වැඩක් ඇතත් නැතත්
වැඩවල නිරත වෙන බව අඟවන පිණිස මමද පොත්පත්
අතර ගැවසෙන්නට පටන් ගතිමි. ඒත් මගේ හිත එකලස්
කරගැනීම බෙහෙවින්ම අසීරු විය. මා ගැන ගෙදරට යන්තම්
හෝ ඉවක් දැනුණොත් අම්මා මට කුමකින් කුමක් කරනු ඇද්දැයි සිතා ගන්නටවත් බැරි තරම්
ය.
මගේ වයසේදී ලොකු අක්කාට නම්
පෙම්ව්තෙකු හිටියේම නැත. ඇය නිවන් මඟට අවතීර්ණවූ උවැසියකමෙන් ඇගේ ඉලක්කය සොයා ගමනේ අන්තය දක්වාම යන්නට සැදී පැහැදී සිටියාය.අපේ පවුල මුහුණදී තිබු දරිද්‍රතාව සමඟ ඈඳුනු දහසකුත් එකක් ප්‍රශ්න
ඇගේ හිස මත තබාගත්තාය. එකිනෙක ඇමිණී දම්වැලක පුරුක් මෙන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද වුණ දුර්භාග්‍ය සම්පන්න බව අපේ පරම්පරාවෙන් හමාර කිරීම සඳහා ඉදිකටු
මළක් තරම් කුඩා තව්වකින් රිංඟා යාමට වුවද ලොකුඅක්කා සූදානමින් සිටියාය. යව්වනය දුශ්කරක්‍රියාවකට හරවාගත් ඈ පළමු වර අසමත් වුවද , දෙවන වර මෙන්ම
තුන්වන වරටත් උසස්පෙළ විභාගයට පෙනී සිටියාය. අවසන ඇය පැතූ බෝධිය සාක්ශාත්
කරගන්නට ඇය සමත් වූවාය. එහෙත් ඒ හැම වරකම අම්මා ලොකුඅක්කා ගැන මේ තරම් කිපුණ
බවක් මට මතක නැත. ලොකු අක්කාට අත්කර
ගැනීමට බැරිවුණ සාර්ථකත්වය පුංචි අක්කා එක් වරකින්ම දිනාගනු
ඇතැයි ඇය දැඩිව විශ්වාස කිරීම කොයිතරම් නම් අසාධාරණදයි මම කල්පනා කළෙමි.
වයසින් නොමේරුවද, කෙනෙකු දෙස බලා එම පුද්ගලයාගේ හිත යම් තරමකට කියවන්නට අපූරු
හැකියාවක් මාතුළ තිබූණා වන්නට ඇත. පුංචි
අක්කා ගේ හැසිරීම්
සම්බන්ධයෙන් වුවද මගේ සිතා ගැනීම් නිවැරැදි යයි අවබෝධවූ වාර අපමණය. අනික් අතට
එයාගෙ ඇවතුම් පැවතුම් අපේ
පවුලේ අන්හැම දෙනාටම වඩා සැහැල්ලුය. පුංචි
අක්කා ඇයටම ආවේණික මනෝලෝක වල සැරි සරන බව මම දැන සිටියෙමි. මම හිතන විධියට නම් පුංචි අක්කා ඇතම් පුද්ගලයින් පිළිබඳව සිතින් මවාගත් සුරංඟනා කතාවක චරිතයක්වී සිටියාය. සමහරවිට ඇය සිතින්
මවාගත් කතන්දර ඇගේ යෙහෙළියන් සමඟ රසකර කියනු ඇසී තිබුණි. එවැනි අවස්ථාවල ඈ කියන සියල්ලම සත්‍ය විය හැකිදයි මම මගෙන්ම ප්‍රශ්න කර
ඇත්තෙමි. ඇතම් විට විශ්වාස
කර ඇති බව මට මතකය. එහෙත් පුංචි අක්කාත් ජනකත් අතර තියෙන්නට ඇත්තේ කුමන ආකාර
ඇසුරක් දැයි මම නොදනිමි. මම මටම අවංක වෙනවානම් එවැනි සබඳතාවක දොරකඩටම ඔවුන්
අවතීර්ණවී සිටිය බව පිළිගත යුතුව ඇත.
කෙසේ වුවද, අපේ අම්මා විසින් අමිතක්කාට දොස් පැවරීම
ගැන මගේ හිතේ පැවතියේ අපහැදීමකි.
සත්‍යය වශයෙන්ම නම් අමිතක්කා නොව කයිවාරු ගැහුවේ
අපේ අක්කාය. බොහෝවිට අමිතක්කා නිහඬව සවන් දුන්නා පමණි. හූමිටි තැබුවා පමණි. කුමන
දෙයක් වුවද ඇය සාවධානව අසා සිට
අන් අය කියන දේට පියාපත් එතැයි බියෙන් මෙන් ඒ සියළු තොරතුරු ඇගේම හිතේ ගැඹුරු පතුළෙහි සඟවා තැබුවාය. ඇගේ මෙම චරිත ලක්‍ෂණය නිසා
අමිතක්කා මා දන්නා තරමින් හැමෝගෙම දුක සැප බෙදාගත් මිතුරියක වූවාය. හැමෝගෙම රහස්, දුක් දොම්නස් ගබඩාකර තබන්නට තරම් විශ්වාසවත් භාණ්ඩාගාරයක් වැනි අයෙකු මෙන්ම, දැනුමෙන් සහ
ජීවිතාවබෝධයෙන් යුතු ගැඹුරු චරිතයක් වූවාය.
මේ කරුණු කාරණා ගැන සලකා, අක්කලා දෙන්නා හා සසඳන කල, මා ළාබාල වියේදීම ප්‍රේම සම්බන්ධතාවක පැටලෙන්නට ඉක්මන්වූවා වැඩියයි මට සිතෙන්නට විය. අඩුම
තරමින් සාමාන්‍ය පෙළ සමත්වූ පසුව නම් කමක් නැත. දැන් ඉතින් බැඳගත් බෙරේ ගහන්ටම එපාය. එන ඕනෑම අභියෝගයකට මුහුණ
දෙන්නට මම හිත දැඩි කර ගතිමි.
සමහරදාක ජනක මා හමුවීමට මඟ බලා හිඳී. බස්
එකෙන් බැස ගෙදරට එන පාරේ පාළු තැනකදී අපි හැමදාකම හමුවීමු. පමා වුණේ ඇයිදැයි ඇහුවොත් මම අම්මාට කීවේ බස් එක ප්‍රමාද වූ බවය. නැති නම් බස් එකේ
සෙනඟ වැඩි බවය. ඇතැම් දිනක අප දෙදෙන කතා කරමින් සිටින විට අප හඳුනන කෙනෙක් අප පසු
කර යයි. තවත් විටක අපේ අම්මලා දන්න කෙනෙක් එනවා දකින විට මේ අහම්බෙන් සිද්ධවුණ හමුවීමක් බව අඟවන්නට උත්සාහ කළෙමු. අපි
සූක්‍ෂ්මයයි අපිම හිතුවාට මිනිසුන් ඇස් දෙකෙන් දකින දේ සුදු කපුටන් හතක්වී පියාඹා යන්නට සමත් වූබව පෙනෙන්නට තිබිණ.
" ඉස්කෝලෙ ඉඳලා එනකොට, මඟදි කා එක්කද කතා කර කර ඉන්නෙ?
දිනක් පුංචි අක්කා මගෙන් ඇසුවාය.
"මඟදි කීදෙනෙක් හම්බ
වෙනවද? මට මතක නෑ කවුද කවදද
කතා කළේ කියලා"
“හොඳයි මං හොයා ගන්නංකො කවුද කියලා”.
බය සැක සංකා මිශ්‍රිතව කාලය හඹා ගියේය. අක්කාගේ ඇස්වලට වැලිගැසීම
තරමක් අසීරු වෙන බව දැනෙන්නට විය. ඇය ජනකගෙන් ද ප්‍රශ්න කර තිබිණි.
"එක එක්කෙනාට කතා හදන්න ඉඩ තියන්ට එපා ඔන්න”.
" ආහ්! අර ජනක අයියා
දවසක් මඟදි හම්බවුණා. මේ කොහෙදෝ ගිහින් එන ගමන් කියලා කීව. ඉතින් පුංචි අක්ක ගැනත් ඇහුව
මගෙන්".
එක බොරුවක් වහන්ට තව දහයක් කියන්ට වෙනව.
පුංචි අක්කා ඉතාමත් සුපරීක්‍ෂාකාරීව මා දෙස
බලා සිට නිහඬ වූවාය.
මට තවත් නම් ඇයව රැවටිය හැකිද?
අමිතක්කා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරී තිබුණි. ඇය පුංචි අක්කා හමුවෙන්නට ආවාය. ඒත් හරියටමඅම්මා ගෙදර නැද්දයි සැක හැර දැනගෙනය. එද හැකිතාක් ඉක්මණින් යාමට ඇය
වගබලාගත්තාය. පුංචි අක්කාත් අමිතක්කාත් සිහින මැව්වේ පේරාදෙණිය සරසවියට යන්නටය. ඒ දිනවල උසස් පෙළ පන්තිවල ඉගෙන ගනිමින් සිටි බොහෝ දෙනාට හන්තානේ කතාව චිත්‍රපටය ධනාත්මක උත්තේජකයක් වී තිබුණා වන්නට ඇත. එනිසා එම යුගයේ තාරුණ්‍යයේ සිහිනයවූ හන්තාන අක්කලාගේද සොඳුරු සිහිනයන් වූවා නිසැකය. ඔවුන් අනුකරණය කළේ ස්වර්ණා මල්ලවආරච්චිය. නිළියගේ විලාසිතා කොපි කරන්නටවූ පුංචි අක්කා ඇන්ද මිනිගවුම් මෝස්තරය සහ කැරැලි ගැසුන කෙස් කළඹ මුදා හැර පිට දිගේ දමා සකස ගත් කොණ්ඩා මෝස්තරය ගැන අම්මාගෙන් අනන්තවත් බැණුම් ඇහුවාය. අක්කාගේ ප්‍රාර්ථනා බොඳ වීම පිළිබඳව සාතිශය දුකක් අනුකම්පාවක් මගේ සිතේ පුපුරු ගසමින් තිබිණි.
"මගෙ ටියුටෝරියල්ස් ඔක්කොම ඔයාට දෙන්නං. ලබන
සැරේ විභාගෙ ලියන්න". අමිතක්කා පුංචි අක්කා සනසන්නට හැකි හැම දෙයක්ම කීවාය.
"තව එක සැරයක් ලියනව. නැත්නම් ජොබ් එකක්
හොයා ගන්නව". පුංචි අක්කා කීවාය.
“ඇය සත්‍යයට මුහුණ
දීමට සූදානම් වී සිටීම කොයිතරම් හොඳද?" මට එවේලේ සිතුණි.
අමිතක්කා විශ්ව විද්‍යාලයට ගියාට පසු
අක්කාත් ඇයත් අතර තිබූ සබඳතාව ක්‍රමයෙන් දුරස්වන්නට විය. කලාතුරකින් ගමට ආවිට
හෝ ඇවිත් යන විට හෝ මඳ වෙලාවක් අපේ ගෙදර ළඟ නතරවී පුංචි අක්කාට කතා කිරීමට ඇය අමතක
නොකළාය. පුංචි අක්කාට නගර
සභාවේ ටයිපිස්ට් තනතුරක් ලැබුණේ ඇය දෙවන වර උසස් පෙළ ලියන්නට සූදානම් වන අතරතුරය.
ඒ නිසා ඇය විභාගය පසෙක දමා රැකියාව තෝර ගත්තාය. මේ නිසා නැවත වරක් පුංචි අක්කාත් මාත් උදේට ටවුමට ගියේ එකටය. හවස මම ඉස්කෝලේ ඇරී
ආවේ තනියමය. අක්කා ගෙදර ආවේ හවස පහට පමණය. දැන් දැන් ඇය කෙරෙහි පැවති දුක්ඛ
දෝමනස්ස පෙණුම මඟ හැරී ප්‍රබෝධමත් බවක්, සජීවී බවක් දක්නට
තිබිණ. පුංචි අක්කාගේ සිනාබර මුහුණ දකින විට අපමණ සතුටක් මගේ හිතට දැනෙන්නට විය.
පලමු වතාවට වැටුප ලැබුණ පසු පුංචි අක්කා මට ස්කූල් බෑග් එකක් ගෙනත්
දුන්නාය. මට අවශ්‍ය දෙයක් ගන්නට විටින් විට මුදලක් දුන්නාය.
ජනක විසින් දෙන ලද තෑගි භෝග වසන් කිරීමට ඇගේ මුදල් පරිත්‍යාගයන් මහත් පිටුවහලක්
විය.
"විසිතුරු දේවල් වලට
සල්ලි නාස්ති කරන්නෙ නැතුව ඉස්කෝලෙට ඕන කරන පොත් පත් ගන්ටයි
මං ඔය සල්ලි දුන්නෙ".
වරක් ජනක දුන් කිසිවක් ඇස ගැටුන පසු පුංචි අක්කා කීවාය.
ජනකගෙන් මට තෑගිභෝග ලැබෙන බව අක්කා දැන සිටියේ නැත. ඇය සිතන්නට ඇත්තේ ඇය දුන්
මුදල් මවිසින් නිකරුණේ වියදම් කරන බවය. අනුමානය එසේම තිබෙන්නට මම ඉඩහලෙමි.
"ඊයෙත් මට සලිලා මුණ
ගැහුණා".
ජනක සමහර දවස් වලට කියා තිබුණ බව මට මතකය.
ඊයෙත් කියන්නෙ පෙරේදාත් හම්බ වුණාද ? වරක් මම ආපිට
ඇසුවෙමි.
ඔව්! හැමදාම වගේ වැඩ ඇරිලා යනකොට සළිලා මට
කතා කරනව". ජනක එය සාමාන්‍ය දෙයක් බව අඟවමින් කීවේය.
"ඔයා වැඩ කරන්නෙම නැතුව ඇති එහෙනං. පාරේ යන
අය එක්ක කතා කර කර ඉන්නව මිසක්".
" කතා කරන්ට විශේෂ දෙයක් නෑ".
“මොකද අක්කා කියන්නෙ? අපි ගැන සැකද එයාට?”
"සචී, මං සළිලට කියන්ටද
අපේ සම්බන්දය ගැන?”
"එපා! එපා! ගෙදර අයට
දැන ගන්ට තියන්න එපා".
“මං නම් හිතන්නෙ සළිලා දැන ගන්න එක හොඳයි..." කියූ ජනක
කල්පනාකාරී විය.
මගේ හිතේ කොනක හීන් විදුලියක් කෙටුවේය. මම
එයින් සලිත වීමි. පුංචි අක්කා ජනක ගැන බලාපොරොතුවෙන් ඉන්නවා කියන එකද ජනක කියන්නෙ? ඒ නිසාද අපි ගැන
අක්කට කියන්ට තීරණය කරන්නේ? කලින් පටන් ගත්ත
තැනින් ආයෙත් මුලපුරනවද? මගේ හිතේ කෝටියක් ප්‍රශ්න...
හුඹහකින් මෙරු ඉගිලෙන්නා වගේ. කෙලවක් නෑ. ජනක මට බොරු කළාද? නිරාකරණය කර ගත යුතු ගැටළු පොට්ටනියක් මගේ හිතේ දැවටෙමින් පැවතිනි.
එදා රාත්‍රියේ මම ජනකට ලියුමක් ලීවෙමි.
පසුදින මා ඉස්කෝලේ ගියේ මවිසින් ලියන ලද
ලියුම පොතක කවරයක් තුළ බහා ගෙනය. පුංචි අක්කාත් මාත්
ටවුමට ගියේ එකවර නිසා ලියුම ජනකට දෙන්නට
නොහැකි විය.
“ අද හවස ඒක දෙනව”. මම සිත හදා ගතිමි.
(මතු බලාපොරොත්තු
තියාගන්න)
No comments:
Post a Comment