Thursday, 25 October 2018

රිදී බැඳි ඇල්ල ළඟ


රිදී බැඳි ඇල්ල ළඟ තොටමුණ ගාවා
අත්වැල් බැඳ දියට පැන​ අපි දිය නෑවා
සුදුවැලිතලේ තරඟෙට කවි ගී කීවා
ඇඟලුම් කමටදෝ දුර ගමනක් ආවා

කොරකහ මල් පිපුණ ඔය අද්දර දෙණියේ
මහ කුඹුකේ හෙවන යට ඉඳ වැලි කෙළියේ
දුව පැන ඇවිද  එක රොත්තට හති ඇරියේ
සුහුඹුල් කැකුළු සේ පීදී දවසැරියේ

යායේ ගොයම රන්පාටින් වැනෙනවලු
රෑ මැදියමේ වස් දඬු නිදි වරනවලු
පානේ සිළුව මද සුළගේ වැනෙනවලු
සෑයක් උසට බැති පෙම හිත වැඩෙනවලු

දුර ගම් තුලානේ ඉඳලත් ඉව අල්ලා
පෙලවහ ගන්න කවුරුන්දෝ ඇවිදිල්ලා
කණපින්දම් කරයි හිර හිදලන් ඉල්ලා
හනිකට වචනයක් දෙන්නට බලපල්ලා

මල්ලිකා එම් බණ්ඩාර​

21. 05 .2012 -

No comments:

Post a Comment