Wednesday, 29 November 2017

සිපිරි ගෙයකින් ආයාවනයක්

නිර්ලජ්ජිත බල ලෝභි පිසාචයෙනි
බලාපල්ලා දෙනෙත් විවරකර​
යුදබියෙන් උපන් ගම් බිම් අතැර​
ගිනිවෙලී අළු දූලිවෙන​ හදාගත් ගෙපැල​
දෑසින්ම දැක දැක වාවා ගෙන බිඳුන හිත් කබල​
අතට අහුවුණ යමක් පොට්ට්නියකට දමා
පිටත්වූ ගමන නිම වෙන්ට පෙර​
ළය මඬල හොවාගෙන ආව දරු සිඟිත්තා
ඒ හද්ද කැළෑවේ හාමතේ මියැදුනෙන්
මිහිදන් කළෙමි මාතින්ම
එකම පුතු, කුළුඳුල් ලේහත්ත
දුර බැහැර ඈත වන ඉසව්වේ.
ඔයබඩ දෙණිපෙතේ
ඒ සොහොන මත හැදුන​ ළතණපත් සිපගන්න
මඟ ඇරුන බව කියා පියෙකුගේ යුතුකම්
මෙතෙක් කල් හංගාන හිටිය පපු කැනැත්තේ.
හෙලා එක කඳුලක්
ඉඩ දියල්ලා ඉතින් දුක තුනීකරගන්න
ඉඩ දියල්ලා ඉතින් දරු දුකට ඉකිලන්න​

මල්ලිකා එම් බණ්ඩාර
29. 11. 2017


Wednesday, 22 November 2017

ඉරණම් පදය

ආලයෙන් අන්ධවී මංමුලා නොවිණිනම්
භක්තියෙන් අන්ධවී සිහි විකල නොවීනම්
ආගමෙන් බියපත්ව සිපිරිගෙයි නොරැඳි නම්
මිනිස්කම​ නිදහසේ ඔබ සමඟ පිපෙනු ඇත​

දේශපාලන අබිං සුඟ  බුදින ලදී නම්
දහම අදහම වෙලා මිසදිටුව හිඳීනම්
ණැනස අඳ මිනිස් වග වනසතුන් වෙලානම්
සැහැසිකම​ රළු කුණාටුවක්සේ  හමනු ඇත

කලාමැදිරියන් දැක​ පහන් සිළ නිවානම්
මඟ-නොමඟ නොදැන ගන​ අඳුරටම ඇදේනම් ​
දැයක ඉරණම් ගමන​ ලියාගත නොහේනම්
අදක් මිස හෙටක් යළි අපට හමු නොවනු ඇත

මල්ලිකා එම් බණ්ඩාර​
22. 11. 2017


Thursday, 16 November 2017

මාලගිරවී - 11 වන කොටස​

මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

අපේ පවුලේ තුන්වන දියණියවූ මා පවුලේ සියළු දෙනාගේ නොමද ආදරයට පාත්‍රවූ බව මා පවසන්නේ ආඩම්රයෙනි. නංගී පවුලේ බාලයා නිසා අපි හැමදෙනාගේම අවධානයට ලක්වූ අතර මා කෙරෙහි අන් හැමට වඩා විශේෂත්වයක් තිබෙන්නට ඇත්තේ පළමු වැනි දෙවෙනි සාමාජිකයින්ට අත්කර ගත නොහැකිවූ වර්ණවත් භාවයක් මවිසින් පවුලට එක්කරනු ඇතැයි යන විශ්වාසය නිසා වන්නට ඇත​. පවුලේ හුරතලිය නැත්නම් ගිරවිය මාය​. මා කියනදේට ඇහුම්කන් දෙන්නට හැමදෙනාම සැදී පැහැදී සිටියා මට මතකය​. 

මේ අතර​ පුංචි අක්කා ගෙදරට ආදායම් උපයන​ මාර්ගයක් බවට පත්වූ අතර මුදල් පරිහරණය විසින් ඇයට පෞද්ගලික ජීවිතය හැසිරවීමේ අධිපත්‍යයක් හිමි කර දී තිබුණි. ජීවිතය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ නිදහසක් ඇය භුක්ති වින්දාය​. ඇතැම් විට අම්මා හෝ තාත්තා ගේ හඬට අවනත නොවන තරමට ඇය දඩබ්බර වූවාදැයි මම අනුමාන කළෙමි. පුංචි අක්කා මට මුදල් දුන්නාය​. ජනක මට වඩාත් ළං වනවිට පුංචි අක්කා මගෙන් මඳින් මඳ දුරස් වීම සිදුවූයේ එකිනෙකට සමපාතවය​.

එක් සෙනසුරාදාවක අපේ ගෙදරට අමුත්තෙකු ගොඩ වැදුනේය​. එය අහම්බ සිදුවීමක් යයි ​ පුංචි අක්කා අඟවන්නට උත්සාහ කළාය​. එහෙත් එය අහම්බයක් නොවන බව සිතන්නට මගේ හිත මට බල කරන්නට විය​. අමුත්තා අත මීටරයක් තරම් දිග හම් බෑග් එකක් තිබුණි. අක්කා පෙරමඟට ගොස් ඔහු පිළිගත්තාය​. ඉන් පසු අම්මා දෙසට හැරී,
" අම්මා මේ මගෙ යාළුවෙක්. අළුතින් අපේ ඔෆිස් එකට ආව එන්ජිනියර් කෙනෙක්. මේ වටිනා බඩු වගයක් අපේ දිහා තියලා යන්ට ඇවිත්" පුංචි අක්කා කීවාය​.
අම්මා ගෞරවාන්විතව අමුත්තා පිළිගෙන වාඩි වෙන්නට සැලස්වූවාය​. අනතුරුව තේ එකක් පිළිගැන්වූවාය​. කෑම ටිකක් කාලා යන්නට පෙරැත්ත කළාය​. පැයකට ආසන්න කාලයක් ඔහු අපේ ගෙදර රැඳී සිටියේය​. සති තුනකට රාජකාරි කටයුත්තකට දුර ගමනක් යෙදී ඇති නිසා ඔහුගේ පෞද්ගලික ආම්පන්න බෑගය කාර්‍යාලයේ තබා යන්නට අකැමති බව කීවේය​.
සළිලා හොඳින් දන්න නිසා මෙහෙ තියන්ට බයක් නැහැ".
ඔහු අම්මාගේ විශ්වාසය දිනාගන්නට සුදුසු වාක්‍යයක් ද එකතු කළේය​.
අම්මා ගැලපෙන හොඳම​ උත්තරයක් දීගත නොහැකිව ළතැවුනාය​.
අක්කා ඔහුව ඇමතුවේ වරුණ යනුවෙනි. දෙදෙනා බෙහෙවින් කුළු පග බව පෙනෙන්නට තිබිණ​.
තාත්තා ගෙදර ආපසු අම්මා වරුණ  ඉංජිනේරු මහත්තයා ගැන උජාරුවෙන් කතා කළාය​.
"සළිලගේ කන්තෝරුවේ යාළුවෙක් ආව අද උදේ වරුවෙ.   
"ඉතින්...ඉතින්!"
තාත්තාගේ කට හඬෙහි අමුතු උද්‍යෝගයක් කැටිවී තිබිණි                                                         
"වටිනා බඩු වගයකුත් එක්ක බෑග් එකක් ගෙනත් තියලා ගියා සති තුනකට දුර ගමනක් යන හින්දා". 
අම්මා තාත්තාගේ  හිතට වරුණ ගැන​ මූලික හැඳින්වීම කළේ ඒ අයුරිනි. මද වේලාවකට පසු හදිසියේ මතක්වූ කලක් මෙන්,
 පිට රටක යන්ටත්ලු ඉන්නෙ. අර පාස්පෝට් එකද මොකද්දත් පෙන්නුවා. අම්මා කීවාය​

එදා හවස අම්මාත් තාත්තාත් වරින් වර වරුණ මහත්තයා ගැන හාර හාරා අක්කගෙන් ප්‍රශ්න ඇසුවෝය. අක්කාද ගැලපෙන උත්තරදී අම්මාගේත් තාත්තාගේත් සිත් තුටු පහටු වන අන්දමේ කෙටි විස්තර සැපයුවාය​.
සති තුන ගෙවී යද්දී අක්කා බෙහෙවින් අසාමාන්‍ය විදියේ උනන්දුවකින් මඟ බලා සිටියාය​.
" පුංචි අක්කා, ඇත්තටම වරුණ අයියා ඉංජිනේරුකෙනෙක්ද​?"
ඔව්! වරුණලාට තේ ඉඩම් තියෙනවලු ගම්පොල දිහා.  රට යන්ට සල්ලි වගයක් හොයාගන්ට ඉඩමක් විකුණන්ට ඕනලු. ඒවුණාට​ එයාලගෙ අම්මා නමටලු ඉඩම් තියෙන්නෙ. අම්මා කැමති නෑලු එයාව රට යනවට
" ඔයා කොහොමද ඔය ඔක්කොම විස්තර දන්නෙ"
"දන්නෙ මට කියපු හින්ද​"
"දේපල ඉඩකඩම් අයිතිය ගැන ඇයි ඔයා එක්ක කතා කරන්නෙ?"
ඉතින් මොකද්ද ඒකෙ වැරැද්ද​?”
'වැරැද්දක් නෑ තමයි. ඒ වුණත් පුංචි අක්කා...ආ...අ"
මම අනතුරු අඟවන ස්වරයෙන් කීවෙමි. 
සචිරා මේ ඕන නැති විදියට සැක කරන්ට එපා මිනිස්සු ගැන​.
පුංචි අක්කාගේ මුහුණේ දක්නට ලැබුණේ මහ හිතුවක්කාරී පෙණුමක් යැයි මට සිතුණි. 
බලමු තව ටික දවසක් වෙනකොට​...එඩිතරවීමට මද වගබලාගතිමි.
පේන කියන්ට එන්ට එපා ඔන්න​.

වරුණ ආවේ මාසයකට පමණ පසුය​. ඔහු අර හම් බෑග් එක ආපහු අරන් ගියේය​. ඉන් පසු කීපවරක්ම එම බෑගය අපේ ගෙදර නවාතැන් ගනු ලැබිණි. එය ආපහු රැගෙන ගියේ පොරොන්දුවූ දිනට වඩා කෙටි කාලයකිනි. බෑගයේ තියෙන වටිනා කියන උපකරණ ගැන දන්නේ දෙවියන් පමණි.

සමහර දවස්වල වරුණ සෙනසුරාදා දවල් කෑම කෑවේ අපේ ගෙදරිනි. පුංචි අක්කා සෙනසුරාදාට අවශ්‍ය එළවලු සහ මස් මාළු ගෙනාවාය​. වරින් වර ඔහු ගෙදර අයට තෑගි බෝග ගෙනාවේය​. තාත්තාට කමිසයක්. අම්මාට කුඩයක්, නංගීට විසිතුරු පාසල් උපකරණ හෝ එවැනි දෙයක් ගෙනාවේය​.
සචිරා අර වරුණ හොරෙක්ද නැද්ද කියලවත් ඔයාලගෙ අම්මලා හොයලා බලන්නැද්ද​?
දවසක හදිසියේ ජනක මගෙන් ඇහුව​.
ඇයි ඔයා එහෙම අහන්නෙ?
එයා සළිලත් එක්ක එහෙමෙහෙ යනබව ඔයා දන්නෙ නැද්ද​?
එහෙ මෙහෙ කියන්නෙ?
ඔයා හිතනවද වරුණ ඇත්තටම ඉංජිනේරුවෙක් කියලා?
මං දන්නෙ නෑ
වරුණ බොරු කියන්නේ සළිලට​. සළිලා ගෙදරට බොරු කියන්නෙ, ඒ දෙන්න අතරේ සම්බන්දෙ හුඟක් දුර ගිහින් මං හිතන විදියට​.
නෑ
මගේ ඇඟ කිලිපොලා ගියේය. පුංචි අක්කා හොරෙකුට අහුවෙලාද​? මගේ හිතේ  භයානක අවතාර​   වගේ  බහුබූත දේවල් හොල්මන් කරන්නට විය​. අක්කා අමාරුවේ වැටෙයිද​? අක්කා සමඟ තනිවුණ වෙලාවක මේ ගැන ඇසිය යුතුයයි මම සිතා ගතිමි. අක්කාගේ ඉරියව් නිරීක්‍ෂණය කරන්නට මා පෙළඹුනේ ජනකගේ ඉඟියෙන් පසුවය​.
"පුංචි අක්කා, ඔයාට හොඳටම විශ්වාසද ඔය වරුණ?
ඔව්! ඔයා පැහෙන්නෙ නැතුව ඉන්ට.
මං දන්නෙ නෑ. මටනං බයේ බෑ.
ඔයා මොකටද බය වෙන්නෙ? මට විස්වාසයි වරුණ "
අක්කා ගේ පිළිතුරට මුරන්ඩු හඬක් කැවී තිබිණැයි මම සිතුවෙමි. සැබැවින්ම එය අධිතක්සේරුවක් යයි මට හැඟිණි. 

මම හැකි හැම අයුරින්ම මගේ  විභාගය සඳහා සූදානම් වීමි. ලොකු අක්කා ද දැන් වැඩිපුර ගෙදර එන්නේ නැත. නිදහසට කරුණු විදියට කියන්නේ “final” එකට ලෑස්ති වෙන නිසා නිවාඩු දවස් වලදීත් බෝඩිමේ නතරවී පුස්තකාලයට යන බවය​.
ඒ අපේ ගෙදර විවිධාකාර වෙනස් වීම් පෙළකට​ අවතීර්ණ වෙමින් පැවති අවධියක් විය​.  පුංචි අක්කාට පෙම්වතෙක් හමුවී තිබේ. අම්මලාගේ අත්‍යන්ත බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම මුළුමණින්ම මාපිට පවැරී ඇති සෙයකි. තවමත් ඔවුන් දොස්තර සිහිනයේ ජීවත් වන බව පෙනෙන්නට තිබිණි. විභාගයට වාඩිවූ පසු මවිසින් සැපයූ පිළිතුරු ගැන එතරම් විශාල බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව මට තේරුම් ගොස් තිබිණි. එනිසා කල්තියාම මට විභාගය අමාරු බව ගෙදරට දැනුම් දුන්නේ, හිත් හදා ගැනීමට ඉවහල් වන අයුරින් ඔවුන් දැනුවත් කර තිබීම නුවණට හුරුයයි අදහස් කළ බැවිනි.

මීළඟ කොටස නුදුරේදීම​...


Wednesday, 15 November 2017

කේන්දරේ පාළු වෙලා

උඩට උඩු වියන් බැඳලා
​පාවඩ පිට සුබ නැකතින්
මඟුල් තුලා හිර-හිදලන්
කෙරුනා ගම මුළුවක්කං ​

වෙල්ලෑවේ තම්බාගෙන​
කර ගැට එනතුරු දෑතේ
සුදු පිරුවට ඇපිල්ලුවේ
බඹා කොටන තුරු නළලේ

ගමේ දැරිවියන් ඔක්කොම
දීග ගියපු හැටි දැක්කම​
තොටමුණ ළඟ​ වක්කලමේ
ඉකිහැහුවා කොරවක්කන්

අතින් අතට දියවී ගිය
පත් ඉරුවට සීහෙන්නට
ඉරණම්කාරයෙක් නැතුව​
අඩ සියවසකුත් පිරුණා ​

උපන් දිනේ මඟෑරුනේ
හැමදාමත් සාද නැතුව​
මල්සරාගෙ දුනු ඊතල​
​මළකඩ බැඳිලාද කොහෙද​

බණ මඩුවේ පැදුර එලා
නවගුණ වැල ගණින ගමන්
ජාතක පොත් වහන්සේට
සාදුකාර දී වැඳ වැඳ​
සසරේ දුක මෙනෙහි කරන
කාලය දැන් ඇවිදිල්ලා


මල්ලිකා එම් බණ්ඩාර​ - 12.10.2017

Thursday, 9 November 2017

අපෙ අම්මා


කැටපත් පවුරේ ගී පදයක්සේ
සිතිවිලි පව්වේ ලියවෙනවා
ඒ ගිරි බෙයදේ ඇඳි සිතුවම්සේ
මහද අරා නුඹ වැජඹෙනවා

කලා වැවේ නැඟි රළ පතරක්සේ
සෙනෙහස් සිහිලෙන් දෝවනවා
ඒ රළ මත රැදි මුදු පවනක්සේ
මසිත නිවාලා සනසනවා

බක් මාසේ පිපි සපු දුනුකේ මල්
සුවඳ පොදක්වී දැවටෙනවා 
ඇහැළ මහේ පුර පසළොස්වකදා
සඳපත සේ නුඹ  හිනහෙනවා 

නිම්මා නැති දුක් විඳ විඳ වෙහෙසී
දස පෙරුමන් පිරු අපෙ අම්මා
සංසාරේ ඉම තරණය  කරනා
බුදු බණ පදයයි අපෙ අම්මා 

මල්ලිකා එම් බණ්ඩාර​

7. 02. 2016

දන්නවානම්...!

දන්නවානම් කෙනෙක්
මම වින්ද දුක්කන්ද​
මාපියන් ගෙන් තොරව​
දැනුණ අසරණ කම
ජීවිතේ පාළුව අත්වින්ද​
දන්නවානම් හිතට
නැඟුන සිතුවිලි
කුලගෙයට ගියදා පටන්
විඳිද්දී මදි පුංචිකම්  
අසද්දී අවලාද

දන්නවානම් කෙනෙක්
කුළුඳුලේ වැදූ පුතු
තිඹිරිගෙය තුළදීම​
මියැදි බව දැනුනාම
මගේ ළය අඟිරිගෑ විලාපය​

දරාගත නොහැකි දුක​
බෙදාගත නොහැකි විට
හඬා වැළපුණත් යළි
නැඟී සිට දෙපයින්ම​
උහුලාපු බව​ තනිව​
දන්නවා නම් කෙනෙක්
එද අයෙකි මා වැනිම​


මල්ලිකා එම් බණ්ඩාර​
 9. 11. 2017

අත්තන මල්

අත්තන මලක් වී  පිපිලා දියඹ උඩින්  
රොන්සුණු සලන දිය රැළි මත බමර තුඩින්  
මන ලොල් වඩන බිඟු දැල් ගී ගයන හඬින්
මුකුලිත නොවී උදැහැනැක්කෙම මවෙත​ වඩින්

උන්මාදණීයවූ නුඹෙ නෙතු සර පහර​
සංජාන කළ​ දිනේ​ ප්‍රේමයේ සප්ත ස්වර​
නින්නාද දෙන සඳෙහි මහද ගැබ එක පැහැර​
අංජාන කල්කයක් වුණා මනෙතට නිතර​

සුරත් පල තුළ හොවා මරණීය දුක් දෙවන ​
රමණීය මලකි නුඹ හලාහල විස රැඳුන​
බොඳව ගිය ප්‍රේමයක වස්සානයේ සිහින
සොඳුරු යයි සිතමි මම​ ජීවිතය වැළඳගෙන ​

බිඳින් බිඳ​ සිඳී වියැකී නොයන මා ළයේ
​නිදන් ගත සුවඳ මන් මත් කරන ආලයේ
ඉදින් බිඳලිය නොහී පවුරු බැමි බාලයේ
හිඳින්නෙමි පියාපත් ලැබෙනතුරු කාලයේ


මල්ලිකා එම් බණ්‍ඩාර​

16.01. 2017

Saturday, 4 November 2017

මාලගිරවී - 10 වන කොටස​

මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

අපේ ඉස්කෝලේ පිට්ටනිය වඩාත් ලස්සන වෙන්නේ මාර්තු අප්‍රේල් කාලයට. ඒ යටත් විජිත කාලේ හිට හැදී වැඩී  දැවන්තයින් බවට පත්ව තිබුණ රොබොරෝසියා ගස් වැටිය නිසාය. සෑම උදෑසනකම  ළා  හිරු රැස් වලින් අප ආවරණය කරන්නේ මේ ගස් වල හෙවනැල්ලයි. මේ කාලයට උස් අතු ඉති වැසෙන තරමට​, ළපැටි දළු කොළ පසුබිමේ පිපෙන රෝස පැහැති මලින් මේ ගස් පිරී යයි. ඉන් පසු පරවුණ මල්පෙති සෑම උදෑසනකම​ පිට්ටනිය පුරා විසිරී යයි. මල් පෙති ඉහිරුණ පොළොවේ පා තියන්නටත් ලෝබයි වගේ. බිම මත වැතිර ඇති පරමල් පෙති මැඩගෙන නොගොස් අපි හීන් සීරුවෙන් අඩිතියා ඇවිදින්නට වගබලා ගනිමු. මල් ඇතිරිල්ල දකින කොට හිතට දැනෙන්නේ හරිම ප්‍රබෝධයක්. අපූර්වත්වයක්! සති අන්තයේ ගෙදර හිරවෙලා ඉඳලා සඳුදා ඉස්කෝලේ ආවාම හරියට ඉහේ මලක් පිපුණ වගේ. එකක් නෙවෙයි හතක්! දවස ඇරැඹුණේ ඉතාමත් ප්‍රබෝධයෙනි. කට කමසෙය්‍යාවක් නැතුව කරන කතා සහ තොර තෝන්චියක් නැති සිනා, කෙඳිරුම් හඬඑකිනෙකින් වෙන්කර ගත නොහැකි අයුරින් සංකලනය වී ඇත. ඒක හරියට මීමැසි රංචුවක මිමිණූමක් වගේ. 

හැම සඳුදාවකම අපේ ඉස්කෝලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවම උදේ එසෙම්බ්ලි එකට සහභාගී විය යුතුය​. අපි පොත් පත් පන්තියේ ඩෙස්ක් එක මත තබා හැමෝම පිට්ටනියට යායුතුය​. පළමුවෙනි පන්තියේ සිට අනු පිළිවෙළින් මිදුලේ ඉදිරිපිට තිරස් අතට, එකිනෙකා පිටුපස කෙලින් සිටගත යුතුය​. 

එදාත් පන්තියේ අනික් ළමයින් සමඟ මමද​ පෝලිමට එක් වීමි. අපේ පන්තියේ පෝලිම​, උසස්පෙළ පන්ති වලට ඉදිරියෙනි. එකිනෙකා අභිබවමින් කරන කතා නිමාවට පත්කරමින් ප්‍රින්සිපල් වේදිකාවට ආවේය​. අපි සියළු දෙනා මීයට පිම්බාක් මෙන් නිහඬ වීමු. පන්සිල් සමාදන් වීම, විදුහල්පතිගේ නිවේදන, පිළිවෙලින් අවසන් විය​. අනතුරුව ශිෂ්‍ය නායක නායිකාවන් උඩ මිදුලට කැඳවන ලදී. පන්ති නායක නායිකාවන්ට තම තමන් ගේ පන්තියේ සිසුන් නිශ්ශබ්දව තබා ගැනීමට අණ කෙරිණි. හයෙන් පහල ළමුන් පන්තිවලට ගොස් එදිනට නියමිත වැඩ අරඹන්නට නියම විය​.

අපි, ඒ කියන්නෙ හයෙන් ඉහල 13 පන්ති දක්වා ප්‍රධාන මිදුලේම නැවතී සිටින්නට ප්‍රින්සිපල් විසින් නියම කරන ලදී. අපි පැයක් පමණ රැඳී සිටියෙමු.  කෙමෙන් කිසියම් විපත්තියක පෙරනිමිති පහල වෙන්නට විය​. සමහරු තැතිගත් සෙයකි. බොහෝදෙනෙකුගේ තොලකට වියැළී ලේ සිදී ගොසිනි. ළමයින් ගේ බෑග් සහ පොත් පත් පරීක්‍ෂා කරන​ හදිසි “raid” එකක්”! කසුකුසුවක් එහෙන් මෙහෙන් පැතිරෙන්නට විය​. ඉන්පසු අපට පන්ති කාමරවලට යන ලෙස දන්වන ලදී 

පන්තිභාර ගුරුවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් පන්තිවලට ගොස් අපේ පොත් පත් සහ බෑග් පරීක්‍ෂා කර තිබුණි. එදා මගේ පොත ඇතුළේ තිබූ ලියුමද ඇතුළුව සිය ගණනක් "පෙම්පත්" ගුරුවරුන් අතට පත්ව තිබිණි. සතුරු කඳවුරකට කඩා වැටුන පැරෂුට් කාරයෙකුට ඇතිවන අන්දමේ භීතියකින් ත්‍රාසයකින් මම හිරිවැටී සිටියෙමි. මගේ මුළු සරුවාංගයම ගිනිබත් වෙන්නට පටන් ගැනුනි. ගෙදර ගිහින් හමාරයි! අම්මගෙන් මැරුම් කන්නට වෙනව සිකුරුයි.
දෛනික කාලසටහනට අනුකූලව එදාත් පන්ති පැවත්වුණි. අවසාන කාලඡේදයේදී අපි සියළු දෙනා කැඳවු පන්ති භාර ගුරුවරු විදුහල්පති ඉදිරියට කැඳවා ගෙන යනු ලැබිණි.  එකසිය පස් දෙනෙක්වූ පෙම්වතුන් කණ්ඩායම ඇමතූ  විනය මණ්ඬලයේ  සාමාජික ගුරුවරුන් දීර්ඝ දේශනයක් පවත්වන ලදී. දේශනාවසානයේ පෙම්වතුන් ගේ දෙමව්පියන් හෙට ඉස්කෝලේ ආයුතු බව කියවෙන ලියුමක්  ශිෂ්‍ය අත්පොතේ ලියාගන්නට සලස්වන ලදී. අපි ලියුම ලියාගත් පසු පන්තිභාර ගුරුවරු අත්සන් තැබූහ​. මම එදා ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටවුණේ මරණ වරෙන්තුව අතේ තියාගෙන යන අපරාධකාරයෙකු ලෙසය​.

යොවුන් වියේදී පෙම්පතක් ලිවීම අපාගත වියයුතු පාපයක් ලෙස වැඩිහිටියන් සලකන්නේ ඇයි? පව් සමාවක් නැතිවම අප අපායට ඇද දමන්නට තරම් දරුණු,  නොලියවුණු නීතියක් සමාජගතවී තිබීම මොන කාළකණ්ණී කමක්දැයි මගේ හිත ප්‍රශ්න කරන්නට විය​.

ඒ සමඟම ජනකහමුවී කිසියම් පිළිසරණක් පැතීමේ දැඩි උවමනාවකින් මසිත  පෙළෙන්නට විය​.  "සිද්ධ වෙච්ච සියල්ල ඔහු සමඟ කිව යුතුය" මම තීරණය කළෙමි.  බස් නැවතුමට එන විට අපේක්‍ෂා කළ පරිදිම​, ජනක පාර පැන මා  අසලට ආවේය​. මම ඉකිය වළක්වා ගන්නට නොමඳ උත්සාහයක යෙදෙමින් සිදුවූ වින්නැහිය ඔහුට පැහැදිළි කළෙමි. ජනක කලබලවූ බවක් පෙනෙන්නට නොතිබිණි. මම පුදුම වීමි.

ඔයා බය නැතුව ගෙදර යන්න​. ඔයාගෙ ‘hand book” එක අම්මලාට දෙන්ට එපා. මම අද හවස සළිලා හම්බවෙලා ඔය ගැන කතා කරලා තීරණයක් ගන්නම්.
ඔහු මා අස්වැසුවේය​. මම ඔහු ඇදහුවෙමි.
මම කාලය ගෙවා දැම්මේ මැලේරියා උණකාරයෙකු ලෙසය​. මගෙ ශරීරයට සත පහක පණක් තිබුණේ නැත​. උණ උත්සන්නවූ විටක මෙන් මගේ මුළු ගතම ගැහෙන්නට විය​. වචනයක් කතා කර ගන්නට බැරිතරම් මගේ උගුරේ යමක් හිරවී ඇති සෙයකි​. පියෙවි සිහිය නැතිවී ගිය බවක් මට දැනෙයි. මේ හෝන්දු මාන්දු ගතිය විසින් මා තළා පෙළා දමා තිබිණි. ජනක කුමක් කරනු ඇද්දැයි මම නොදනිමි. ඔහු පුංචි අක්කාට කුමක් කියනු ඇද්ද​? අක්කා ජනක කියන දෙයකට එකඟ නොවුණොත් නොඅනුමානවම මාව​ ඉස්කෝලෙන් අස් කරනු ඇත​. එහෙම වුණොත් ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද දෙයියනේ? අම්මා කුමකින් කුමක් කරනු ඇද්ද​? මෙගේ හිස භ්‍රමණය වෙන්නට පටන් ගනියි. ඒක හරියට​ වමටත් දකුණටත් එකවර කැරැකෙන්නාක් මෙනි.

ප්‍රේමය වැනි උත්තරීතර මානව හැඟීම් ප්‍රකාශනයක් තේරුම් ගන්නට බරි තරම් ගුරුවරු නොමේරූ අයද​? අනික් අතට ප්‍රේමය යෞවනත්වයේ සොඳුරු ආහ්ලාදය ප්‍රකාශ කිරීමක් මිස දඬුවම් දියයුතු අපරාධයක්ද​? විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වීම මනුෂ්‍යත්වයේ නෛසර්ගික ලක්‍ෂණයක් මිස එය පාපයක් ලෙස දකින්නට සංස්කෘතියෙන් වැටකඩොළු බැඳුනේ කොහොමද​?අක්මුල් නොපෙනෙන පැටලිල්ලක මගේ හිත ගැටගැසී ඇත​. මහ මඟට බැස, "මට විසඳුමක් දීපල්ලා'යි කෑගසා කියන්නට තරම් මගේ හිත වියවුල්වී ඇත​.  

එදා හවස පුංචි අක්කා වැඩ අවසන් කර ගෙදර ආවාය​. මිදුලේ සිට ඉස්තෝප්පුව දිගේ කාමරය දෙසට එන ඇයගේ පාවහන් හඬට මම සවන් දීගෙන හිටියේ තද නින්දේ පසු වන ඉරියව්වෙනි. කාමරයට ඇතුල්වූ අක්කා නැවත කුස්සිය දෙසට ගියාය​. නැවත පාවහන් රහිත පියසන් හඬ ඇඳ අසලට විත් නතර විණි. මගේ උරහිසින් අල්ලා දෙතුන් පාරක් සෙලවූ අක්කා,
" ගොන් තකතිරුවා! මොකද්ද අර කර ගත්ත වැඩේ? ඇසුවාය​.
මම නිහඬව මුණින්තලාවී සිටියෙමි.
"අම්මා දැනගත්තොත් මරයි!" .
මොහොතක නිහැඬියාවකින් පසු නැවත කීවාය​. ​

මම ඇඳ මත වාඩිවීමි. ඒත් හිස ඔසවා පුංචි අක්කාගේ මුණුණ දෙස බලන්නට නම් ශක්තියක් නැත​.  මුදාහල කොණ්ඩය මගේ මුහුණ ආවරණය වන ලෙස වැටී තිබීණි. කෙස්‍ රොදවල් ඉවත් කිරීමට මම උනන් දු නොවුණෙමි. මගේ මහත් විමතියට පුංචි අක්කාගේ හඬේ තරහවක් ගෑවීවත් නොතිබිණි.
අපි අතර කිසිදු කතා බහක් නැතිව කොතෙක් වේලාවක් ගත වුණා දැයි නිනව්වක් නැත​. අන්තිමේදී කට හඬ අවදි කළේද පුංචි අක්කාය​.
අන්තිමට මම තමයි බිල්ල​…”
මම කෙහෙල් ගහක් කඩා වැටන්නාක් මෙන් අක්කාගේ දෙපා ළඟ දණගසා ඇයව සිප ගතිමි.
නැඟිටිනව දැන් ඉතින්! හෙට ඉස්කෝලෙ ගිහින් මිස් මිරැන්ඩට මං කියන්නං ඒ ලියුම මගෙ කියල​. මිස් මාව විශ්වාස කරනව​. එතකොට ඔයා නිදහස්. අපි දෙන්නගෙම අත් අකුරු සමානයිනෙ.  දැන් ඉතින් පීල්ල ළඟට යන්ට ලෑස්ති වෙන්ට, අම්මා දකින්ට ඉස්සරලා​​". කියමින් අක්කා කාමරයෙන් එළියට ගියාය​.

අක්කාට කලින් පීල්ල ළඟට ගිය මම  පිහිල්ලට හිස අල්ලන ගමන් මහ හඬින් හැඬුවෙමි. කඳුළු ගලා ගියේය​. හඬ කාටවත් නෑසුනේය​. පුංචි අක්කා කෙරෙහි උපන් අසීමිත ප්‍රේමයකින් මගේ හිත පිරී ඉතිරී ගියේය​. අක්කා මා වෙනුවෙන් ඇගේ ආත්ම ගෞරවය කෙලෙසා ගන්නට තරම් පරිත්‍යාගශීලීවීම ගැන මට දරා ගන්නට බැරි තරම් දුකක් පහල විය​.  පුංචි අක්කා හරියට මා බේරා ගන්නට ආව​ දේවතාවියක් වගේ. ජනක සහ අක්කා කිසියම්  උපක්‍රමයක් යොදා ඇති බව පසක් විය​.

පසු දින පුංචි අක්කා මා සමඟ ඉස්කෝලෙට ආවාය​. විනය මණ්ඩලයේ ගුරුවරියක් හමුවුණ ඈ ගුරුවරියගේ දෙපාමුල දණනමා වැඳ වැටුණාය​.
“Sorry teacher”
මේ මොකද​? ඇයි සළිලා “sorry කියන්නෙ? ගුරුවරිය ඇසුවාය​.
මිස්, මෙතන ලොකු වැරැද්දක් වෙලා තියෙනව​. මම මගේ “boyfriend”ට ලියපු ලියුම පොතක් ඇතුලෙ දාලා තිබුණා. නංගී ඒ පොත​ ඉස්කෝලෙට අරන් ඇවිත්. එයා දන්නෙ නෑ ඒක ඇතුළෙ ලියුමක් තිබුණ බව​.

පුංචි අක්කා කීවාය. සැහෙන වේලාවක් අක්කාත් මිස් මිරැන්ඩාත් කතාකරමින් සිට, මිස් මිරැන්ඩා කාර්‍යාලය තුළ නොපෙනී ගියාය​. තවත් සෑහෙන වේලාවකට පසු මිස් මිරැන්ඩා අක්කා සිටින තැනට ඇවිත් යමක් කියනු පෙනුණි. අක්කා ගුරුවරිය සමඟ කතාකරමින් සිට ටික වේලාවකින් මා සිටි තැනට ආවාය.
 “කවුරුහරි ඇහුවොත් කියන්ට ඒ මගේ ලියුමක් කියල. හරිද​? අක්කා ඒ ලියුම තැපල් කරන්ට හිතාගෙන පොත ඇතුළෙ තියලා. මම ඒ පොත අරන් ආවා කියවන්න හිතාගෙන, කියල කියන්න​.
පුංචි අක්කා මාවෙත ඇවිත් වට පිට බලා රහසින් කීවාය​.
මම හිස සොලවා එකඟවීමි..
 “පන්තියේ ළමයින්ට කියන්ට, “ලියුම මගෙ කියල​. ඔයා මොනවත් දන්නෙ නැහැ කියන්ට​​. නැවතත් කී පුංචි  අක්කා ඉස්කෝලෙ ගේට්ටුවෙන් පිටව නොපෙනී යනතුරු බලා සිටි මම පන්තියට ගියෙමි. ඉන්පසු කුමක් වීදැයි මම නොදැන සිටියෙමි.

කෙසේ හෝ මගේ ආමන්ත්‍රණය ලීක්වී තිබුණි. මගේ ලියුම address කර තිබුණේ, “මා ආදරණීය - J "ලෙසය. අවසන් කර තිබුණේ මා ඔයාගේ මාල ගිරවි යනුවෙනි.  ජනක විසින් මා ඇමතුවේ "මාල ගිරවී" නමිනි. ඔහු ඒ නමට බෙහෙවින් ප්‍රිය කළේය​. එයම මගේ ගැලවීමේ බෞතීස්මය වීය​.  
ඒ සිද්ධියෙන් පස්සෙ මුළු ඉස්කෝලේම පිරිමි ළමයි මට කීවේම මාල ගිරවී කියල​. පසු කාලය වන විට මගේ මිතුරියන් පවා මා ඇමතුවේ මාල ගිරවී යනුවෙනි. මගේ උප්පැන්නයේ නමටත් වඩා මාලගිරවී යන්න​ මුළු ඉස්කෝලේම​ ළමුන් අතර​ රෙජිස්ටර්වී තිබුණි. අදත් සමහරු මා දන්නේ සචිරා ලෙස නොව "මාල ගිරවී' කීවොත් ය​.


මීළඟ කොටස නුදුරේදීම​...