මතවාදයක සිරගත කළ මිනිසුන්ට
ඇවැසිව ඇතත් නිදහස් සුව වළඳන්නට
නිදහස තකා කෑමොරදෙන මිනිසුන්ට
පාලක බමුණු කැළ දෙති හිරබත් කන්ට
ආගම නොවෙයි දහමට මුල් තැන දීලා
ජාතිය නෙවෙයි මිනිසත්කම නංවාලා
සුඛවිහරණය උදෙසා දන රවටාලා
පව් කඳු වැජඹේය ජය දද නංවාලා
යුදගිනි පුපුරු පිඹ ගිනිදැල් මොළවාලා
සහජීවනය අතුගා දන කළඹාලා
දුසිරිත කුරිරුකම රජවෙන්නට දීලා
නියරත් වැටත් නිහඬය ගොයමත් කාලා
දන් පින් දෙසන නිවනේ මඟ අවුරාලා
දෙව්පුර කම්සුවය වෙනුවෙන් දිරිදීලා
පුදපෙත් පැතුම් යාදිනි වල දවටාලා
යතිවරු වෙසෙති වත උගසට විකුණාලා
තැළුණේ පොඩිවුණේ තම පන්තියම බව
කාරණ කිම නොවැටහෙන පන්තියට ගව
යදමින් බැඳී කඹුරන්ටම කරපු පව
සති අසතියෙන් හිඳ නිමවමු ගමන භව
මල්ලිකා එම් බණ්ඩාර
9.10. 2023
No comments:
Post a Comment