Friday, 29 September 2017

වන්දනා ගමන​



​දුනු දියෙන් මිදුනු 
සර පහර වළකා නිබඳ​,
බලු රැලට ඉව දැනී
දඩයමක් නොවන්නට​,
වහන් වී හුළං අත
දියකඩක පැන් සනහනා
මුවැත්තක සේ බියපත්ව​
පොර බදා නිරතුරුව​

එතෙර යාගත නොහී​, 
පෙරුම් පුරනා සසර සාගරෙන්
ක​ණ කැසුබුවකු වගේ
අමාවකදාක​​ සඳ දකින්නට
මංජුසාවක දැමූ ජීවිතය
පැහැර ගනිතැයි සැකෙන්,
පරපුරෙන් පරපුරට​
විමුක්තිය සොයා යන​ 
වන්දනාකරුවන්ය අප හැම.

සුවහක් දන අතර වුවද හුදකලාවී
දිවි කතර  වැලි කුණාටුක මං මුලාවී 
වෙර සිඳී සා පිපාසිත සිතට 
ප්‍රේමයේ දිය පොදක තෙතමනය විඳින්නට
උල්පතක් වෙනු මැනව.
එය අමාවකිඅමා නිවනකි
සොයා ගිය මෙතුවක්  කලක් අපි
මිනිස් බව නම් වන්දනා ගමනේ


මල්ලිකා එම් බණ්ඩාර​

28. 09. 2017



Wednesday, 27 September 2017

අත් අඩංගුව​



නර කෙසක් දුටු මනත​
කළ වයස මනින​ පෙර නිමිති දැක​​
යාන්තං ජීවිතය පටන් ගන්නට හිතා​
බෝ මළුව පසෙක හිඳ​
ඇදිළි බැඳ පසඟ පිහිටවා ​ වැඳ​
තුටු පහටු වී අපිම​
මියෙන තුරු සෙවනැල්ල වී ඉන්න​
අතින් අත ගෙන ගිවිස
ගිමන් හැර උයන් දොර
මහ මළුව පෙනෙන දුර​
කෙසෙල් කොළයේ ඔතා
ගෙනා මහ පාන්දර
ලුණු මිරිස සමඟ හීලට හැදූ
කැකුළු බත​ ලිහාගත්තා පමණි
පොලෝසිය කඩා පැන​
දෙනෝදාහක් දෙනා ඉදිරිපිට
දක්කාන ගියා අපි දෙදෙනාම
"අයාලේ ගියැයි" චෝදනා කොට​.
​.

මල්ලිකා එම් බණ්ඩාර

 26. 09. 2017​



වීදි දියණිය​


"ලෝක ළමා දිනය සමරමු!"

සසල කර නිසල දිය මත ඇඳුන මගෙ මූණ
වළාකුළු බැම්ම ළඟ කෙළිති  කිරි ඉබිරෑන
අදින් පසු හෙටක් ගැන නැති මියුරු සුබ සීන 
කොයිතරම් පිවිතුරුද මගෙ නුවන් යුග මීන?
                      
කුමක්දැයි නොදනිතත් තිබිය යුතුයැයි හඟින
යමක් ගිළිහී තිබුණි උපතින්ම මට උරුම
තෙරපුණත් රළ පතර සේ හිතේ වැළපීම 
ජීවිතය සොඳුරුයයි සිතුනි මට හැමදාම

ඇවිද ගෙන හුදකලා නුවර රජ වීදියේ 
පතා ගිලිහුන දෙයම හඹා යන දස අතේ
ආදරය, ළමාවිය අහිමි වුණ  මිහිමතේ
මමද එක දියණියක වෙමි රැඳුන මාවතේ 




මල්ලිකා එම් බණ්ඩාර​

26.09. 2017









Tuesday, 26 September 2017

වීදි දියණිය​


"ලෝක ළමා දිනය සමරමු!"

සසල කර​ නිසල දිය මත ඇඳුන මගෙ මූණ​
වළාකුළු බැම්ම ළඟ​ කෙළිති  කිරි ඉබිරෑන
අදින් පසු හෙටක් ගැන නැති මියුරු සුබ​ සීන ​
කොයිතරම් පිවිතුරුද​ මගෙ නුවන් යුග මීන?
                      
කුමක්දැයි නොදනිතත් තිබිය යුතුයැයි හඟින
යමක් ගිළිහී තිබුණි උපතින්ම මට උරුම​
තෙරපුණත් රළ පතර සේ හිතේ වැළපීම​ ​
ජීවිතය සොඳුරුයයි සිතුනි මට හැමදාම

ඇවිද ගෙන​ හුදකලා නුවර රජ වීදියේ 
පතා ගිලිහුන දෙයම​ හඹා යන දස අතේ
ළමාවිය, ආදරය අහිමි වුණ  මිහිමතේ
මමද එක දියණියක වෙමි රැඳුන​ මාවතේ ​


මල්ලිකා එම් බණ්ඩාර​



26.09. 2017

Sunday, 24 September 2017

මාල ගිරවී - 4 වන කොටස​

මල්ලිකා එම් බණ් ඩාර ලියන්නීය​


ටවුමේ ඉස්කෝලෙට ගිය දෙවන අවුරුද්ද තුළ​පලමුවන අවුරුද්දටත් වඩා විශාල පරිවර්තනයක පෙරනිමිති පහල වන්නට වීයයි මම සිතමි. ගමේ පාසලට වඩා බෙහෙවින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිතවිවිධත්වයෙන් අනූන සුන්දරත්වයෙන් පිරිපුන් පරිසරය මගේ සිත අමන්දානන්දයට පත් කළ බව මට මතකය​. මා තුළ පිබිදෙමින් පවතින දහසකුත් එකක් බලාපොරොත්තු සමඟ ජීවිතය වැළඳ ගන්නට  මම සැදී පැහැදී සිටියෙමි. එය පාසල් ජීවිතයේ ආහ්ලාදය සමඟ අත්වැල් බැඳගත් සුබවාදී ගමනක​ පෙරවදනක් විය​.

මේ දවස් වල​ පුංචි අක්කලාගේ හවස පන්ති පටන් ගැනුන අතර එම වාරය අවසන ඇය උසස් පෙළ විභාගයට වාඩි වීමට නියමිතව තිබුණි. බොහෝ දින වල අක්කා හවස් වනතුරු පුස්තකාලයේ සිට ඇගේ මිතුරියන් සමඟ පාඩම් කළාය​. එනිසා ඉස්කෝලෙන් පස්සේ මා ගෙදර ආවේ තනිවමය.​බොහෝවිට මම තරමක් කලින් ඉස්කෝලෙට යන්නට පිටත් වීමි. පුංචි අක්කා ගියේ තරමක් ප්‍රමාදවය​. ඒ ඇය සමහර දවස් වලට මැදියම් රැයක් වනතුරුම පාඩම් කළ නිසා අවදිවන්නේ මදක් ප්‍රමාදව නිසාය​සමහර විට දිනපතාම ජානකත් පුංචි අක්කාත් මුණ ගැහෙන්නට ඇතත් ඇය මා සමඟ කිසිවක් කීවේවත්මම ජානක පිළිබඳව අක්කාගෙන් ඇසුවේවත් නැත​. මට ඔවුන් ගැන උනන්දුවක් නැති බව අඟවන්නට ඕනෑවිය​.

නගරයේ පාසලේ නව වට පිටාව, අළුත් යහළු යෙහෙළියන්, මගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට නව අරුතක් එකතු කරන ලදි. තව අවුරුද්දකින් අ.පො.ස​. සාපෙළ සඳහා පෙනීසිටීම මගේ ප්‍රධාන ඉලක්කය විය​. ගෙදර පවතින කටුක පරිසරයෙන් අත මිදෙන්නට නම් ලොකු අක්කා මෙන් පාඩම් කළ යුතුය. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණොත්උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව තෝරා ගත යුතු යැයි මම සිතන්නට පුරුදු වීමි. අම්මාත් තාත්තාත් මා කෙරෙහි අසීමිත බලාපොරොත්තු තියාගෙන සිටී.

අක්කලා දෙන්නාම කලා විෂයයන් හැදෑරූ නිසා අඩුම තරමින්විද්‍යා අංශයෙන්වත් උසස් පෙළ සමත් වියයුතුයයි මම සනිටුහන් කර ගතිමි. 
"කුරුමිණිය උගේ තරමට බෙටි දාන්ට  ඕන​. ඌට උකුස්සෙක් තරම් බෙටි දාන්ට බැරි බව තේරුම් ගන්න බැරි වුණොත් ඒක මහ කරදරයක් වේවි" 
ඇත්තටම නම් මට හිතුනෙ එහෙමයි. පන්තියේ ළමයි හතළිහකටත් වැඩියි. ඒ අය අතරින් මම හිටියේ සාධන මට්ටමේ මැද හරියේය​. රෑ දවල් නැතිව පාඩම් කළත් මට නම් අපේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වන දොස්තර සිහිනය සැබෑ කරන්ට බැරිතරම් කියල සමහර වෙලාවට පසුබෑමක් මගේ හිතේ කැකෑරෙනව​.

සමහර වෙලාවට​ ඒක​ හරි ඉහල ඉලක්කයක් කියල මට හිතුනා. කොහෙන්දෝ නොදත් මගේ හිතේ මුල්ලක සැඟවී සිට එබිකම් කරන දෙගිඩියාවක් ඉඳහිට මගේ හිත සසල කරනුද මට දැනෙයි. ඒත් මම හිත  හදාගෙන​ ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දිය යුතුයැයි දැඩීව අධිෂ්ඨාන කර ගන්නට වෙර දැරුවෙමි. අඩු තරමින් විද්‍යා විෂය ධාරාව​ හදාරන්නටත් විශේෂ හැකියාවන් තිබිය යුතුය​. අනික් අතට විද්‍යා විෂයයන් කරන අය දිහා මිනිස්සු බලන්නෙ හරියට අයින්ස්ටයින්ලා කියලා හිතාගෙනය​. කලා විෂයයන් කරන අය දිහා නම් බැලුවෙම මෙලෝහසරක් නොදන්න මෝඩයින් කියලාය​. ඒ නිසා අපේ පවුල් වල කාටවත්ම නැති නම්බුකාර විෂය ධාරාවක් තෝරා ගැනීමට ගෙදරින් පවා තිබුණේ විශාල බලපෑමකි. අන්තිමේදී පවුලේ බලාපොරොත්තුව වෙනුවෙන් මගේ හැකියාවන්මගේ කැමැත්ත පසෙක තියන්නට මට සිදුවිය​.

ඒක හරියට රබ්බඩ වස්සෙකුට ලාඩම් ගසානාස් විද නාස්ලණුවක් දමා වියට බැඳ, තිරික්කලේට සූදානම් කරනවා වගෙයි. පුරුදු වුණාම ඕනම බරක් අදින්ට ලෑස්ති වෙනව​. ගෙදර උදවියට ඕන විදියට තෝන් ලණුව පාලනය කරනව​. මගෙත් නාහෙ විදපු නැති එක විතරයි අඩුව​. අපේ ගෙදර අය මා ගැන මේ තරම් බල කිරීම ගැන මා හිටියේ දැඩි අප්‍රසාදයෙනි. ඒත් මට එයට එරෙහි වෙන්නට තරම් එඩිතරකමක් නොවුණි. අක්කලාගේ අණසක අභිබවා යන්නට තරම් පෞරුෂයක්ද මට නොවිණි.

සිංහල අවුරුදු වෙනුවෙන් ඉස්කෝල නිවාඩු ලැබුණේ 6 වෙනිදාය​. ඒ වන විට පුංචි අක්කලාගේ විභාගය පටන් ගෙන තීබුණි. අක්කා සහ ඇගේ යෙහෙළියන් සිංහල අවුරුදු ගැන වගේ වගක් නැතිව රෑ දවල් නොතකා විභාගය වෙනුවෙන් කැපවී වැඩ කරනු පෙනිණි. අක්කාත් ඇගේ මිතුරියක වන  අමිතක්කාත් අපේ ගෙදරට වී එක් එක් විෂයට අදාල පොත පත පරිහරණය කරමින් ඉලක්ක ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරනු නොයෙක් විට දකින්නට ලැබිණි. සමහර දවස් වල ඔවුන් දෙදෙනාම අපේ නාන පිහිල්ල ගාව ගල් තලාවටවී පාඩම් කළහ​. අම්මා කැවුම් කෙසෙල් දැමූ පිඟානක් සමඟ​ තේ පෝච්චියක් නංගීත් මාත් අත ඔවුන්ට යැව්වාය​.

පහුවදා පැවැත්වෙන විභාගය​ සඳහා ඔවුන් විෂය කරුණු සාකච්ඡා කරමින් මතකය අළුත් කරගනු පෙනෙන්නට තිබිණි. පුංචි අක්කාත් අමිතා අක්කාත් තේ බී ඉවර වෙන තුරු නංගීත් මමත් ගල්තලාව මත වාඩිවී සිටියෙමු. ඔවුන්ට  අපිත් එක්ක​ කතා කරන්නට තරම් වත් ඉස්පාසුවක් නැති ගානය​. තේ බී අවසන්ව,
 "  දැන් ඔයාලා ගෙදර යන්ට". පුංචි අක්කා කීවාය​. අපි දෙදෙනා ගෙදර ආවෙමු.

පසු දින උදේම අක්කා විභාගය සඳහා පිටත් වුණේ සුභ මොහොතිනි. අම්මා ඒ සඳහා වේලාවක් සකස් කර ගෙන ආවාය. විභාගයට කලින්දා අම්මා අක්කාත් සමඟ ගමේ පන්සලට ගියාය​. නායක හාමුදුරුවෝ අපේ අම්මාගේ පවුලට කිට්ටු ඥාති සම්බන්ධතාවක් තිබුණ නිසා නායක හාමුදුරුවෝ ලවා සෙත් පිරිත් කියවා පිරිත් නූලක් අක්කාගේ අතේ ගැට ගස්වා ගැනීමට අම්මාට අවශ්‍ය විය. නායක හාමුදුරුවෝ පිරිත් සජ්ජායනා කර පිරිත් පැන් වීදුරුවක්දී එයින් ටිකක් විභාගයට යන දා උදේ බීමට නියම කර තිබුණි. ඒ මදිවට නැකත් රාල ලවා මතුරන ලද​ තෙලක් අම්මා විසින් අක්කාගේ හිසේ ගැල්ලුවාය​. තෙල් ගල්වනවාට අක්කා විරුද්ධවූ මුත් අම්මාගෙන් ඇයට බේරෙන්නට නොහැකිවිය​. ඉස්මුදුනේ පොල්තෙල් ගාගෙන ඉස්කෝලේ යන්නට අක්කා විතරක් නෙවෙයි මමත් කැමති නැත​. අම්මා විසින් සිදු කරන මේ වතාවත් දෙස අමිතා අක්කා බලා සිටියේ කිසියම් විකාරයක් දිහා  බලා සිටින ආකාරයේ උපහාසයකින් යයි මට නිකමට සිතුනි. අක්කා සමඟ එකට පාඩම් කළ ඇයට මතුරාපු තෙල්පිරිත් නූල් හෝ පිරිත් පැන් කිසිවක් නොතිබුණි. තෙල් බින්දුවක් ගල්වන්නට අම්මා උත්සාහ කළත් ඇය ඊට දැඩිව අකැමැති වූවාය​. එනිසා අම්මා මදක් පසු බෑවාය​.

අක්කා විභාගය සඳහා සුබ මොහොතින් පිටත්ව ගියාට පස්සෙ ගෙදර හිටියේ අම්මාත්නංගිත් මාත් පමණි. අම්මා දෙවට අද්දර සිටින කව්දෝ සමඟ කතා කරන හඬ​ක් ඇසී මම මිදුලට ආවෙමි. කඩුල්ල ළඟ සිටින ජනක දුටු සැනීන් මගේ ගත සළිත විය​. දෑස් ඇදහිය නොහැකිව මම බිරන්තට්ටු වී බලා සිටියෙමි.
ජනක සිනාසුනේය​.
මම පාර අද්දරට හෙමින් හෙමින් ගෑටුවෙමි. අම්මා පුංචි අක්කාව සැක කරනු ඇත​. එනිසා මෙය අහම්‍බයක් ලෙස ඒත්තුගැන්විය යුතුයැයි මම සිතුවෙමි.
අම්මා මේ අයියා පුංචි අක්කගෙ යාලුවෙක්අම්මා ආපසු හැරී මා දෙස​ බැලුවාය​.
මම වහා ඉක්මන් වීමි.
අක්කට අද පේපර් එකක් තියෙනව​. කොහෙද මේ අයිය​ යන්නෙ?”
අඳුනන කෙනෙක් හම්බ වෙන්ට ගියා. නංගිලාගෙ ගෙදර මෙහෙ බව මං දැන ගෙන හිටියෙ නෑ. දන්නව නං අවුරුදු කන්ට එනවනෙ.
 “එන්ට එහෙනම්ඇවිත් වාඩි වෙන්ට " එවර අම්මාද කීවාය​.
එන්ට අයියා. අක්කා ගෙදර​ නැති වුණාට කමක් නෑ.
 අම්මාට ඇසෙන්නට එහෙම කීවත් මගෙ හිත පේන කියන්ට පටන් ගත්තා.
මෙක නං මහ අමුතු ගමනක් "
අම්මා කේතලය ලිප තියන්නට කුස්සියට ගියාය​. නංගී අමුත්තා සිටි තැනට ආවේ නැත​.
අක්කා නැති බව දන්නෙ නැද්ද​?”
මම ඇසුවෙමි.
දන්නවා.
එහෙනං...?”
මට වාක්‍යය අවසන් කරන්නට නොදී ජානක මා දෙසට තරමක් ළංවී සිහින් හඬින් කීවේය​.
අක්කා බලන්ට නෙවි මං ආවේ. ඔයා බලන්ට​. සත්තයි! 
මගෙ හිස මත බීරංගයක් ගැසුවාක් මෙන් දැනිණි.
තවත් මොහොතකින් මගෙ මුළු ග​තම සළිතවී හිරිවැටී යන්නට විය​.
"දෙයි හාමුදුරුවනේමේ මොන සන්තෑසියක්ද​?"
පුංචි අක්කා එක්ක අර තරම් ළඟින් හිටියෙ හැටියට මං හිතුවෙ ඒ දෙන්නා අතරේ යාළුකම ඉක්මවා ගිය​ කිසියම් සම්බන්ධයක් ඇති කියල​.
මට පිස්සු වගෙ ඔයා නොදැක සචී.
ජනක හෙමින් කීවේය​. අම්මා තේ එකක් හදාගෙන ආවාය. ඉක්මණින් තේ එක උගුරට දෙකට ගිලදැමූ ජනක වෙනත් ගමනක් ඇති බව අම්මාට අඟවන්නට වෙර දරන බව මම දැන ගතිමි.
ම්මං මේ යාලුවෙක් හම්බ වෙන්ට යන ගමන්. ගිහින් එන්නම් අම්මේ.
ජනක නික්මුනේය​. මම දෙවැට තෙක් ඔහු පිටු පසින් ගියෙමි.

ගේට්ටුවෙන් නික්ම මද දුරක් ගිය ජනක නැවත ආපසු හැරී ආවේය​. එක එල්ලේ මොහොතක් මගේ දෑස් දෙස සෘජුව බලා සිටියේය​. අම්මා හෝ නංගී අසලක ඇද්දැයි මම ගේ දෙස හිස හරවා බැලුවෙමි. ඔවුන් පෙනෙන තෙක් මානයක සිටියේ නැත​.
නවතත් අර සිහින් හඬින් ,
"නිවාඩුවෙන් පස්සෙ මුණගැහෙමුකීවේය​.


ජනකගෙ දෑස් දෙස එක එල්ලේ බලන්නට බැරි තරම් අපහසුතාවකින් මගේ ඇස් දෙක ගිනිකණා වැටෙන්නට විය​. ඉරු හතක් සඳු හතක් එකවර බැබලෙන මොහොතක තරම් දීප්තියක් ඒ තුළින් නික්ම විත් මගේ පපු කුහරය විනිවිද යන සෙයක් මට දැනෙන්නට විය​. සුළි සුළඟකින් පසු බේරුණ අයෙකුට දැනෙන අන්දමේ වික්‍ෂිප්තියකින් මගේ සිත පිරෙන්නට විය​. ඇස් කන් ඇදහිය නොහැකි ගුප්තමය ලෝකයක සිරවී සිට යන්තම් දිවි බේරාගත් කලෙක මෙන් මම අන්දුන් කුන්දුන්වී ඇති බව මට දැනෙන්නට විය.

(මතු  සම්බන්ධයි)

Monday, 18 September 2017

මාල ගිරවී - 3 වන කොටස​


ලොකු අක්කා කොළඹ විශ්ව විද්‍යාලයට​ තේරුන පසු තාත්තාගේ බීමත්කම මදක් අඩුවී ගිය අතර, ගෙදර අපූරු සාමකාමී බවක් නිර්මාණය වන බව පෙනෙන්නට තිබිණි. ලොකු අක්කාගෙන් හිස්වූ ආධිපත්‍යය පුංචි අක්කා විසින් නිතැතින්ම අත්පත් කරගනු ලැබිණි. ඊට සමගාමීව පුංචි අක්කාත් මාත් අතර සබඳතාව සමීපවූ අතර එය මිත්‍රශීලී ළබැදි සහොදරත්ත්වයකින් යුතු විණැයි සිතමි.
පුංචි අක්කා ගිය මධ්‍ය මහා විද්‍යාලයට මා ඇතුළත් වූයේ මේ වකවානුවේදීය​. මධ්‍ය මහා විද්‍යාලය මගේ ජීවිතයේ බොහෝදේ වෙනස් කරන ලදී. අළුත් පරිසරයේදී මගේ ලෝකය පුළුල් වෙන්නටත්විසිතුරු වෙන්නටත් පටන් ගැනිණි. විසඳිය නොහැකි සමීකරණයක් මෙන් ජීවිතය, මගේ හිත ඉදිරියේ දිගාවී ඇති සෙයක් මට දැනෙන්නට විය​. එහි සන්ධිස්ථාන,මාර්ග සලකුණු ගණනාවක් පසුකර යන්නට මා දැරූ වෙහෙස,  ජීවිතය පිළිබඳ හසරක් නොදත් නව යොවුන් යුවතියකගේ කදුළු හසරැල් අතර තුනීවී යන්නට ඇතැයි මම සිතමි. සිදුවූ සෑම සිද්ධියකටම එක හා සමාන විටිනාකමක් නැතත්එවන් බොහෝ සිදුවීම් අතරින් මගේ මතකයේ ඉස්මත්තෙන්ම සිටින්නේ, මගේ ජීවිතයේ ඉරණම් සාධකයය තීරණය කළ ඒ යුගය පිළිබඳ පශ්චාත්තාපය යයි මම හඟිමි.

"මේ මගෙ යාලුවෙක්"
මුලින්ම පුංචි අක්කා ජනක මට හඳුන්වා දුන්නේ එලෙසිනි.
"අපෝ මං දැකල තියෙනව ඕන තරම්".
කොහෙදිද අප්පා ඒ?
ජනක ඇසුවේ මහත් උද්‍යෝගයෙනි.
බස් හොල්ට් එකේ ඉන්නකොට​. ඔයා අර පාමසි එක ළඟ ඉන්නවා  හැම උදේකම... නෙ?
සලිලා බලන්නකො ඔයාගෙ නංගිත් මාව අඳුනනවනෙ.
ජනක පුංචි අක්කා දෙස අමුතු විදියට බලමින් එසේ කීවා යයි මට ඒ වෙලාවේ හිතුණ​.
එයා එයා ගිය අවුරුද්දෙ ඉඳලනෙ අපේ ඉස්කෝලෙට එන්නෙ. දැකල ඇති ඒත් ඔයාව දන්නෙ නෑ.
පුංචි අක්කා මා අපහසුතාවකට පත්වෙතැයි සිතුවා විය හැකිය​. මම එසේ සිතන්නට මහන්සි ගත්තෙමි. ඉන් පසු කතාවකින් තොරවම අක්කාත්, ජනකත් බස් නැවතුම ඉදිරිපිට කූල් ස්පොට් එක දිහාට ගියේ පුරුද්දක් විදියටයයි මට නීකමට සිතුනි. මමද ඔවුන් පිටුපසින් ගොස් කූල් ස්පොට් එකට ඇතුල්වුනෙමි.
"අද අපි නංගි කෙනෙකුත් එක්ක ආව"​. ජනක තරුණ කැෂියර්ට මා පෙන්වමින් කීවේය​.
"මං හිතුව හරි! මේ දෙන්නා වෙනදත් මෙතෙන්ට එනව ඇති. "
අද අපි නංගි කෙනෙක් එක්ක ආව​" කීව එකේ තේරුම කෙමෙන් මගේ සිත තුළට කාවැදෙන්නට විය​. මගේ හිතට ගොඩවුණ සැකය සාධාරණීකරණය කරන්නට තතනන හිත අස්වසාලන්නට මට අවශ්‍ය විය. ඒ අනුව​ වෙනසක් නොසිදුවූ අයුරින් සිටින්නට මම හැකිතාක් මහන්සි ගතිමි.

"මොනවද බොන්නෙජනක අක්කගෙන් ඇසුවේය​.
"නෙල්ලි "
අක්කා පිළිතුරු දුන්නේ කිසියම් ළයාන්විත බවකිනි. එහි ඇති අමුතු ලතාව නිසා ජානක අක්කගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ද​කියල මට හිතුණ​.
"නංගිට​?"
ජනක මදෙස හැරී ඇසුවේය.
"එයාටත් නෙල්ලි හොඳයි"
පුංචි අක්කා ක්‍ෂ්ණිකව මා වෙනුවෙන් පෙනී සිටියාය​.
ඔයාල දෙන්නගෙම ටේස්ට් එක එකක්ද​?
ජනක සිනාසෙමින් කී මුත් අක්කා ඊට සිනාසුනේ නැත​.
නෙල්ලි වීදුරුව අමුර්තයක් වගෙ මේ වෙලාවට​". 
 ජනක අක්කා දෙස බලමින් ඇසක් ඉඟි කළේය​. මම එය නුදුටුවාක් මෙන් ඉවත බලා ගතිමි.

අප එහි නැවතී සිටියේ විනාඩි ගණනක් වුවත් අප අතර වචන කීපයක් හුවමාරු වුණ බව යන්තම් මතකය​. මා පිළිබඳ විස්තර කීවේ අක්කා විසිනි. ඒවා බොහොමයක් අර්ධ සත්‍ය බවත් ජනක නොමඟ යවන සුළු තොරතුරු බවත් මට හැඟුනි. 

පුංචි අක්කා විසින් කී දේවල් අසා සිටි මට, ජනක ඉදිරියේ අපේ පවුල පිළිබඳ ඈ වැරැදි චිත්‍රයක් අඳින්නේයයි සිතෙන්නට විය​.  ඒ ඇයිදැයි මට සිතාගත නොහැකිවිය​. කෙසේ වුවද​, පුංචි අක්කා ජනකට සමීපව සිහින් හඬින් කොඳුරනු දුටුවනම මගේ සිත දහසකුත්  එකක් ප්‍රශ්න අතර අතරමංවෙන්නට විය​. 
මුලින්ම,​ මා තුළ තරහක් වැනි  කිසියම් සිතුවිල්ලක් පහල වෙනු මට දැනුණි. පුංචිඅක්කා මෙච්චර දවස් හොර පූසා වගේ හිටියට අපිට නොදැනෙන්නට ජානක සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව තහවුරු වෙමින් පවතී. වෙනත් විවිධ පුද්ගලයින් පිළිබඳව ඉඳහිට මහත් උද්‍යෝගයෙන් ඈ කතා කරනු මා අසා ඇතත් ඒ අතර ජනක ගැනනම් කියවුණේම නැති බව මට සහතිකය​. ඒ අතර පුස්තකාලයේ ලයිබ්‍රේරියන්, නගර සභාවේ සහ AGA office  එකේ ලිපිකරුවන්, පොලීසියේ අයියලා නම් සිටි බව මට මතකය​. මා හිතුවේ ඔවුන් ඈ ගැන උනන්දු වෙන පුද්ගලයින් ලෙසය​.

පුංචිඅක්කාත් මාත් බසයට නඟිනතුරු බස් නැවතුමේ සිටි ජනක, පාර පැන පාමසියට යන දෙස පුංචිඅක්කා බස් එකේ වීදුරු කව්ළුව තුළින් බලා සිටියාය​. මම හොරැහින් පුංචිඅක්කා දෙස බලා සිටියෙමි.
බසයෙන් බැස ගෙදර  ය​නතුරු මට ඉස්පාසු නැත​. බස් හෝල්ට් එකේ ඉඳලත් ගෙදරට ඇති සැතපුම් කාලක තරම් දුර​  ඇවිද ගෙන ආව නමුත් කතාවකට මුල පිරීමට තරම් දිරිදීමක් පුංචි අක්කාගෙන් නොලැබිණි.  අප දෙදෙනාම ගොළුවන්සේ ගෙට ගොඩවීමු. මගේ හිත යමක් ග්‍රහණය කළ බව පැහැදිළිය​. අක්කාගෙන් ඇසිය යුතුදේ නිශ්චිත නොවුණත් තරමක අසීරු ප්‍රශ්ණයක් මා හිත තුළ තෙරැපෙමින් පැවැති බව නම් සහතිකය​. නිමක් නැති තර්ක වලට ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් කිසියම් නිගමනයකට බැසීමට අපෝසත්ව සුදුසු වේලාවක් එනතුරු මම බලා සිටිය යුතුව ඇත​.
ගෙදරදී නම් අපිට තනිපංගලමේ කතා කිරීම තරමක් අසීරුය​. නංගී ඉදිකට්ට පස්සෙන් ඇදෙන නූල් පට වාගෙ ඉස්කෝලේ ඉඳල ආව වෙලාවේ හිට මගෙ පස්සෙන් වැටිච්ච ගමන්මය​. කණිෂ්ඨ බාලිකාවට යන නංගී අපි ගෙදර යන විටත් පැමිණ සිටියාය​. ඇයගේ සුපුරුදු දින චරියාව අදද එසේම පැවතීම ගැන මම නොසන්සුන් වීමි. නංගී මඟ හැර, පුංචි අක්කා සමඟ තනිවීමේ ඕනෑකමක් මගේ හිතේ තෙරපෙන්නට විය​.

මොකද ඔයා මං පස්සෙන් එන්නෙ හරියට මුරකාරය වගෙ?
වරක් මම නංගිගෙන් ඇසුවෙමි.
ඉතින් මොකද ආවම​?”
ටිකක් නිදහසේ හුස්ම ගන්ටවත් මට විදියක් නෑනෙ.
ඉතින් හුස්ම ගන්ටකො. මොකද මං නහය ළඟින් අල්ලගෙන ඉන්නවය​?
ඔයාට වෙන මොකවත්ම නැද්ද කරන්ට? “
"ඔයා මොකක් හරි හොර වැඩක් කරන්ට හදනව ඇති".
නංගී මගේ නොරිස්සුම තේරුම් ගත්තා යයි මට සිතුණි.
"අයියෝ මට කරදරයක් ඒක"​.
මම නුරුස්නා හඬීන් කීවෙමි.
"ඔහොමයි පොඩි එකීට කතා කරන්නෙ නේද ?”
අම්මා මා දෙස හැරී බැලුවාය​.
 මට අවශ්‍ය වුයේ නංඟී මඟ හැර, පුංචි අක්කා ගැන මගේ හිත තුළ නිදන් ගතවූ සැකය දුරු කර ගැනීමය​. එකෙනෙහිම නංඟී ගැන දුක හිතුන බැවින් මම නංගී ළඟ හිඳ ගතිමි.

පුංචි අක්කා එක්ක තනි පංගලමේ කතා කළ හැකි සුදුසුම තැන පිහිල්ල ළඟ බව මට සිතුණි. ඉස්කෝලෙට ඇඳපු ගවුම සේදීය යුතුය​. පුංචි අක්කත් මමත් ඇඳුම් සෝදා නාන්නේ එකම වෙලාවටය​. නංගි මඟහැර අපිට තනිවිය හැකි වෙන්නේ එවිටය​. මගේ නොඉවසිල්ල මටම දරාගත නොහැකි තරම්‍​ය. දවලේ අපට ජනක හමුවීම මගේ හිත තුළ නිබඳ හොල්මන් කරනු මට දැනුණි. නැවත නැවතත් එකම සිතුවිල්ල මගේ හිත් මුදුනේම මොදුවී තිබෙයි. 

"අනික් අතට​මම මේ තරම් කලබල වෙන්නේ මොකටද​? මම මගෙන්ම අසමි. 

ජනක බෙහෙවින් සිත් ගන්නා සුළු කෙනෙකි. කඩවසම්‍ . රස්සාවක් කරන කෙනෙක්.  මේ කාලෙ හැටියට හොඳම තේරීම​.  ඕනම කෙල්ලෙක් දැක්ක ගමන් කැමැති වෙන කෙනෙක්. සිහින් සිනාවක් මගේ දෙතොල් මත පතිතව ඇති බව මම සිතමි. කම්මුල් දෙකත් දෙකණත් රත් පැහැ ගැනී ඇතැයි අනුමාන කරමි. පුංචි අක්කාත් මමත් පෙම්වතුන් ගැන මීට පෙර කතා කර නැතත්, අද සිද්දිය නිසා ඒ සඳහා කිසියම් දොරටුවක් විවෘතව ඇති සෙයක් දැනෙන්නට විය​.

පුංචි අක්කා, ජනක අයියා ඔයාගෙ යාළුවෙක්ද?
අවසන, හිත යට කරණම් ගහමින් හිටිය ප්‍රශ්නය අක්කාගෙන් මම ඇසුවෙමි.
ඇති යාළුකමක් නෑ. ඒ වුණාට අඳුනනවා”.
ඒ කියන්නෙ, අඳුනන හින්දා යාලුවෙක්?”
 "යාළුවෙක් කියන්නෙ, යන එන කොට දකින හින්ද කතා කරනවා. එච්චරයි'.
පුංචි අක්කා සරල උත්තරයක් දෙන්නට උත්සාහ කළත් මම එයින් සෑහීමකට පත් නොවීමි.
"එහෙනං කූල් ස්පොට් එකට ගිහින් අපිට එක එක ජාති අරන් දෙන්නෙ?
" රස්සාවක් කරනවා. සල්ලි තියෙනවා. වියදම් කරන්ට පුළුවන් නං, තිබහට ඩ්‍රින්ක් එකක් අරන් දුන්නට පව් සිද්ද වෙනවයැ".
"ආඃ එහෙමදමං හිතුව මේ..."
"මොකද්ද හිතුවෙ?
අක්කාගෙ සිත තිගැස්සිනැයි මට සිතුනි.
"නෑ. නෑමොකුත් නෑ".
අක්කාගේ දෑස්වල යමක් සඟවන්නට ගන්නා සියුම් උත්සාහයක් සටහන්ව ඇතැයි මට සිතුණි.
මොහොතක් මා දෙස බලා සිට ඈ නැවතත් අනික් පස හැරී ඇඳුම් වල සබන් ගාන්නට පටන් ගත්තාය​.පිහිල්ලට හිස අල්ලා නාන ගමන් මම අක්කාගේ මුහුණේ හැඟීම් නිරීක්‍ෂණය කරන්නට උත්සාහ කළෙමි. අක්කා රෙදි සේදීමේ නිරතව සිටි අතර මම නා අවසන් කර කෙස් වැටිය තෙත මාත්තු කළෙමි. 
ඉන් පසු අක්කා නාගෙන ඉවර වෙනතුරු මම  කන්දට මූණලා ගල මත හිඳ ගතිමි. බැසය ඉර එළිය වැටී ඇති ගල තවමත් උණුසුම් ය​. නෑමෙන් පසු දැනෙන නැවුම් බවත් ගල මත රැඳුන මද උණුසුමත් ගත සිතට අපූරු සුවයක් දනවයි. හඳුරුක්කන්දෙන් එහා පැත්තට පැන සැඟවෙන්නට ආසන්න හැන්දෑ හිරු මඬල සෞම්‍ය බවකින් යුක්තය​. කඳු මුඳුනට ඉහලින් ලා රත් පැහැය තැවරුන අහස පසුබිම් කරගත් දර්ශනය මනස්කාත්තය​. ගමේ එක් කෙලවරක සිට අනික් කෙලවර දක්වා සැතපුම් තුනක් පමණ දුරක්දිගාවී ඇති කඳු වැටිය ගමේ අනන්‍යතාවට මහේශාක්‍ය පෙනුමක් එකතු කර ඇත​. සියවස් ගණනාවක ගමේ ඉතිහාසය යනු මේ කඳු වැටිය විසින් හදා වඩා පෝෂණය කරන ලද්දක් නේදැයි සිතන විට සියුම් ආඩම්බරක් දැනෙයි. 

"මොකද භාවනා කරනවද ගල උඩ ඉඳගෙන​?" පුංචි අක්කාගේ හඬට මම හැරී බැලුවෙමි
අක්කා හනි හනික නා ඉවර කළ පාට​ය​. ඒකත් ටිකක් අසාමාන්‍යයි. 
"මම අනවශ්‍ය විදියට පුංචි අක්කා ගැන සැක කරනවාද​" කියලත් මට හිතුණා.
මේ චූටී, අරක ගැන ලොක්කිට එහෙම කියන්ට එපා හරිද​".
 අක්කා මා දෙස බලාගෙන කීවාය​.
මොකක් ගැනද​?”
අපි ජනකත් එක්ක කූල් ස්පොට් ගියා කියල​"
"ඉතින්! ඇති දේකුත් නැතිලු. කියන්ටත් එපාලු. පුංචි අක්කා, මං දන්නව මොකක් හරි හොරයක් තියෙනව"​.
මම පුංචි අක්කාගේ මුහුණ දෙස බලාගෙනම කීවෙමි.
අනේ මේ පද හදන්නෙ නැතුව ඉන්ට​"
අක්කාගේ හඬ බැරෑරුම් බවක් දැනවූ බැවින් මම ඉන් පසු නිහඬවී ජනකපුංචි අක්කාගේ සාමාන්‍ය මිතුරෙක් යයි සිතන්නට පෙළඹුණෙමි.
ඉන්පසු අපි ජනක ගැන කතා නොකළෙමු. සමහර විට ඉස්කෝලෙට යන අතර මඟදී අක්කාට ජනක හමුවෙන්නට ඇත​. උදේ අපි ඉස්කෝලේ යනවිට ඇතැම් දවසක පාමසිය ඉදිරිපිට ජනක සිනා මුසුව මා දෙස බලා සිටියේය​. මමද සිනා මුසුව පිය මැන්නෙමි. 

බොහෝවිට මම තරමක් කලින් ඉස්කෝලෙට යන්නට පිටත් වීමි. පුංචි අක්කා ගියේ තරමක් ප්‍රමාදවය​. ඒ ඇය සමහර දවස් වලට මැදියම් රැය වනතුරුම පාඩම් කරමින් සිට​ අවදිවන්නේ මදක් ප්‍රමාදව නිසාය​.  සමහර විට දිනපතාම ජානකත් පුංචි අක්කාත් මුණ ගැහෙන්නට ඇතත් ඇය මා සමඟ කිසිවක් කීවේවත්මම ජානක පිළිබඳව අක්කාගෙන් ඇසුවේවත් නැත​. මට ඔවුන් ගැන උනන්දුවක් නැති බව අඟවන්නට ඕනෑවිය​.


(තව කොටසක් ළඟදීම​...)

Friday, 15 September 2017

පිළිබිඹුව - 2


වෙලාව හයහමාරට විතර ඇති. මට හරි බඩගිනියි. කලින් යන්න ඕන dining hall එකට​.
සිතූ මම තුවායත් සබන් පෙට්ටියත් අතට ගෙන බාත් රූම් එකට යන්නට  සූදානම් වුණා පමණි. කාමරයේ දොර විවෘත විය. මම ඇඳ යට තිබූ රබර් සෙරෙප්පු දෙක ගන්නට නැවී සිටියද ඒ කාමරයට ඇතුළු වූයේ  නිපුනී බව ඉඳුරාම දැනගතිමි.
ආ... මොකද අද කලින්මං මේ වොෂ් එකක් ගන්ට යන්ට යන්නෙ. කාලෙකින් අද රූම්මේට් එක්ක ඩිනර් ගන්න පුලුවන්".
නිපුනී පිළිතුරු දුන්නේ නැත​. මම ඈ දෙස හැරී බැලුවෙමි. පොත් හා ෆයිල් එක මේසය මත තියන ගමන් නිපුනී මට පිටුපා සිටි බැවින් ඇගේ මූණ හරි හැටි පෙනුනේ නැත​. මම දොර අඩක් ඇරදමා කොරිඩෝව දිගේ බාත් රූම් එකට ගියෙමි.
නිපුනීගේ මුහුණ මා දැක්කේ නැත​. මා කීදෙයට ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේද නැත යි මොහොතකින් මතක් වූයෙන් කොරිඩෝව දිගේ මද දුරක් ගිය මම ආපහු හැරී කාමරයට ආවෙමි. මා කාමරයට ඇතුළු වෙත්ම නිපුනිගෙ ඉකිබිඳුම් හඬ ඇසුනෙන්, මගේ සිත පමණක් නොව ගතද සසල වන්නට විය​. නිපුනී ඇඳ මත මුනින්තලාවී මාරාන්තික වේදනාවක් යටපත් කරන්නට දරන තැත මා බියපත් කරන්නට සමත් විය​.
නිපුනී... නිපුනී...."
ඉකි බිඳින නිපුනී දෙස මා මොහොතක් බලා සිටියෙමි.
හත් දෙයියනේ මොකද මේ?”
ඇඳ ළඟට ගිය මම බිත්තියට දෙසට හැරී මුහුණ කොට්ටයෙහි ඔබාගෙන සිටින නිපුනිගේ උරහිසට අත තබා ඇගේ ඇඳ මත වාඩිවීමි.
"ඒයි... නිපුමොකද ළමයො මේඅසනීපයක්ද ....නැත්නං වෙන ප්‍රශ්නයක්ද​?
කතාකරනු වෙනුවට ඉකිබිඳුම වේගවත් විය.
ඉතින් කියන්නකො අයියො... මොකද්ද කරන්ට පුළුවන් කියලා බලන්න"​.

හිසත්, උරහිසත් හෙමින් පිරිමදින ගමන් ඇය මා දෙසට හරවන්නට උත්සාහ කළෙමි. ක්‍ෂණිකව හිස ඔසවා ඇඳ මත දණින් සිටි නිපුනී, මගේ බෙල්ල බදා ගෙන වැලැහින්නක මෙන් හඬා වැටුණාය​. වේගයෙන් ගැහෙන සිරුර දැරිය නොහැකි වේදනාවක් තෙරපා හරින්නට දරන වෙහෙස බලා සිටින්නට අපහසුය​. ඉකිබිඳුමක් හැර ඇගේ මුවින් යමක් පිට නොවෙයි. කියන්නට ඕනෑ දෙය පිට කරගන්නට ඇය මහත් ආයාසයක් දැරුවාය​. ඇඬීම බාල වෙනතුරු ඇගේ හිස මගේ දකුණු උරහිසෙහි හොවා කම්පිත සිරුර දෝතින්ම වැළඳ ගෙන සිටියෙමි.

"නිපු... අඬ්න්නෙ නැතුව මොකද වුණේ කියන්නකො"
මම බැගෑපත් වුණෙමි.
මගේ ඇවිටිල්ල ඇයට නෑසුණ තරම්​ය. වරක් තීව්‍ර වන ඇඬුම තව මොහොතකින් කෙඳිරියක් මෙන් ද, තවත් වරක සියුම් සැතකින් සහින විට දැනෙන වේදනාවක් මුදාහරින කලක මෙන් මහත් සම්පීඩනයකින්ද හඬා වැටුණාය​. ඇගේ මුළු සිරුරේ බරම මා මත පතිතවී ඇත​. මම සෙමෙන් ඇයව ඇඳ මත වාඩි කරන්නට උත්සාහ කළෙමිඑකෙනෙහිම ඇය කෙසෙල් කඳක් මෙන්  කඩා වැටුණාය​.
මගේ හොඳම මිතුරිය නොව පරම හතුරෙක්වත් මේ අයුරින්  හඬනු දැකීමට මම අකැමැත්තෙමි. බොහෝ වේලාවක් ඉකිබිඳ, බිඳුණ ඉකියක් අතරින් ඇය කී දෙයින් මා අහුලා ගත් දේවල සාරාංශය ලෙස​ මට තේරුම් ගියේ, නිපුනීත් අසංගත් අතර තිබූ ප්‍රේම සම්බන්දය අවසන්ව ඇති බවය. ​
මේ අවසානයට හේතුභූතවු කාරණා පිළිබඳව​මා සතු අවම උපකල්පන හැකියාවට හසුවන මානයේ සිට බැලුවත්, සැලකිය යුතු යමක් මට හමු නොවුණි. දම්වැලක පුරුක් මෙන් දහසකුත් එකක් සිතාගැනීම් මා සිත තුළ දැවටෙන්නට​ විය​. එහෙත් එහි උපරිමය නම් මා වැන්නියකට සිතා ගැනීමටවත් නොහැකිය​.

මගේ මුළු ගතම කිළිපොලා ගියේය​. මේ නම් ඇදැහිය හැකි දෙයක්ද​?අවුරුදු දෙකක ප්‍රේම පුරාවෘත්තය අවසන්සැබැවින්ම අවසන්ව ඇත්තේ දෙදෙනෙකු අතර පැවැති භෞතික සමායෝජනයයි. ඉන් පසු උද්ගතවන මානසික තැළුම් සීරුම් වල අවසානයක් කොතැනක නම් තිබිය හැකිද​​
එකිනෙකාගේ සිත් සතන් තුළ ජනනයවූ බලාපොරොත්තු සහගත බැඳීම්, සාගරය වැනි අනන්ත​
අපරිමිත සතුටක උල්පතක්ව පවතින්නට ඇත​​. අහස සිඹින කඳු වළල්ලක් මෙන් ඔවුන් දෙදෙනා කේන්ද්‍රගතකර​ ගොඩනඟන ලද ප්‍රේමණීය​ ලෝකයේ​ මිහිරි මතකය එකිනෙකාගේ ආත්මයන් සෙක්කුවක දමා තළා පෙළා යුෂ මිරිකන​ විටක මෙන් වේදනාකර වනු ඇත​.

වැහිබර දවසක​ හන්තාන කඳු වැටිය පීරා විත්, හැපී බිඳෙන වියරු කුණාටුවක් මෙන්, නිපුනීගේ වැළපීම වේදනාකරය​. කාමරයේ සීලිං ලයිට් නිවාදැමූ මම මගේ මේසය මත වූ table lamp එක දැල්වීමි. එහි ආලෝකය නිපුනීගේ ඇඳට නොවැටෙනසේ ලාම්පුව හරවා තැබුවෙමි.

නිපුනීගේ හිසත් නළලත් ගිනි කබලක් වගේ රත්වෙලා. ඊට ප්‍රතිවිරෝධීව අත්පා සීතල වෙලා.
මම වහා නැඟිට ග්‍රොස් රෙදි කඩක් ඕඩිකොලොං වල පොඟවා ඇගේ නළල මත තැබීමි. මට කළහැකිව ඇත්තේ එවැනි අත් උදව් දීම පමණි. අනික් අතට ගැටළුව නොදැන විසඳුමක් හොයන්ට විදියකුත් නැත​.
පහුගිය අවුරුදු දෙක අපි කොයිතරම් සමීපව සිටියාද​ඒත් මේ තීරණාත්මක අද දිනය වන තෙක්, මට විවර නොවූ පැති කඩක් නිපුනිගේ ජීවිතයේ තිබූ බවද මම නොදැන​ සිටියෙමි. හාරා අවුස්සා අනුන් ගේ පෞද්ගලිකදේ දැන ගැනීමට මට අවශ්‍ය නොවුණද, සමහර අවස්ථා මා විසින් සොයා බැලුවානම් හොඳ නොවිනිදැයි දැන් මට සිතේ.ඇය මට වැසැංගූ දේත් මම ඇගෙන් නොවිමසූ දේත් එකක්මවී මේතරම් ශෝචනීය අවසානයකට අවතීර්ණ වී ඇතැයි මම අනුමාන කළෙමි.

මගේ සිත මහත් අනුකම්පාවකින් පිරිතිරෙයි. ඉකිබිඳුම තුරල්වීගෙන ගියමුත්, මහමූදේ රළ බිඳෙන්නාක් මෙන්, තොරක් නැතිව සුසුම් හෙලන හඬ ඇහීම පවා වේදනාකාරීය​. මම ඇගේ සිරුරට ස්පර්ශ වන සේ ළංව ඇඳේ වාඩිවී සිටියෙමි. බියකරු රාත්‍රියක ආරම්භයක් සනිටුහන් කරමින් මේ ගොම්මන් අඳුරත් එක්ක අරක්ගත් යක්‍ෂයා මොකාදැයි මම දහ අතේ කල්පනා කළෙමි. නොයෙකුත් අතුරු මං පෙත් ඔස්සේ හිතන්නට වෙහෙසුන මුත් නිපුනිත් අසංගත් අතරට කඩාපාත්වූ හෙනය කුමක්දැයි දැන ගන්නට තරම් ඉවක් මට නොතිබුණි. මට නොතේරෙන අනන්ත අප්‍රමාණ දේ අතරින් මේ එක අංශුවක් පමණි. අද උදෙත් ෆයිල් කවරය සහ කුඩය වම් අතින් ළය මඬළට තුරුළු කරගෙන, අසංගගේ පසෙකින් ලතාවකට ගමන් කරන නිපුනී මගේ සිතේ ඇඳී මැකීයයි.
අප දෙදෙනාම hall එකෙන් පිටවුණේ එකටය​.  නිපුණී එනතුරු අසංග  හිල්ඩා ගහ ළඟ ලාසිටියේය​. මම ඔවුන්ට ඉදිරියෙන් යන්නට ඉඩදී  ගමන බාල කළෙමි. අසංගගේ පෙනුමෙහි වෙනසක් වීදැයි මට මතක නැත​. කෙසේ හෝ මම ඔවුන් පසු පසින් ගමන් කළෙමි.මේ දෙන්නා සෙනෙට් එකට හැරෙන අඩි පාරෙන් හැරී ගොස් ලයිබ්‍රරියට පැත්තට යනව දැක්ක. මගේ පොල් (Political Science) ලෙක්චර් එක පටන් ගන්නේ නවයට නිසා මම අඩි ඉක්මන් කොට AT එකට රිංගා ගතිමි​. පමාවී ගියොත් Dr.සොයිසා ගෙන් බැණුම් අසන්නට සිදුවනු ඇත​. මගේ ලෙක්චර් දෙක ඉවර වෙලා, අපේ කාන්ඩෙත් එක්ක ලන්ච් වෙලාවට, මං hall එකට ආව, එච්චරයි!

කෑමෙන් පස්සෙ සුපුරුදු විදියට​ පුංචි තෙල් බෙදිල්ලකටත් සෙට් වෙලා ඉඳල, කාමරේට ආවට පස්සෙ අද දවස ගෙවුණෙ කාමරේමයි. මගෙ දෛනික චරියාව බෙහෙවින් සරලය​. එමෙන්ම විවෘතය​. දැරිය හැකි පමණට බර පටවා ගැනීම හැම අතින්ම ගුණදායකය​. සංකීර්ණත්වයත් සමඟ දැනෙන අසහනයට මම අකැමැත්තෙමි. ඒකචාරී ජීවිතය සැපයයි මා සිතෙන්නේ ඒ නිසාය​.

මම වරින් වර නිපුනීගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි. තවත් වරක ඇගේ උරහිසේ සිට පිට දක්වා පොඩි බබෙකු නිදි කරවන්නට මෙන් ඇඟිලි අගින් මෘදුව තට්ටු කළෙමි. හඬන වැළපෙන කෙනෙකු දෙස බලා සිටින්නට මා අපෝසත්මි. හැඬුම නතර කිරීමටත්හඬන්නා නැළවීමටත් මා උදක්ම වෙහෙසුණේ, මගේ සිත අස්වසන්නටත් එක්කය​. එනිසා මගේ කොට්ට දෙකත් නිපුනී ගේ දෑලේ තබාඇය උණුසුම් වන පිණිස රුකුල් කළෙමි.
හය හමාරට මට දැනුන කුසගින්න දැන් නිවි ගොස්‍ ​. ගතවූ කාලය සුළු නොවුනත් එම කාල පරාසය තුළ නින්දත් නොනින්දත් අතර සිටින නිපුනි ළඟ මම නොසෙල්වී සිටියෙමි.

"නිපූ...පූ" මම සෙමෙන් ඇමතුවෙමි.
ඇය තදින් හුස්ම ගනී.
නමුත් කතා කළේ නැත​.
මටද​ කෑමට අවශ්‍යතාවක් හෝ ප්‍රියබවක් නැතත් කෑම පිඟාන කාමරයට ගෙන ආයුතුයයි මම තීරණය කළෙමි. අප දෙදෙනාගේම මීල් ටිකට් දෙකත් ප්ලාස්ක් එකත් ගෙන සෙමෙන් දොර වසන්නට යන විටම නිපුනී යන්තම් හිස හරවා බැලුවාය​.
"ඇයි නිපූ..."යි අසමින්ම මම නැවතත් ඇඳ ළඟට ගියෙමි.
"මට වතුර ටිකක් දෙන්න ".
බෝතලයෙන් වතුර ටිකක් ජොග්ගුවට දමා ඇයට පෙව්වෙමි'
"ඔයාට පැනඩෝල් එකක් දෙන්නද​?
"එපා. වතුර විතරක්"
"ඔයාගෙ ප්ලේට් එක අරන් එන්නං මං"
එපා"යි කී ඇය අනික් ඇළයට හැරුණාය​.
මම දොරේ යතුර කරකවා ඇද, කොරිඩෝව දිගේ පඩිපෙළ බැස්සෙමි. පහත මාලයේ සිටි කෙල්ලන් කීපදෙනෙකු මා එනු දැක ගමන් බාල කළෙන් මමද ඔවුන්ට එකතු වුණෙමි.
"කෝ නිපුනිතාම දක්කනවද​?" ස්වර්ණා ඇසුවාය​.
"ඇඳේ. සුපුරුදු ලෙඩේ හැදිල.​"
"ආ...ආ! ඕක ලෙඩක් ය​ . අනුෂා මගෙ ලණුව ගිල්ලාය​.
"අනුෂා වගේය අනික් හැම ගෑනු මනුස්සයෙක්ම​" මම කීවෙමි.
"මූ මනුස්ස දුවක්ය​. ගල් පතයක්නෙ" ශ්‍රියා අනුෂට ඔලොක්කු කළාය​.
"අද ප්ලේට් දෙකම රූම් එකට අරන් යනව. ශ්‍රියා මේ ප්ලාස්කෙකට උණු වතුර එකක් අරන් එන්න ආපහු එනකොට​".
මම ශ්‍රියා පමණක් කාමරයට ගෙන්වා ගැනීමට සැලැස්සුවෙමි.
අනතුරුව කවුන්‍ටරයට මීල් ටිකට් දෙක දී කෑම පිඟන් දෙක අතට ගත්තෙමි.
රූමට සනීප නෑ ටිකක් විතර. මම මේ ප්ලට් දෙක නොවරදවාම ගෙනත් දෙනව නන්දක්කේ, හෙට උදේ ටී වලට එනකොට හොඳේ. 
කවුන්ටරයේ සිටි නන්දක්කට කීවෙමි. 
"හොඳයි මිසී! " නන්දක්කා අනුමත කළාය​.  
මේ මිනිස්සුන්ට මනුස්ස කමෙන් කතා කළාම ඔය වගේ උදව්වක්වත් කර ගන්න පුළුවන්. නැත්නම් රූම්ස් වලට plates අරන් යන්න තහනම්නෙ.
මම කෑම පිඟන් දෙකම දෑතින් ගෙන කාමරය ළඟට ආවෙමි. 

එක අතකට, පිඟන් දෙකම එක අතක රඳවා ගෙන දොර  ඇරීම තරමක උභතෝකෝටික ප්‍රශ්නයක් විය​. එකක් වම​තේ ඇඟිලි වලින් අල්ලා ගෙන, අනික් පිඟාන බාහුවටත් මැණික් කටටුවටත් හිරකර, දකුණු අතින් යතුර දොරට යතුර දමා කරකවා දොර පයින් තල්ලු කළෙමි. ඉන් පසු පරිස්සමෙන් පිඟන් දෙක දෑතට මාරු කර විළුඹෙන් දොරවසා දැමුවෙමි.

මා කාමරයට එන විටත් නිපුණී නිදාගත්වනමය​. ඇය නොකා ඉඳිද්දී තනියම කන්නේ කොහොමද?
පිඟන් දෙකෙ මේස දෙක මත තියන ගමන් "නිපුනි"යි කී මුත් ඇය සිටියේ නින්දෙන් යයි හැඟෙන විදියටය​.
"නිපූ අපි දෙන්නම කෑම ටිකක් කමු"
නිපුනිගේ නළලට අත තියන ගමන් කීවෙමි.
"ඔයා කන්න මේධා. මට බඩගිනි නෑ". නිපුනි සෙමෙන් කෙඳිරුවාය​.
" බඩගිනි නැති වෙන්නෙ කොහොමද​දැන් රෑ අටත් පහුවෙලා. නොකා නොබී ඉන්න එපා ".
ඔයා කන්න මේධා. ඔයාට බඩගිනියි. ඔයා කන්න​.
"ඇත්තටම මට යකෙක් කන්න බඩගිනි තමයි. හත වෙනකං හිටියෙත් නොඉවසිල්ලෙන්".
මම ඇත්තම කීවෙමි.
 “වෙනදා ඔයා හතට කෑම කන්නෙ. ඔයා කන්න ප්ලීස්..."
නිපුනී මා මැනවින් දනියි. මම කෑම කන්නට තීරණය කළෙමි.
"මට ඔය වගේ දෙයක් වුණානම්, මමනං හොඳට කාලා බීලා තමයි ඊළඟට කරන්ට ඕන දේ කල්පනා කරන්නෙ". හිත ඇතුළෙන් මටම කියාගතිමි.

එක අතකට ප්‍රේමයේ වේදනාව දැනෙන්න්ට නං ප්‍රේම කරල තියෙන්ට එපාය​.
විරහ වේදනාවෙන් පිස්සු කෙළින හැටි දැක්කම ප්‍රේම කෙරිල්ල එපාවෙනව​.ප්‍රේමවන්තයෝ. ඉන්නෙ පරෙවි ජෝඩු වගේ. ඒ වුණාට පොඩ්ඩ බැරිවෙන කොට කපුටො වගේ කාකොටා වැටෙනව​. මනුස්සයෝ දෙන්නෙකුට වත් එකාවන්ව ජීවත් වෙන්ට බැරි එකේ පවුලක්, ගමක්, පළාතක් එක්කාසු කරන්නේ කොහොමද​? මනුස්සයෝ හැම වෙලාවෙම හිතන්නෙ බෙදෙන්ට මිස, සහයෝගයෙන් එකතු වෙන්ට නෙවෙයි නෙ. ඒක ඉතින් මනුස්ස හැසිරීම​!

ඔයාගෙ ප්ලේට් එක වහල තියනව හොඳේ​. හැබැයි මම නං දැන් කන්න ඕන"​. මම කෑම පිඟාන අතට ගතිමි. පිදේනිය ඉස්සරහ ඉන්න කපු රාළ වගේ සුවඳ අල්ල අල්ලා ඉන්න අමාරුයි!"

මම හැකි ඉක්මණින් කෑම පිඟානම ඉවර කළෙමි. ඉන් පසු බාත්රූම් එකට ගොස් අත සෝදා දත් මැද මුහුණ කට සෝදාගෙන කෙටි shower එකක්ද ගෙන​ කාමරයට ආවෙමි. සීතල වතුරෙන් ඇඟ පත සෝදා ගත්තට පසු අප්‍රමාණ ප්‍රබෝධයක් ගතට පමණක් නොව සිතටද දැනෙයි. ප්‍රේමයට සීතලය උත්තේජකයන් වෙනව වගේම සීතල වතුරෙන් නාගත්තම ඒකත් ප්‍රබෝධකයක් වගෙයි. පේරදෙණියේ සීතලය කොහොමටත් ප්‍රසන්නය​.  

ඒ නිසා වෙන්න ඇති පේරාදෙණිය සරසවිය ප්‍රේමයේ පරාදීසයක් වෙලා තියෙන්නෙ. කලවයස හරි වෙලා මෙතෙන්ට ආවම ගෙදරවල් වලින්, ඉස්කෝල වලින් පනවලා තිබුණ තහංචි ඉබේම බිඳ වැටෙනව​. ඉතින් ඇවිත් ටික දවසකින් ප්‍රේමවන්තයො. හිත් ඇතුළේ තෙරපාගෙන හිටපු තාරුණ්‍යයේ මහෝගය කඩා බිඳ ගෙන පිටාර ගලනව​. හරියට වැවක හොරොව්ව ඇරිය වගේ. රළ පතරේ පීඩනය අඩුවෙනකොට තමයි තේරෙන්නෙ අවට ලෝකයක් තියෙනවා කියලා. නැත්නම් සැබෑ ලෝකයයි, විශ්ව විද්‍යාලයයි තුලනය කරන්න බැරිවෙයි කියලා. 

මම බාත්‍ රූම් එකෙන් එළියට ආවේ එහෙම  හිතමිනි. කාමරය ළඟට එනකොටත්  ශ්‍රියා වතුර පිරවු ප්ලාස්ක් එක අත'තිව දොර ළඟට වී සිටියාය​. අපි දෙදෙනාම බාත් රූම් එකට යන්නට ඇතැයි ශ්‍රියා සිතන්නට ඇත​. මම ප්ලාස්ක් එක එක් අතකින් ඩැහැ ගෙන Thank you! Goodnight! යයි  කීවෙමි. ශ්‍රියා ආපසු හැරෙන්නට ඇත​.මම දොර වසා යතුර කරකවා කාමරය තුළට වැදුනෙමි.  

ඉන්පසු, තෙත තුවාය බැල්කනියේ දමා කාමරයට ඇවිත් කොන්ඩය පීරා කරල් දෙකක් ගොතන ගමන් මම සිතුවෙමි. එයා කාමරයට ආවේ, මං මූණ කට හෝදාගෙන ඇඳුමක් මාරු කරගෙන, මනුස්සයෙක් වෙන්ට හිතන කොටමය​. මූණ හේදිල්ල දිග්ගැස්සිණි​. 

අද හවස​ භාතිය මුණගැසීමෙන් පසු මා තුළ අමුතු ප්‍රබෝධයක් ඇතිවී තිබේ. අවුරුදු තුනක් තිස්සේ හිතේ කොනක සැඟවී තිබුණ උණුසුම් හැඟීමක් අළු යට සැඟවී තිබූ ගිනි පුපුරක් මෙන් දිළිහෙන්නට පටන් ගෙන ඇත​. අද මේ ගිනි පුපුර දැල්වෙන්නට හරිනවාද අළුයට සඟවනවාද යන්න ගැන නිපුණී සම කතා කළ යුතුයයි මේ ගොම්මන් වෙලාවේ මම තීරණය කළෙමි. ඒත් මගේ හිතේ තියෙන ප්‍රබෝධය ප්‍රකාශ කිරීමට අදනං කොහොමටවත් ඉඩක් නැත​. 

සදා අමරණීය යයි සිතා සිටි සොඳුරු ලෝකය බිඳ වැටීමෙන් වැළපෙන මිතුරිය වෙනුවෙන් මට කළ හැකි දෙයක් ඉතුරුව ඇද්දැයි සොයා බැලිය යුතුය​. 
 "අදනම් තුන්තිස් පැයේ පිරිතක් අහනවා වගේ නිපුනිගේ ප්‍රේම පුරාවෘතයට සවන් දීමට සූදානම් වියයුතුය"​. නිපුනිගේ ඇඳේ වාඩි වෙන ගමන් මම හිතුවෙමි.

"ඉතින් මොකද වුණේ දැන්වත් කියන්න නිපූ"
මොහොතක් නිහඬව සිට නිපුනී කටහඬ අවදිකළාය​.


(නිපුණිගේ කතාව අහන්නට නැවත හමුවෙමු).


මල්ලිකා එම්. බණ්ඩාර​