Friday, 1 September 2017

ප්‍රහේළිකාව


මවක සෙනෙහස  ළබැඳි 
ළමැද උණුසුම නොලද
දෙතන පුඩුවල පහස 
නොලද දෙතොලත රැඳී​
සිනා පොද සිරගතව 
මඟ බලාගෙන​ හිඳී
මඩම සෙවනක් වෙලා  
 කිමද​ මා  තනිවෙලා?

රොද බැඳුන කාන්සිය
සිත පෙලන විට නිබඳ
ලොව මැවූ දෙවිඳුන්ට​
මැවිල්ලේ කොතන හෝ
වැරැද්දක්වී ඇතයි
මට හිතෙන්නේ  කිමද​?

ළපටි සිත ඉකිගහන
වදන් ගත කළ නොහෙන​
අසංකෙය්‍යක් සිතැඟි පීදුනත්
අසම්මත කළලයක් ලෙස ගැබක පිළිසිඳී 
තිඹිරි ගෙයිදිම​  මියෙන​
කියා ගත නොහැකි සිතු උල්පතේ
තියා ගත නොහෙන දිය සීරාව​
වියැකිලා යන්නටද 
මිහිතලේ සැඟවුණේ?


මල්ලිකා එම් බණ්ඩාර​

01.09. 2017

No comments:

Post a Comment