Tuesday, 20 June 2023

සුසානයේ ගැයෙනා ගී...

 

අදත් සොහොන් කොත යාබද​ දවට ගහේ ලැග ඉඳලා

නැළවිලි ගී මුමුණනවද දුරදිම මා එනු දැකලා

කෝකිල ගී හඬ ඉහිරෙන​ දෙණිපෙත ළඟ මඟ රැකලා

ගයාපන්න තව ගීයක් මගෙ දුක යන්නට මැකිලා​

 

මහ නුග​රුක් සෙවනැල්ලේ සිහිළැල් ඇකයේ හොව​ලා

මට ජීවය දුන්දා සිට​ මව් සෙනෙහස කිරිවැදිලා

අතැඟිළි අග එල්ලීගෙන​ මගෙ පණ නලසේ බැඳිලා

උදේ හවා ඇවිද ගියේ මේ බිම්කඩ පහුකරලා

 

උඳුපියලිය පළසක් සේ මගෙ සුව විහරණ පතාන​

ලේ කිරි පෙව්වා පමණද අපමණ දහ දුක් දරාන​

නුඹට වැහුණ දොර අරින්න​ මා ගැන පෙරුමන් පුරාන​

සුසානයෙත් නිදි වැරුවේ දරු දුකටද අඟිරිගාන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

21. 07. 2017

No comments:

Post a Comment