ඉන්ද්‍රනීල නෙතු සඟළේ දුටු දන මන බඳිනා
ඉන්ද්‍රඡාප සිනා කිරණ අවන්හලේ පිපෙනා
බමර දැළින් වටලන රන් මසු දහසක් වටිනා
වියරු සිනා බීර මලක මත් මුවරද බෙදනා
ටිකිරි ළඳුනි නුඹට මෙතැන - තැනක් නොවෙයි ඔබිනා
විසිරෙන ගිනිපුළිඟු නෙතින් නුරා බැලුම් හෙලනා
තෙපලන කෙළිකවට චාටු බස් වෑහෙන මතිනා
වන වදුලේ තුරුමුදුනේ ගිරිකුළුමත පිපෙනා
උඩවැඩියා මලක් වෙලා රොන්සුණු වැල් සලනා
ළපටි ළඳුනි, නුඹට මෙතැන තැනක් නොවෙයි ඔබිනා
ළවන් තලා පීරාගෙන සිනා ගඟුල් ඇදෙනා
ඉන්ද්‍ර ජාල දුනු දිය ඇද මල් හීසර විදිනා
රන් කහවනු මඩිස්සලේ රන් රසු දැල් හඬනා
මන මෝහණ බස් කියාවි නුඹ දැපනේ වැටෙනා
ටිකිරි ළඳුනි, නුඹට මෙතැන තැනක් නොවෙයි ඔබිනා
මල්ලිකා එම් බණ්ඩාර
15. 06. 2023
No comments:
Post a Comment