Tuesday, 4 April 2017

සුපිරි බාලිකාව


උඩරට සිංහල බොදු ගොවි කම්කරු
කිතුනු හින්දු ඉස්ලාම් ලේබල් දැරු
බෝම දෙනා කරනා නෙක ගරු සරු
සුපිරි බාලිකාවට යනෙන මම නිරතුරු ,
​නමින්, “වල්ලි අම්මාය” ​.​
ඒත්, හැට​පනින තුරාවට ​
බේබිලා කීවෙම "සින්නපුල්ලේය​",
වැඩට ආ දිනේ හිට​
"මැඩම්ලා" දුන්නු නම “කූලීය” මට​.
උප්පැන්න කොලේ නම් මම වල්ලි අම්මාය​.

වැඩ වසන​ ගුණ නැණින්  සදිසිවූ සුරගුරු 
දෙවි දේවතාවුන්ය ශිල්ප දෙන ගුරුවරු
ගම්භීර දොරටුවෙන්  බාලිකාවේ මහරු
ගෙවුණු හතළිස් වසර වාගේම​ ​
මේ අවුරුද්දෙත් බේබිල එනවා.
කිරි පැහැ පූඬැලු කික්කියො වාගේ
අළු පිහ දාගෙන සිල්ප නිමා කර
අවුරුදු අටකින් ආපහු යනවා.
ලතා මඬූලූ යට පටු මාවත් ළඟ​
ළමා නිවස්නේ කොක් හඬ තළනා  
ඉඳහිට හරි මා ළඟ පාතක නම්
නැහැපුඩු මිරිකා පියමං වෙනවා
​
දෙතුන් දහක් දැරියන් සැරි සරණා
කවට සිනා කෙළි සෙල්ලම් ඉහිරෙන
මැයි ගහ හෙවනේ ගිමන් නිවන කොට​
දූවරු නැති කම මටත් දැනෙනවා
හිතේ උපන් දුක තුනී කරන්නට​
හූල්ලලා මම ඉවත බලනවා

දළදා හිමි වැඩ හිඳින​ නුවර දොර​
සිව්මහ දෙවොලේ අනුහස​ ඇතිදුර​
උදේට හවහට වීදියෙ ගාටන
මගේ පපුව යට ඇවිලෙන දරු දුක​
පත්තිණි අම්මගෙ ඇහැ ගැහුනෙත් නෑ
උන්දැට​ හැට ඇඳිරිය ඇවිදින්දෝ 

අඩිදහයෙ තාප්පේ කුරු බිලෙන් රිංගලා
ඇතුළු නුවරට වැදුනෙ සිල්ප සඳහා නොවේ.
වැසි කිලිය​ කැසිකිලිය කාණු අතපත ගගා
කුණු කූඩ අවුස්සා යමක් ඇද්දැයි බලා
ඉණතුරේ හඟෝගෙන​
හැටත් පනිනා තෙක්ම රස්සාව කොළත් මං
මළ පොතේ අකුරවත් දැනගන්ට බැරිවුණා
සුපිරි බාලිකාවෙන්!

මල්ලිකා එම්. බණ්ඩාර​

 09. 03, 2017

No comments:

Post a Comment