Sunday, 14 August 2022

නිකිණි වැහි

 

නිකිණි පාළොස්වකේ සඳ මෝරනා දිනක​

පැළදිගින් හිරුමඬළ ගිමන් හරනා කලක 

ලෝක සිතියම කොනක අඳුරු වැහිබර දිනක​

වැහිළිහිණි දූතයින් රඟති  දුනුදිය  පෙතක

 

අකල් වැහි පුරාගෙන ගම් දනව් දොවාගෙන

වැව් අමුණු බිඳෙන්නට එපා ඇද වැටෙන්නට

දොරෙන් දොර නුවන් දොර ඉකිබිඳෙන කණිසමේ  

එපා හිරිකඩ වැස්ස ගම්දොරට වඩින්නට

 

නැතත් ඔද තෙද ගතිය ලද නැවුම් යෞවනේ

අදත් අපි බලාගෙන ඉන්නවා පිල්කොනේ

කෙතක් අස්සද්දන්න ඇස රැඳෙන මානයේ

හෙටත් වැහි වළාවක් පමාදව එනු මැනේ

 

අඳුරු වැරැහැලි එතී ගම නිදන යාමයේ

සඳ රැහැන් ​ගෙනෙනු ඇත​ පණිවුඩය සාමයේ

ගිජුළිහිණි සැරිසරන අඳුරු ගුල් මානයේ

ඉඳින් ඇහැ කන ඇතුව වියපු සුභ සීනයේ

මල්ලිකා එම් බණ්ඩාර​

13.08. 2022

No comments:

Post a Comment