Wednesday, 21 June 2023

මගෙ ගුරුතුමා

           

“අත්තක දොඩම් මට තනියම කන්ට බැරී

ඒදණ්ඩේ මට තනියම යන්ට බැරී

පුංචි ගොයම් පැළ මට උදුරන්ට බැරී

මගෙ ගුරුතුමා සිහිවන විට ඉන්ට බැරී”

ප්‍රථම වතාවට මං ඉස්කෝලේ යන්ටත් ඉස්සර මේ කවිය දැනගෙන හිටියා මතකයි. කාලයාගේ ඇවෑමෙන් කවියේ අර්ථය හොඳටම පැහැදිළිවු වුණේ පන්ති කාමරයේ අත්දැකීමක් විදියට​.  මේ කියන කතාව මගේ මතකයේ රැඳුන​ ගුරුතුමෙක් ගැන. ඒ වුණාට ඒක ගුරු ගීතයක් නම් නෙවෙයි. 

මං හතරවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලෙ මගේ උස අඩි 4යි අඟල් 4යි. පන්තියේ උසම ළමයා. අපි මෙට්‍රික් යුගයේ නෙවෙයිනෙ, ඒ නිසා අඩි අඟල් මිස මීටර් සෙ.මි භාවිතාවේ තිබුණෙ නෑ

ශිෂ්‍ය සංගණනයක් සඳහා පන්ති භාර ගූරුතුමා අපේ උස මැන්නා. ඉස්කෝල බිත්තියේ පැන්සලයකින් අඩි හතරක උසක් සටහන් කර තිබුණ. පන්තියේ ළමයි අතර අනික් හැමෝම අඩි 3 අඟල් ගණන් වල හිටියේ. මගේ උස අඩි හතර ඉක්මවා යනකොට​ ගුරුතුමා, "මේකී, අඩි වලින් නෙවෙයි “පර්ලොං” වලින් මනින්ට වෙයි " කියලා නැවත අඟල් හයක් බිත්තියේ සටහන් කර මිණුම අවසන් කළා. ගූරුතුමා ගේ කතාවට පන්තියේ හිටිය හතළිහක් තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිනාවුණා. මමත් හිනාවෙලා පන්තියේ වාඩිවුණා, ටිකක් විතර ආඩම්බරයකින්. පන්තියේ උසම ළමයා මමනෙ.

නවවන ශ්‍රේණියේදි, මම අඩි 5යි අඟල් 3ක් උසයි. මේ ගණිත ගැටළුවක් එහෙම නෙවෙයි. නමුත් ගැටළුවක්! මගේ පන්ති භාර ගුරුතුමා අඩි පහක්වත් උස නැති තරුණ ගුරු භවතෙක්. අපිට භූගෝල විද්‍යාවඉගැන්නුවා. පන්තිභාර ගුරුවරයා ලෙස ඔහු, පැමිණීමේ නාම ලේඛණය ලකුණු කිරීමේදී අපි නැඟිට ,  "present" කිව යුතුව තිබුණා. ගුරුවරයා සිසුන් එකිනෙකාගේ නම කියා මුහුණ දිහා බලලා තමයි නම     ලකුණු කළේ. මම පන්තියේ ඉදිරි පෙළ කෙලෙවරේ  වාඩිවෙලා හිටියේ. මගෙ නම අඬගැහුවාම මමත් නැඟිට “present” කීවා. ගුරුවරයා පන්තියේ ඉදිරිය බැලුවා පන්තියේ කෙලවර බැලුවෙ නෑ. පන්තියේ ළමයි ඉදිරි පෙළේ හිටිය මා දිහා බැලුව නිසා ගුරුතුමාත් ළමයින් ගේ ඇස් දුවන කෝණය අනුව පන්තියේ වම් පස ඉදිරිය දෙසබැලුවා. ගුරුතුමා ඇඳි පුටුවේ ගිලා බැහැලා වගේ වාඩිවෙලා හිටියෙ. 

මගේ මුහුණ පේන්නට නම් ඔහු උඩ බැලිය යුතුව තිබුණා.

“අඃහ්! අර දකුණු පළාතේ පෙරහැරේ යන මහබඹා වගේ විරාජමාන වෙලා ඉන්නෙහ්! මට ඉණිමං බඳින්ට වෙයි මූණ බලන්ට” ඔහු                   උපහාසාත්මක ස්වරයෙන් කීවා.​ ඔන්න ඒකටත් ළමයි හිණාවුණා කියමුකො.

"මේ… මගෙ බෙල්ල උළුක්කු වෙයි. වාඩිවෙලා උත්තර දෙම්මු හොඳේහ්". කියලා මට වාඩිවෙන්ට අතින් සඥා කළා.

දැන් ඉතින් මගෙ ගුරුතුමා භූගෝල විද්‍යා විෂය උගන්නනව. මම පාඩම සම්බන්ධ ප්‍රශ්ණ වලට          නිවැරැදිව උත්තර දෙනව.සිතියම් ලකුණු කිරීමත් හරි කියමුකො.                                                      ඒත් සිතියම් ඇඳීම ගැන හැමදාම බැණුම් ඇහුව​.

"මේ ළමයගෙ වැඩ වල කිසි කලාත්මක භාවයක් නෑ (ගුරුතුමා, ප්‍රමාණයටත් වඩා බර කරලා මහා ප්‍රාණ උච්චාරණය කරනවා)​මම මගේ ඇට්ලස් පොතේ සිතියම් හැකි තරම් සැලකිල්ලෙන් පිටපත් කරගෙන​ අභ්‍යාස පොතේ අඳිනව.​ඒත් ගුරුතුමා මොකක් හරි අඩුපාඩුවක් කියනව​.

දවසක්, අපේ පන්තියේ හිටපු හැමදාම ප්‍රශංසා ලබන මගෙ යාළුවෙක් ලවා ලෝක​සිතියම අන්දවාගෙන,​මං ගුරුතුමා එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නව.​ගුරුතුමා කළු ලෑල්ලේ ස්ථාන නාම දහයක් ලියලා, අපිට ඒවා සිතියමේ ලකුණු කරන්ට කිව්වා. අනික් ළමයි වගේම ​මමත් ලෝක සිතියමේ නිවැරැදිව ස්ථාන නම් කරලා සිතියම බාර දුන්නා.

මගෙ යාළුවාට දහයෙන් දහයම ලකුණු දීලා තිබුණා. මගේ සිතියම අතට අරන් ගුරුතුමා ඉදිරි පෙළේ කෙලවරට ආවා. සිතියම මුළු පන්තියටම හරවලා ගුරුතුමා කියනව​, "පේනවා නේද? මේක්ක, කැත්තේ උදැල්ලේ වැඩකරනැහ්, හැඩ්ඩි දැඩ්ඩි පුරුෂයෙක් ගෙහ්, අතකින් කරපු වැඩක් වගේ. සිතියමක් ඇඳගන්ට බෑ කලාත්මකව"​.

උණහපුළුවෙකුගේ වැනි ඉදිරියට නෙරා ගිය ඇස් කරකවල,​ ගුරුතුමා මං දිහා රවාගෙන හිටියා.

මමත් ධෛර්යය උපදවාගෙන නිදහසට කරුණු කීව​.

"සර්, මං සිතියම ඇඳ ගත්තෙ ස්වර්ණා ලවා".

"අන්න දැක්කද​? 

“දැක්කද​? හොර හිත. හොරකමකුත් කරලා තව මදිවට නිදහසට කරුණු කාරණා කියන්ටත් එනව​".

"හොරකම් කළා නෙවෙයි" මම තොල් තද කරගෙන කීව​.

"හොරකමට පුරුදු වුණාම​, අර ගමරාළගෙ දුව දීග දෙන මඟුල​ දවසේ වගේ අතාරින්ට බැරි පුරුද්දක් ඇතිකර ගනියි".

ගුරුතුමා දෑස් කරකවලා මුළු පන්තිය දිහාම බැලුවා. පන්තියේ උනුත් ගුරුතුමාට උල්පන්දම් දෙන්ට වගේ උනන්දුවෙන් කතාව අහන්ට සැදී පැහැදී හිටියා.

"ළමයිනේ, ඔන්න එකෝමත් එක ගමක​ ගමරාළගෙ දුව කැන්ඳන් යන්ට මනමාල පාර්ශවේ ඇවිත්  චාරිත්‍ර වාරිත්‍ර  ලෑස්ති කරලා. බැලින්නං මනමාලී  පෝරුවෙන් බැහැලා කුස්සියට දුවනවා. මනමාලයයි, නැන්දම්මයි, ගම මහගෙයි එක රොත්තට පස්සෙන් ගියා. මේකිත් ගියගමන් කුස්සියේ තිබුණ වෙඬරු දීසියට අත පොවලා ඇඟිල්ලෙන් අරන් වෙඬරු කනවා (ඇඟිල්ලෙන් අරන් යමක් කන විදිය ඔහු අභිනයෙන් පෙන්වනවා) පන්තියට.​ගම මහගේ දැන ගත්තා දුවගේ මේ හොරා කෑමේ පුරුද්ද හින්දා නව නිග්ගිරාවක් වෙන්ටයි යන්නෙ කියල​. ඉතිං ඒ මහ​ අම්මන්ඩි මෙහෙම ඇහුවලු”.

“පුරුදු සිරිත් කළෙද දුවේ

 වෙඬරු කටේ ගෑද දුවේ", කියලා.

ගම දෝණී අම්මට උත්තර දුන්නලු,

"කවුරුද අම්මේ මේවට

මේ තරමට ලුණු දැම්මේ" කියලා.

ගම මහගේ මනමාල පාර්ශ්වේට කීවලු, අපේ දෝණී අපේ කුල සිරිතට විරිතට ගරු කරන කෙනෙක්. සුබ ගමනක් යන්ට පිටත් වෙනකොට වෙඬරු ටිකක් කටේ නොගා අඩියක් උස්සන්නේ නෑනෙ" කියල​

ගුරුතුමා නාට්‍යානුසාරයෙන් ගම ගෙදර මඟුල රඟ දක්වනකොට ළමයි “හක හක” ගාලා හිනා වුණා. හරියට වෙඬරු කෑව ගම දුව මම කියලා හිතාගෙනද කොහෙද​.

ඒ වෙලාවේ මම නිරාරාදේ හාස්‍යයට​ ලක්වුණා කියලා, මට දුකක්, ලැජ්ජාවක් ඇතිවුණා. ඒ සිද්ධිය, භූගෝල විද්‍යාව හැදෑරීමට මාතුළ තිබූ කැමැත්ත​සහමුලින්ම අත් හරින්ට හේතුවක් වුණා. ඊළඟ වාරයේ සිට මම භූගෝල විද්‍යාව වෙනුවට​මැහුම් සහ ගෙතුම් විෂයක් විදියට තෝරා ගත්තා. අළුතෙන් ඉස්කෝලෙට ආව කාරුණික තරුණ     මැහුම් ගුරුවරිය නිසා උනන්දුවෙන් ඒ විෂය ඉගෙන ගත්තා. ඒ නිසා මැහුම් විෂය මගේ යාවජීව අත්දැකීම බවට පත්වුණා.

පසු කාලයේ ගුරුවරයා වෙනත් ඉස්කෝලෙකට මාරුවෙලා ගියා. මාත් මගේ පාසල් සමය අවසන්කර සරසවි ගියා. පස්සෙන් පහු කාලෙක විදේශගත වුණා. නැවත ගුරුතුමා මුණගැහුණෙම නෑ.

වරක් කෙටි නිවාඩුවක් සඳහා උපන් බිමට ගිය වෙලාවක, අපිට නවතින්ට ගෙයක් සහිත ඉඩමක් හොයා හොයා ඉන්න කොට, මගේ යාලුවෙක් මාව අරන් හැම තැනම ගෙවල් හොයන්ට පටන් ගත්තා. අන්තිමේ නගරාසන්න යෙන් ideal ගෙයක් හම්බවුණා. සියළු නාගරික පහසුකම් සහිත තැනක. අපි ගෙදර වටපිටාව ගැනත් පැහැදිලා ගෙය මිලදී ගන්ට තීරණය කරගෙන, ඉඩමේ ඔබ මොබ ඇවිදින අතරේ, කුඩා පිරිමි දරුවෙක් හඬන හඬකුත්, හඬන දරුවාට වැඩිහිටියෙකු සැර පරුෂ වචනයෙන් තර්ජනය කරන හඬකුත් ඇහුණා. අවුරුදු හතළිහක තරම් දීර්ඝ කාලයක එපිට​​, මගේ හිත් පතුලේ තියුණු උල් කටු මෙන් ඇනී ලේ තැවරී තිබුණ මතකයක්, ඒ හඬ ඔස්සේ රිදුම් දෙමින් මතුවී එන​ සෙයක් මට දැනුණා.

මීට අවුරුදු හතළිහකට එහා කාලයකදී මගේ කන්බෙරය පත්ලේ දෝංකාර දුන් අර​“මේක කැත්තේ උදැල්ලේ වැඩකරන, හැඩිදැඩි…” හඬින්ම​ අද ඊටත් වඩා පරුෂව​, කර්කශව​ කුඩා දරුවෙකු අමතා කරන තර්ජනය, මාතුළ ඇති කළේ මහත් ජුගුප්ත්සාවක් හිරිකිතයක් වැනි හැඟීමක්.

මම මගේ යෙහෙළිය ගෙන් අල්ලපු වැටේ ඉන්නේ කවුද​"යි ඇසුවෙමි.

 " නගර සභාව ළඟ තියෙන​ ---- ඉස්කෝලේ හිටපු හෙඩ් මාස්ටර් කෙනෙක්. එයාගෙ නෝනා පිස්සු හැදිලා ඉඳලා මැරුණලු. දුවයි මුණුබුරොයි එක්ක දැන් ජීවත් වෙන්නෙ".

ගුරුතුමාගේ නම සඳහන් කර ඔහුදැයි මම අසුවෙමි. මගේ අනුමානය තහවුරු කළ ඇය​,

 " ඔයා කොහොමද දන්නේ? ඇසුවාය.​ 

"ඒ නමින් හෙඩ්මාස්ටර් කෙනෙක් ගැන මං අහල තියෙනවා". මම කීවෙමි.

ආපසු එන ගමනෙදි මහ කනස්සල්ලක් වැනි හැඟීමකින් මගේ හිත පිරෙන්නට පටන් ගත්තා.

"ගේ ගැන කරල මට කියන්න​”. යෙහෙළිය කීවා.​

හරි! මම මගේ හඬින් කීවා.පතිරූප දේශ වාසොච​" මම හිතෙන් කීවා.

මගෙ ගුරුතුමා සිහිවෙනකොට චිත්ත සමාදානෙන් අල්ලපු වැටේ ජීවත් වෙන්ට​ බැරිවෙයි කියලා මට හිතුණා.

කොහොම වුණත් අදත්, කිසියම් කෙනෙක් හෝ මාතින් අපිළිවෙළට යමක් කෙරුණ අවස්ථා වල හෝ රළුවට කරණ ලද නිර්මාණයක් දකිනකොට, ගුරුතුමා උච්චාරණය කළ විදියට, එම වක්‍ය ඛණ්ඩය අනුකරණය කරන්ට කරන්ට මං උත්සාහ කරනව​.

මල්ලිකා එම් බණ්ඩාර​

11. 02. 2022

No comments:

Post a Comment