Wednesday, 31 August 2022

ගණිකා මඩම සහ ගණිකාවෝ

 ගාලුමුවදොර තැළෙන තණපත්

ගැනත් දුක්ගී ලියවෙනා  

දොරින් දොර කිරි බිඳට හඬනා

ළදරු හඬ කණ නොවැකෙනා 


ගව් ගණන් දුර පෝලිමේ දිග

දකින ඇස් ගෙඩි අඳ වෙනා

දෙකොණ ගිනිගත් පන්දමේ අග

රටත් රැටියොත් දැවටෙනා


ජාතියේ මහ රාජානෝ යළි

සළුව කැස පට කවනවා

උන්ගෙ ගැත්තන් මකුළු දැල් පිස

කිරීටය ඔප දමනවා

තවත් සැරයක් වන්දනාවේ 

යන්ට වහලුන් හදනවා


අයනු ආයනු නොදත් දරුවන්

ගෙදර හිරකර තියනවා

ටිකක් කරදඬු ඇදී එනකොට

වහල් මෙහෙයට යවනවා.


නාකි බල්ලන් පෙරහැරේ ගොස්

අම්බලම තුළ ලගිනවා                

අළුත් ලෝකය නොදත් කමටම

තරුණ උන්ටම බනිනවා


කාසි වැස්සේ ගඟුල මැද හිඳ

සියළු යසිසුරු විඳිනවා

ව්‍යවස්ථා කඩමල්ල අඹරා

තෝන් ලණුවක් දමනවා


කාසි පොදියේ බරට සරියට

බලය දෙපසට කිරනවා

ඇතොර මුරකාවල් යොදන්නට  

සෙබළ ගණ කර අඹනවා 


අයෙත් අර හිරගෙවල තපිනා

උන්ට බැන අඬගසාපන් 

යාන්තං ඇද ඇරුණ කොඳු ඇට​

සදහටම බිඳ දමාපන්!


මල්ලිකා එම් බණ්ඩාර 

 19. 08. 2022


ඉස කුඩිච්චිය

 



රට ගොඩනඟන්නට එනතුරු දියසේන

සයිබර් පවුර මත නැඟ හඳ අතගාන

මිනිසුනි, රාවනා මළකුණ ගොඩදාන

ඇස් ඇර බලව් පවතින මොහොතම පේන

 

කටවාචාල කම් නරිවාදන්  මැද්දේ

නායකයෝ උලාකා රට දෙති සුද්දේ

ළිං මැඩියෙනි යොමා නෙත, නවතා සද්දේ

මිනිසුන් වෙයල්ලා අවසන් කර යුද්දේ

 

ජාතික සමඟියට පිඹ පිඹ ගිනි අඟුරු

මොලවනු කුමට ගිනි දළු ළංකර පිදුරු

අතහැර නොදැමුවොත් කඩුපොළු දඬු  මුගුරු

ලේසිය නහන්නට අබිමන් දැය සොඳුරු

 

දියකඳ දෙබෑ කරගෙන විරුවන් පේවී

එනතුරු නොඉඳ තම ණැන පමණින් හාවී

අත්වැල් නොබැඳ නැඟිටින්නට බැරි වේවී

දහිරිය වැඩුවොතින් දිනු බිම සුරැකේවී

 

වරදට ඔවාදී නිවැරැදි කර පල්ලා

රජුටත් දුගියටත් නිසි තැන දීපල්ලා

දුදනන් සබා මැදවුව පිටු දැකපල්ලා

අත පය වෙහෙසලා කට සොලවාපල්ලා

 

මොළ කළඳක් ඇතොත් තරමට මංචාඩී

වින කළ උන්ව පිටුදැක ලාගෙන වාඩී

ගලවා පැළඳ ඇති නෙක පැහැ කණ්ණාඩි

පලවා හරිව් අම්බලමෙන් ඔය​ ආඬී!

 

මල්ලිකා එම් බණ්ඩාර

30. 08. 2022

Friday, 26 August 2022

නුඹ ආවා


 තරු කැකුළු මල් පිපෙන යාමේ

අඳුරු සළුවෙන් වසා සියොළඟ

කඳු සිරස නිදි සුව සොයද්දී 

ළපටි සඳපත සදිසි නුඹෙ වත

මද සිනා නැඟුවා..මගෙ ලොවට ආවා.

 

නීල මිණිකැට වගේ දිළියෙන

යාන්තම් අඩවන් නුවන් අග

ලිහී ඉහිරෙන ගීතයක පද

තල්පතක්සේ ​ පන්හිඳක් ගෙන

මගෙ නෙතේ ලීවා...මගෙ හිතේ ලීවා...

 

බිඳෙන දුනුදිය අගින් ගිළිහී

මිදෙන ඊතල පෙළක් වාගේ 

මගේ හදගැබ පතුළ ඇමිණී

සුවහසක් සිතුවිලි වෙලාගෙන

නුඹ හෙමින් ආවා...ආවා.....නුඹ මවෙත ආවා...

 

මල්ලිකා එම් බණ්ඩාර

26. 08. 22

Thursday, 25 August 2022

උරුමය​



ඉහිරුණ සුදු වැලි තලයේ

සේපාලිකා මල් අහුලා

ගොතා නුඹේ ගෙල පැළඳූ

මල්දම කෝ සුරතලියේ?

 

ඉරටු කෑලි වල අමුනා

පැළඳූ කොස් කොළ ඔටුන්න

නුඹේ විජිතයේ රජකම

තවමත් උරුමද කියන්න

 

ලෝල වඩන මුදු වදනා

සඳුන් අඳුන් සිත තවනා

ගිළිහී ගිය හිත නිවන්න​

සිනා පොදක් එවාපන්න

 

නේක ඉසුරු පිරිවර මැද

බරවුණ හිත පහන් වෙන්න

බාල වියේ කුමාරියේ

යළි මගෙ ලෝකෙට වඩින්න

 

මල්ලිකා එම් බණ්ඩාර

25. 08. 2022


Wednesday, 17 August 2022

යළි නොයන්න

සීත සුළඟේ​ රැඳී ඇදෙනා

වැහි වළා සළුවක් වෙලා

මගේ හද ලෙන මතට ඉහිරෙන

හීන් මල් වැස්සක් එලා

 

වැටෙන සිරිපොද​ ගීතයක් සේ  

මා සවන් යුග​ තවරලා

හෙටත් එනුමැන දුළා නයනත

සිනා ගඟුලක්​ අතුරලා

 

දැවුන​ මිහි ගැබ​ දොවා සනහන​

නිබඳ මා සිත​ නිවන කළඹන​

​මියුලැසිය නුඹ යළි නොයන්නට​

මගේ දිවිලෙන පහන් කළමැන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

17. 08. 2022

Monday, 15 August 2022

පරාජිත සෙබළිය

පරාජිතවූ සෙබළියක ලෙස​

පළායන්නට සිදුවුණා මට​

පෙරුම් පිරුවා බවුන් වැඩුවා

සිහින පහයක ගිමන් හැරියා

නුඹේ විජිතය දිනාගන්නට​

කිරුළු අබිසෙස් ලබාගන්නට​

 

දහස් අබිසරු ළියන් අතුරින්

මගේ රුව නුඹෙ සිතෙහි සැරුවා

බිඳුණු දුනු හී පසෙක හැරදා

පවුරු පදනම් දූලි කරවා

ඉසුරුමුණි පෙම් යුවළ වාගේ

දවසරින්නට පෙරුම් පිරුවා


ගම් දනව් මාළිගා කෙත්වතු

සමඟ භව භෝගයෙන් පුරවා

තව දනව්වක් දිනාගන්නට​

මාව තනිකර ගමන් පිරුවා


තුන් හිතකවත් නොවූ අයුරින්

මගේ විජිතය සසල කරවා

රුවන් මිණිමුතු දුහුල් සළු දී

නා ලොවෙන් ආ ​ එරන්දතියට

නුඹේ සිහසුන උරුම කරවා

රැජින ලෙස අභිශේක කෙරුවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

14. 07. 2022