතයි මං ඔයාව, එයාගෙන් උදුරාගත්තා කියලා. මං ඒකට කැමති නෑ”.
“වරුණිට මං කැමති නෑ මේධා ”.
“මමත් ඔයාට කැමති නෑ…Shirt මාරුකරන්නා වගේ girls ලා මාරු කරන අයට. අනික ලක්‍ෂපතියන් ගේ පුත්තු ගැන හිතන්ට​ අපිට දෑවැදි නෑ”. 
සැනෙකින්, මං කතා කරපු විදිය ටිකක් සැර වැඩියයි පසුතැවිල්ලක් සිත පහුරු ගාන්නට විය​.
“දෑවැදි? ... දෑවැදි මොකටද​? මං දෑවැදි ගැන ඇහුවෙ නෑ”.
භාතියගේ හඬ හැඟීම් බරය. මඳ​ක් නිශ්ශබ්දව සිටි භාතිය ශබ්දනඟා දෙවරක් අසුරු සන් කරන ගමන්, “මට මෙහෙම කරන කොට කෙල්ලො දහයක් හොයාගන්න පුළුවන්. ඒත් මට ඔයා ගැන තියෙන්නෙ මහ පුදුමාකාර හැඟීමක්” යි කීවේය.​

“කැම්පස් එකෙන් පිටවුණාම සුදුසු කෙනා හම්බවුණොත් මං ඒ ගැන හිතනවා. එතෙක් තනියම”.​ 
එදා මම එහෙම කීවා මතකය​.
“මං කාලයක් ඔයා ගැන බලාගෙන හිටියා. මට වචනයක් දෙන්න​”. භාතිය අවසන් වරට එහෙම කීව​.
එදාත් මම නිහඬව ගමන ඉක්මන් කළෙමි.

වරුණීත් භාතියත් අතර එවැනි  සම්බන්ධයක් තිබුණා දැයි මම නොදනිමි. භාතිය මා ගැන උනන්දු වෙනවිට, කවුදෝ මට එවැනි සම්බන්ධයක් ඔවුන් අතර තිබුණා යයි කී බව මට මතකය​. තිබුණා යයි කීවා පමණි. එවැන්නක් තිබුණා නම් පහුගිය අවුරුදු දෙක පුරාම,​ පැවතිදේ  නැවත පණ පෙවුණේ නැත. භාතිය ප්‍රතික්‍ෂේප කරන්නට මා පෙළඹුණේ ඔහු නැවත වරුණිටම ලැබෙන පිණිසය​. එහෙත් පසුගිය අවුරුදු දෙක තුළ වරුණී මා දුටු කෙනෙහි ඉවත බලාගත්තාය​. නැතිනම් නුදුටුව බව ඇඟෙව්වාය​. ඇගේ කිට්ටු මිතුරියෝ මා දකින විට මා දෙස​ රවා බැලූහ​. මම සිනාසෙන්නට උත්සාහ කළත් ඔවුන් මා වරුණීගේ පෙම්වතා පැහැර ගත් සැතිරිය ලෙස සැලකූහ​. දැන් අප තිදෙනාටම සරසවියෙන් සමුගන්නට කාලය එළඹ ඇත. කෙසේ හෝ අදවන විටත් අප තිදෙනාම තනිව සිටිමු.

බොහෝ වේලාවක් සිහින ලෝකයක අතරමංව සිටි මම නියත වශයෙන්ම මේ පාවෙන ලෝකයෙන් මිදිය යුතු බවට දැඩිව අදිටන් කරගතිමි. රළු පොරෝණයක් මෙන් අවට පරිසරය, ගහ කොළ මෙන්ම නේවාසිකාගාරයද අඩ අඳුර විසින් වසාගන්නට තතනයි.

සුවපහසු ඉරියව්වෙන් වැතිරී සිටි වේවැල් පුටුවෙන් දැන්වත් මෑත් විය යුතුය. පුටුවෙන් නැඟිටින ගමන් අඩ​ අඳුර වෙත මම නෙත් යොමමි. රාමනාදන් ශාලාවට පිවිසෙන මාවත ගලහ පාරට සම්බන්ධවන දුර​ දක්වාම මට පෙනෙයි. අඩ අඳුර මකා දමන්නට උත්සාහයක යෙදෙන වීදි ලාම්පු වල මඳ එලියෙන්, යන්තම් එහා මෙහා යන එන ජෝඩුද, විශාල බඳ සහිත පාම් ගස් වලට මුවාවී ආලිංගනයේ වෙළී කොඳුරන ජෝඩුද, අපැහැදිළි චායාවන්සේ දැකිය හැකිය​. 

සපු, නා සහ සුදු අරලිය මල් සුවඳ එකට සංකලනයවූ අපූරු සුළං රැල්ලක් තුරුපත් සොලවා හමා ආවේය​. නැහැ පුඩු පුරා දීර්ග හුස්මක් පපු කුහරය තුළට ඇදගත් මට අසීමිත සැහැල්ලු බවක් දැනුණි. එකෙනෙහිම​ පසුතැවීමක්, දොම්නසක් හෝ එවැනි කිසිදු මනෝ ස්වභාවයකට නෑකම් නොකියන පහන් සිතිවිලි සමුදායකින් මගේ සිත පිරිතිරෙන්නට විය​. බැල්කැනියෙන් කාමරයට පිවිසුන මම දොර වසා දැමුවෙමි. 

කාමරයේ විදුලි පහන දැල්වූ කෙනෙහි හිස් කාමරය පුරා දෑස් යැවූ මම,​ විශාල කැඩපත ඉදිරියට ගොස් සිට ගතිමි. කැඩපත මත දිස්වුණ​  මගේම පිළිබිඹුව දෙස​ මොහොතක් බලා සිටියෙමි. කැඩපත මත පතිතවී ඇති පිළිරුව සුන්දරය​. පිරිපුන් වත පුරා නැවුම් සිනාවක් ඉහිරී ඇත​. 

"ලස්සනයි!"
ඇසක් ඉඟිමරමින් මටම කියාගත් මම​ ඒ හිනාවට, හිනාවකින්ම​ පිළිතුරු දුනිමි.

මල්ලිකා එම්. බණ්ඩාර​

05. 03, 2017


(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න​)


No comments:

Post a Comment