ඔහේ නිකමට වගේ “මුහුණු පොත” පෙරලද්දි
ඇහෙයි බණ අණ මෙන්ම ගුණ අගුණ හැම
දේම
මියැදි, ගිළිහුණු සැවොම තුරුළු කරගනු පිණිස
දරණ අපමණ වෙහෙස දකින එක සෝබරය
නොවෑවෙන වත පුරා විසිර ඇත පිණි කඳුළු
විරහ ගී අඳෝනා විනිවිදියි ඇට මිදුළු
බෝසතුන් සසර සැරි සරණ බුදුබව පතා
තෙමි තෙමී මුරුගසන් වරුසාව වැටුණදා
මුචලින්ද නා තෙමේ හිඳී සේසත විදා
උරින් උර තරඟයට පෙළගැසුණු තෙරපිලා
සැඩ සුළං වැහි අකුණු හඬට හිත කැළඹිලා
ඔඩු දිවූ වණ කැළැල් මැද අතරමං වෙලා
නොපිපුණාදෝ සැබෑ පෙම හදේ පඳුරුලා?
හණ මිටිය අතනෑර ඉලක්කෙට ගිනි බිඳින
"ප්‍රේමයේ
ලේබලය" ඉරාදා හිටිවනම
කඳුළු කුසලාන අත දරා සව්දිය පුරන
කුමරුවන් තක්සලාවෙන් නික්ම වල් වැදින
බිඳුණ පෙම්පුරාවත සජ්ඣායනා කරන
අතීතයෙ මළගමට හූල්ලා පැන් වඩන
උරුමවූ ඇත්ත ඇති සැටියෙන්ම නොපිළිගෙන
වෙහෙස අපමණය මළකුණපයට පණ පිඹින
හඬන පෙම්වතුනි සරසවි පෙමට ඉකිගසා
නුඹ මෙන්ම ඇයද අන්සතුව පවතින නිසා
අතහලේ නම් යමක් කුමට දොඩමුද මුසා
මරණයේ දොරකඩදි හිඳින් සිත නොකෙළෙසා
වෙහෙසකර ගමනේදි සිහිල ලද සෙවන වැස
අතු කපාලීම මිනිසත්බවට හොබනේද?
සුසානය වෙත මියැදි අතීතය ඇරලන්න
සොඳුරු අද දවස අස්වනු කපා ගෙට ගන්න.
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment