Thursday, 2 November 2017

මට හිතෙන හැටි

Federal ක්‍රමයකට එළඹීමේ මූලික​ අවශ්‍යතා වලින් එකක්, භූගෝලීය වශයෙන් " විශාල භූමි ප්‍රදේශ" ලෙස පවතින පාලන ඒකක රැසක්, පොදු  එකඟතාවකට එළඹ Federal හෝ සන්ධීය රාජ්‍යයක් ලෙස එකතුවී  බලතල බෙදා හැරීම. ඒ අනුව Federal හෝ සන්ධීය රාජ්‍යයක් මධ්‍ය ආණ්ඩුවත් ප්‍රාන්ත ආණ්ඩුත් අතර නිශ්චිතව බලතල විග්‍රහ කර  බලය බෙදා හැරීමේ ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය පිළිගෙන,  ඒ මත දෙපාර්ශ්ව තම තමන් ගේ බලතල පරිහරණය කළ​යුතු වෙනව​. ශ්‍රී ලංකාව වැනි රටක තනි ආණ්ඩූවකින් පාලනය කළ නොහැති තරම් විශාල​ භූමියක් නැහැ.

දැනට පාර්ලිමේන්තුවේ, රටට ඉසිලිය නොහැකිතරම් මහජන මුදලින් යැපෙන  ජන නියෝජිතයින් 225 ක පිරිසක් සිටියදී, ඒකීය රාජ්‍යයක් ලෙස, හැකිතාක් සාධාරණ සහ සමාන ලෙසත් මහජන අවශ්‍යතා ඉටු කරන්නට නොහැකි තිබේ. බලතල බෙදීම තුළින් වත්, මහජනතාව විසින් නඩත්තු කරන වරප්‍රසාද ලත් පන්තියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිමක් සකස් කරනවා මිස, Federal ක්‍රමයකට අවතීර්ණ වීමේ සැබෑ අවශ්‍යතාවක් අපට තියෙනවාද​?


දැනටත් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් සිටින නිසා, ඉන්දියාව සතුටු කිරීමට ජේ ආර් ගෙනා 1978 - 13 ව්‍යවස්ථා සංශෝධන පණත අහෝසි කර සෑම ජන කොටසක්ම​, සෑම ආගමික කොට්ඨාශය​ක්ම​, සමානව සාධාරණව පිළිගන්නට අපට බැරි ඇයි?

තිස් අවුරුදු යුද්ධයකට අවතීර්ණව​, රටේ තරුණ පරපුර ලක්‍ෂ ගණනින් බිලිදීමට සිදුවූ ඛේදාන්තය පිටුපස පැවති සැබෑ තත්ත්වය පිළිගන්නට තවමත් අපි මැළිවීම මොනතරම් අභාග්‍යයක්ද​?

සංක්‍රමණිකයින් ලෙස වෙනත් රටක ජීවත් වන අයට විවිධත්තවය තුළ එක්ව වාසය කිරීමේ පාඩම අළුතින් ඉගැන්විය යුතු නැත​. විදේශයක ජීවත් වෙනකොට,​ සමහර විට ඉතා සුළු හෝ අඩුපාඩුවක් වුණොත්අපට දැනෙන අපහසුතාව නැත්නම් "මදි පුංචිකම"ගැන අපේ හිත් වලට දරා ගන්ට ටිකක් අමාරුයි වගේ. ඒ වුණත් අපි අනුන් ගේ රටේ ජීවත් වෙන්නේ අපේ වගේ. ඒ අපට නීතියෙන් රැකවරණ තියෙන නිසා.

නමුත් අපි උපන් රටේම ඉපදිලා, පරම්පරා ගණනාවක් ජීවත්වුණ ජනකොටස් කෙරෙහි අපි ඔරොප්පු වෙනව​. ඇයි? රට අපේ! විජය අත්තට කුවේණි අත්තම්මා විසින් දීපු රට​. නැත්නම් විජය අත්තා විසින් කුවේණි අත්තම්මා  rape කරලා,  උන්දෑට ළමයි දෙන්නෙකුත් දීලා, උන්දෑව අතරමං කරලා, අපේ පරම්පරා වල හැම මිනිහම විවාහ වෙන්නට කන්‍යාවියක් හොයන විදියටම, බද්දකච්චායනා ගෙන්වාගෙන මඟුල් කාපු රට​. නමුත් අපි අනුන් ගේ රටවල් වල බොහොම සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙනව​ (Enjoying multi-cultural flavor!)

රටක් ලෙස විවිධත්ත්වය තුළ එක්ව සිටීම​, බෙදී සිටීමට වඩා කොයිතරම් ශක්තියක්, වාසියක් ආඩම්බරයක් ද​? ඉර​-හඳ වගේ පෙනෙන්නට තියෙන ඒ සත්‍යය තේරුම් ගන්නට බැරිතරම් අපි ගෝත්‍රිකවාදීන් වීම වගේ දුක්ඛ සත්‍යයක් තවත් තිබේද​?

"Every kingdom divided against itself will be ruined, and every city or household divided against itself will not stand” (Mat. 12. 25).

මල්ලිකා එම් බණ්ඩාර​
 2.11.2017

No comments:

Post a Comment