Friday, 29 May 2020

දොරට වැඩීම​

කඳු වැටිය දැදුරු කර
හේවිසියගිඟුම් දෙන
දවුල් හොරණෑ හඬට​ 
මිහිමඬළ සවන් දෙන 
ල් පහන් සුවඳ දුම් 
වාතලය සනසවන​ 
අසිරිමත් හෝරාව​ 
උදේ​ තේවා මුරය​!

දළදා වීදියේ පදික වේදිකාවේ
අම්මාගෙ උණුහුමේ වැතිර හිඳ
පොසොන් පෝදා රැයේ 
පිපෙන තරු මල් ඇහිඳ​ 
පුර හඳට හිනාවුණ
දොළොස් හැවිරිදි වියේ
දැරිවි මම​! 

යාන්තම් දෑස් පියවෙන වෙලේ
මාව දෝතට අරන් මැඳුරු දොර
ගෝණි කඩමාල්ලක හොවා
තුරුළු කරගත් පහස,
වළාකඩ දෙබෑකර හඳ එබී බලන සඳ
සනිටුහන් කර ගතිමි  
දානපති මුදලාලිගේ පුතා,
ලොකු බේබිගේම බව.

මිහිර අමිහිර මුසුව 
ඉහ මොළ දැදුරු කළ,
එහෙත් හිත ලොබ බඳින
යළිත් ඉල්ලා හඬන
අති මධුරවූ සුවය!
මොහොතකින් නිමාවිය

රත්වණින් පෙඟී ගිය​ 
මගෙ ගවුම් කඩමල්ල​ 
වළා බැම්මේ එතුන මීදුමේ 
උළුපැන් ගෙය අසල 
ශුද්ධවූ වැව් දියෙන්
සෝදලා දුන්නෙත් අම්මාය. ​

ඇගේ තේවා මුරය නිමා විය.
මේ මගේ වාරයයි!
දොරට වැඩි දා ඉඳන්
අතින් අත මාරු වුණ​, 
සන්නසක් නැති ගම්වරක් වැනි
වීදි දරු දෙදෙනෙකුට මව් වී
"ගිනි සිහිළ" අභිදාන ලද්දී, 
වීදියේ නිල නොලත් 
රැජින මම වෙමි අදත්!

මල්ලිකා එම් බණ්ඩාර

1995



නිට්ටාව​

කඳුළ කැටයම් නෙළන රෑයම​
පිපී පරවී ගහේ පාමුල​
වැතිර සුදුමැළි වතින් නිසලව​
විරාමෙක සුව වළඳනා සඳ​
හිතින් අප​ ගං දෑල වාගේ
දුරක හිඳ අත වනනවා හැර​  
යා නොවන්නට කිමද කාරණ​?
අබිලි පාරුව ගඟේ පාකර​
අත්වැලක් බැඳ ගනිමු මේ වර​ ​

මල්ලිකා එම් බණ්ඩාර​



29. 05. 2020


කඳුළ​

සුරල් පද තාලයට
වරල් සලනා 
මීන ​නෙතු අග​ 
නිදහසේ තෙතමනය​
තෙරපුණා කඳුළක්ව​
වාන් දොර බිඳගෙන
දියවී ගලන්නට​.


කුහක මිනිසුන් ගේ
කටු සැමිටි පහරින්
යළි සිරගත නො​වී
බේරී සිටින්නට​
සිසිර සමයේ මිදුණ​
හිම කැට පිළිමයක් ​
නිරාවරණය විණි
සැඩ හිරු කිරණට​.


මල්ලිකා එම් බණ්ඩාර​


29. 05. 2020







Thursday, 28 May 2020

පින් - පව්

අපුච්චා හදපු කණ කර පළඳාන
විලක්කුව වගේ දස අත බබලාන
වලව්වේ හාමු ගන රන් කදසේම
තිරික්කලෙන් වැඩියා අද උදයේම​ ​

ඉණවට හවඩි අත රන් මුදු  පුරවාන​ 
පට සළු අඳින පය පාමුදු සරසාන​
තුට්ටු දෙකට ඉල්ලා  සවරන් බාන​
හෙට්ටුකරනවා ලංසුවකට තාම​ 

බත් ඇති තැනකටම කොස් ලැබෙනා සේම
හැට අමුණක්ම ගොඩ මඩ අසද්දාන​ ​
ඇත්තන්ම විඳ රජ සැප වරදාන
නැතිබැරි අපට දත නියවනවා බෝම

කරපිංචා නටුව කන් පෙත්තට දාන
මං ගැන හිතා පිං මඳකම උහුලාන 
රන්කම් කරන රන්නයිදෙගෙ දූ වීම

අනේ අපුච්චා ඉවසන්නද කෝම?



මල්ලිකා එම් බණ්ඩාර​
28. 05. 2020



Wednesday, 27 May 2020

එකම නුවර​


සසල දිය රළ නිසල වී ඇත​
විසල් නුවරම නිහඬ වී ඇත​
සිහින් සර පහරක් ලෙසින් ඔබ​
මගේ මතකයෙ දිගාවී ඇත​

තුමුල කඳුපෙළ  පිස හමා එන
සුළඟ  ඉකිබිඳුමක්ය වැළපෙන​
දෙනෙත් යුග හැර බලනු කෙලෙසද​
එදා අප​ දුටු සොඳුරු වැව්තෙර​

පිදූ මල් පර වෙලා මලසුන​
බිඳී සිත  රැඳි දැහැන නිසසල​
නිවී  ඇත​ දැල්වූ පහන් සිළ​ ​
හිඳී යන බව දැන නුවන් විල​

සීත දියරළ පතර කැළතී
මෑත ඉවුරේ හැපී වැළපේ
ගීතයක් වී ඇසුන පෙරදා
යාතිකාවන් රිදෙව්වා සිත 

මල්ලිකා එම් බණ්ඩාර​

10. 09. 2018





නා සෙවනැල්ලේ -



බෝමළු වෙහෙරේ නා සෙවනැල්ලේ
කවි ගී  මුමුණා මද පවනැල්ලේ
සොඳුරු ළමාවිය ගෙවුණු සඳැල්ලේ
අකුරු ලියන්නට මුදු සුදු වැල්ලේ

ගණ්ඨා නාදය සවණ පුරන්නේ
බුදු මැදුරේ මල්සුවඳ සරන් නේ
බෝපත් සිළි සිළියෙන් ලෙළ දෙන්නේ
ළපටි ළමෝ හිඳ අකුරු කරන්නේ

ජීවිත ගමනේ කණු මුල් අරවා
විදු ණැන පහනින් ගණදුර හරවා
ශිල්ප සතර ලද ඒ බණමඩුවේ
බවුන් වඩමි සිත බැතියෙන් පුරවා 

මල්ලිකා එම් බණ්ඩාර

04. 10. 2018

Sunday, 24 May 2020

ඉල්මහ වැහි

මල් පියවිළි මත ඇවිදින එවන් සොඳුරු සැන්ඳෑවේ
මල් වැහි ඇල්ලට තුරුළුව නුඹ සේසත ඉහලූවේ
ඉල්මහ වැහි කෝඩයකට අපි දෙන්නා අහුවූවේ
මොර සූරන වැහි වටදා මං විතරද​ තනි වූවේ?

නුඹ අතැර​ යන බවට නෙක වහසි බස් ගොතා
කණ වැකුණ සැනෙන් පිටමං නොවන් නොම සිතා
කුමට සැසලෙනු නුඹේ දෙපා වැර  නම් ඉතා
නැඟිටපන් තවවරක් නුඹ වැටුණ බව හිතා 


මල්ලිකා එම් බණ්ඩාර​

 2018

Friday, 22 May 2020

අම්මාගෙන් ලියමනක්!


දුකයි මට නුඹ දුකින් දැක්කම​
ඇතත් එඩිතර කම හිතේ
මොකක්දෝ මහ මෙරක් උසුලා
සිටින  බව පෙනුනා පුතේ

දරා ගන්නට බැරි වෙලාවට
ගැහැණු අප ඉකි බිඳිනවා
ඒත් ඒ දුක බෙදා ගන්නට
බැරුව දහ දුක් විඳිනවා

ගැහැණියක තම හිතේ ගින්දර
දරා ඉවසා සිටිනවා
ඒත් ගෙයි ගිනි පුපුරු හුළඟේ
යා නොදී රැක ගන්නවා

ලෝදහම රිය සකක් වාගේ
ගල් බොරළු මත ඇදෙනවා
නුඹත් මිහිකත සේ අකම්පිත
වීම යෙහෙයැයි හැඟෙනවා

දයාදර වත හිනා රැල්ලක්​
සිහිල් දිය උල්පතක් වාගෙයි 
ජීවිතේ දිය දහර ගම් බිම් 
දොවන ගංඟා තෙරක් වාගෙයි

තරහ ගිනි මැළයක් වගේ නම්
එගිනි නිවනා මඟ නුඹයි
නිවුන හිතකින් බෙදන දියවර
පවස සරතැස දෙක නිවයි

ඉවසපන් ඉවසන්න බැරි තැන​
පෙරමුණේ සෙබළියක සේ
ගවසපන් මල් සිනා කඳුළින්
පෙඟුණ නුඹෙ දිරිමත් හිතේ

මල්ලිකා එම් බණ්ඩාර
1. 05. 2020

Thursday, 14 May 2020

මව්වරුන් ගේ දිනය




කරදඬු උස්ව පිරුණත් උන් හැට වියට
ඇගෙ දරු පැටව් කිරිදරුවන් මය ඇයට
මුළු ජීවිතය කැපකර පුදකළ දැයට  
දවසක් වෙන් කරන්නේ  කුමටද මවට​?

දරුවන් කුණු කිළිටි නිති සෝදන්නීය
මරුවන් වුවත් උන් පව් දෝවන්නීය
ඇය නුදුටුව ලොවට මඟ පාදන්නීය
සිව් බඹ විහරණෙන් තුටු වන්නීය

ජීවන රඟ මඬළ පිටුපස රඟන හිඳ
අදියුරු දරුවන්ට ජය තිර කරන ලද
සව්දිය පිරූ උන් අබිසෙස් ලබන සඳ
රණ සෙබළිය ඇයයි සිව්රඟ සෙනඟ මැද  

මල්ලිකා එම් බණ්ඩාර

10. 05. 2020