Monday, 8 October 2018

හෙට නොඑනු ඇත​

දළ සුළඟ වැද​ ළපළු පත් වුව
කල අකල නියතයක් නැතිවම
පොර බදා වෙහෙසින් හැළීයන
සැඳෑ සමයයි මේ

එකතු කළ නව රටා යහමින්
සොබා දහමට අරුත් බඳිමින්
වසන්තය අග බලා හිඳිනා
නැඟුන හිරු නිහඬව ගිළීයන
සරද සඳ සමයයි

නැවුම් අතු ඉති ළපළු ගන්නා
මෙහෙය නිමවා ගිමන් නිවනා
විරාමයකට  ඉඩ හසර දී
පහන් සිතුවිලි නෙතග තවරන
සැඳෑ සමයයි මේ

ළබැඳියන් පෙර පසු ගමන් නැති
සමු ගැනුම් හෝ සුබ පැතුම් නැති
හුදකලාවේ උණුහුමට ළැදි
එළඹ ඇතිමුත් වැළඳ ගනු බැරි
සැඳෑ සමයයි මේ

අතින් අත ගෙන පා තබන මුත්
හිතින් ගව් ගණනක් දුරස් වන
නෙතින් සමු දිය යුතුය අයදින
සොඳුරු තොටුපොළ අසල තනිවෙන
සැඳෑ සමයයි මේ

මල්ලිකා එම් බණ්ඩාර

10. 09. 2018


No comments:

Post a Comment