මුවාවෙන්නට ගහකුත් නැති
වැට ඉණි නැති මඟ තොටේදී
රතු වැස්ස වහීදැයි,
අකල් වැහි කෝඩයට නුඹලාව තෙමේදැයි
හිත කොනක තනිවෙච්ච
කනස්සල්ලක් තියේ පැලවෙලා
වනගහන හිඟ බැවින්
ගම් දනව් සිසාරා
වග වලස් වන සපුන්
ඉණි කඩොළු බිඳුන ගම් මායිමේ
නුඹලාගෙ දොරකඩට
ගොදුරු සොයමින් ඇවිත්
දොරපළුව පෙරලාන
දෙතිස් වද පමුණතැයි
ළදල්ලක් වෙලා හිත සැළෙනවා
රළු පරළු හිරු සමඟ
නියංකල එළඹෙද්දි තේජසින්
සා පිපාසිතව දියමං කඩට
උන්ගෙ හෙවැනැළි වැටී
කැළඹිලා බොර වෙතැයි
සාංකාවක් හිතට දැනෙනවා
කුසපොත්ත නොපිරුණත්
රැක බලාගත් යාය
කිරිවැදෙන්නටත් පෙර
හිනා පීදුණු මූණු මළවාන
සොර සතුරු කැළ ඇවිත්
කපා යාදැයි බියෙන්
තැතිගැන්ම ළයේ පිළිසිඳෙනවා
ගම්මාන අගුපිලේ
සුසානෙක නිහඬබව
සුසානෙක නිහඬබව
යළි අරක් ගනු ඇතැයි
දෙගිඩියාවකින් හිත වෙළෙනවා
වටුකුරුළු මසට ගිජු
වැදිදනා එළන දැල
වැදිදනා එළන දැල
වටුකුරුළු රැළක්සේ
එකාමෙන් එක්වන්ව
එකාමෙන් එක්වන්ව
අරන් ඉගිලී යන්න
පුතුනි සිහියට ගන්න
විවර ඇහ කණ ඇතුව
එළඹි සිහියෙන් යුතුව
මා සෙනේබර පුතුණි,
එළඹි සිහියෙන් යුතුව
මා සෙනේබර පුතුණි,
දවසරින්නට හිතට ගනිල්ලා !
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment