එළිමහන් රඟහලේ මද අඳුර ගලන සඳ
මියුරු ගී තනු මුසුව හමන මඳ නල සමඟ
රොබෝරෝසියා මල් පෙති හැලෙන කණිසමේ
රසිකයින් අභියසට
සෙමෙන් පියවර මනින
අඩ අඳුර කපාගෙන
වේදිකාවේ රඟන
නුඹට පෙම් බැන්ද මම
දස පෙරුම් පුරන සඳ
නාදන් එකේ සිට
කලාගාරෙට නුඹ යනෙන විට
කලාගාරෙට නුඹ යනෙන විට
හිල්ඩා මැදුරු බඳ
තෙල් බැම්ම ළඟ රැක හිඳ
පෙරළුවෙමු, ඇද්දෙමු.
ඒත් හතරැස් වුණේ නැත “හඳ "
නුඹෙ සිත පැහැර ගත්
දෙටුවෙකු අදිසියේ විත්
උගෙ රාජධානියේ
කළෙන් නුඹ අභිසෙස්
නුඹෙ වත මහද ගැබ
එකම බිතු සිතුවම විණි
දසක හතරක් ගෙවී, සුහද හමුවකදි
යළි හමුවුණා අපි හන්තාන අඩවියේ
අතින් අත ගෙන තාම
උයන්තෙර පෙර සේම
හෙමින් පියමං කරන
වියපත් පෙම් යුවළ
දුටිමි - හැඳිනිමි - දැක;
සුසුමක් මුසු කළෙමි
හන්තාන වැටියටත් ඉහලින්
හිස් අහස් තලයට
මල්ලිකා එම් බණ්ඩාර
21. 07. 2013