සුදුපිරියම් කරපු සොහොන් කොත් හා සදිසි
නුඹලාගෙ ගැල්වුම්කාරයෝ
රොතුබුරුතු පිටින් එයි ගෙයින් ගෙට,
උපන් ගෙයි (original sin) පව් කමා කරන්නට
කුණු කන්ද පාමුලේ නිවස්නා
පිංවතුනි-
තෙල බලව් පෙළහර!
දියවන්නාවෙ දිය මතින් ඇවිදගෙන
කුණු කන්ද මුදුනට ඇවිත්
"දිළින්ඳෝ ආශිර්වාද ලද්දෝයි"
දේසනා කරනු ඇති උඹලාට
අදහන්ට එපා උන්!
ජීවත් වෙයල්ලා අද, හිතට එකඟව,
"හෙට දවස” තවත් දවසක්ව
නුඹලාව සොයාගෙන එන තෙක්
සුදු වතින් සැරැහී විලිස්සා
දත් බොල්ලෑව පෙන්නා
පොළොන් විස ළය පතුළ සඟවාන
කුණුවුණ ආත්මයෙ දුගඳ නුඹලාට දැනෙතියි
සුවඳ පැන් සොළොස් කළයෙන්
දොවා පව් පස්කන්ද,
අන්තීම බිංදුවත් හිඳෙන තෙක්
උරා බොනු ඇත රුහිරු නුඹලාගෙ
හිරිකිතක් නැතුව හිත අහලක.
දෙඤ්ඤං කාසිපොදි වලට පීචං වෙලා
රැවටෙන්ට නම් එපා මේසැරේ
හිටිකෙලින් තියාගෙන වකුටු කොඳු ඇට රෑන
ඉද්ද ගැහුවා වගේ නැඟිටපල්ලා
උරෙන් උර එක පෙළක එකම අරමුණක හිඳ
වහල් බැමි පුපුරුවා සොයාපල්ලා
නුඹලාගෙ “නිදහස”
නුඹලාගෙ “නිදහස”
කුණුවෙච්ච දේහය පල්ලැක්කියේ වඩම්මන
පරපුරෙන් උරුම වුණ වැඩවසම් චින්තනයෙ
රැහැන් පට දෙදරවා ස්වෛරී මිනිසුන් වෙයල්ලා
කුණු කදු ඉවත්කර නුඹලාගෙ හිස් වල
මිනිසාගේ ස්වාමියා මිනිසාම බව,
නුඹලාම අදහාගනිල්ලා!මිනිසාගේ ස්වාමියා මිනිසාම බව,
මල්ලිකා එම්.
බණ්ඩාර
16. 04. 2017.
16. 04. 2017.
No comments:
Post a Comment