Sunday, 24 September 2017

මාල ගිරවී - 4 වන කොටස​

මල්ලිකා එම් බණ් ඩාර ලියන්නීය​


ටවුමේ ඉස්කෝලෙට ගිය දෙවන අවුරුද්ද තුළ​පලමුවන අවුරුද්දටත් වඩා විශාල පරිවර්තනයක පෙරනිමිති පහල වන්නට වීයයි මම සිතමි. ගමේ පාසලට වඩා බෙහෙවින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිතවිවිධත්වයෙන් අනූන සුන්දරත්වයෙන් පිරිපුන් පරිසරය මගේ සිත අමන්දානන්දයට පත් කළ බව මට මතකය​. මා තුළ පිබිදෙමින් පවතින දහසකුත් එකක් බලාපොරොත්තු සමඟ ජීවිතය වැළඳ ගන්නට  මම සැදී පැහැදී සිටියෙමි. එය පාසල් ජීවිතයේ ආහ්ලාදය සමඟ අත්වැල් බැඳගත් සුබවාදී ගමනක​ පෙරවදනක් විය​.

මේ දවස් වල​ පුංචි අක්කලාගේ හවස පන්ති පටන් ගැනුන අතර එම වාරය අවසන ඇය උසස් පෙළ විභාගයට වාඩි වීමට නියමිතව තිබුණි. බොහෝ දින වල අක්කා හවස් වනතුරු පුස්තකාලයේ සිට ඇගේ මිතුරියන් සමඟ පාඩම් කළාය​. එනිසා ඉස්කෝලෙන් පස්සේ මා ගෙදර ආවේ තනිවමය.​බොහෝවිට මම තරමක් කලින් ඉස්කෝලෙට යන්නට පිටත් වීමි. පුංචි අක්කා ගියේ තරමක් ප්‍රමාදවය​. ඒ ඇය සමහර දවස් වලට මැදියම් රැයක් වනතුරුම පාඩම් කළ නිසා අවදිවන්නේ මදක් ප්‍රමාදව නිසාය​සමහර විට දිනපතාම ජානකත් පුංචි අක්කාත් මුණ ගැහෙන්නට ඇතත් ඇය මා සමඟ කිසිවක් කීවේවත්මම ජානක පිළිබඳව අක්කාගෙන් ඇසුවේවත් නැත​. මට ඔවුන් ගැන උනන්දුවක් නැති බව අඟවන්නට ඕනෑවිය​.

නගරයේ පාසලේ නව වට පිටාව, අළුත් යහළු යෙහෙළියන්, මගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට නව අරුතක් එකතු කරන ලදි. තව අවුරුද්දකින් අ.පො.ස​. සාපෙළ සඳහා පෙනීසිටීම මගේ ප්‍රධාන ඉලක්කය විය​. ගෙදර පවතින කටුක පරිසරයෙන් අත මිදෙන්නට නම් ලොකු අක්කා මෙන් පාඩම් කළ යුතුය. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණොත්උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව තෝරා ගත යුතු යැයි මම සිතන්නට පුරුදු වීමි. අම්මාත් තාත්තාත් මා කෙරෙහි අසීමිත බලාපොරොත්තු තියාගෙන සිටී.

අක්කලා දෙන්නාම කලා විෂයයන් හැදෑරූ නිසා අඩුම තරමින්විද්‍යා අංශයෙන්වත් උසස් පෙළ සමත් වියයුතුයයි මම සනිටුහන් කර ගතිමි. 
"කුරුමිණිය උගේ තරමට බෙටි දාන්ට  ඕන​. ඌට උකුස්සෙක් තරම් බෙටි දාන්ට බැරි බව තේරුම් ගන්න බැරි වුණොත් ඒක මහ කරදරයක් වේවි" 
ඇත්තටම නම් මට හිතුනෙ එහෙමයි. පන්තියේ ළමයි හතළිහකටත් වැඩියි. ඒ අය අතරින් මම හිටියේ සාධන මට්ටමේ මැද හරියේය​. රෑ දවල් නැතිව පාඩම් කළත් මට නම් අපේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වන දොස්තර සිහිනය සැබෑ කරන්ට බැරිතරම් කියල සමහර වෙලාවට පසුබෑමක් මගේ හිතේ කැකෑරෙනව​.

සමහර වෙලාවට​ ඒක​ හරි ඉහල ඉලක්කයක් කියල මට හිතුනා. කොහෙන්දෝ නොදත් මගේ හිතේ මුල්ලක සැඟවී සිට එබිකම් කරන දෙගිඩියාවක් ඉඳහිට මගේ හිත සසල කරනුද මට දැනෙයි. ඒත් මම හිත  හදාගෙන​ ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දිය යුතුයැයි දැඩීව අධිෂ්ඨාන කර ගන්නට වෙර දැරුවෙමි. අඩු තරමින් විද්‍යා විෂය ධාරාව​ හදාරන්නටත් විශේෂ හැකියාවන් තිබිය යුතුය​. අනික් අතට විද්‍යා විෂයයන් කරන අය දිහා මිනිස්සු බලන්නෙ හරියට අයින්ස්ටයින්ලා කියලා හිතාගෙනය​. කලා විෂයයන් කරන අය දිහා නම් බැලුවෙම මෙලෝහසරක් නොදන්න මෝඩයින් කියලාය​. ඒ නිසා අපේ පවුල් වල කාටවත්ම නැති නම්බුකාර විෂය ධාරාවක් තෝරා ගැනීමට ගෙදරින් පවා තිබුණේ විශාල බලපෑමකි. අන්තිමේදී පවුලේ බලාපොරොත්තුව වෙනුවෙන් මගේ හැකියාවන්මගේ කැමැත්ත පසෙක තියන්නට මට සිදුවිය​.

ඒක හරියට රබ්බඩ වස්සෙකුට ලාඩම් ගසානාස් විද නාස්ලණුවක් දමා වියට බැඳ, තිරික්කලේට සූදානම් කරනවා වගෙයි. පුරුදු වුණාම ඕනම බරක් අදින්ට ලෑස්ති වෙනව​. ගෙදර උදවියට ඕන විදියට තෝන් ලණුව පාලනය කරනව​. මගෙත් නාහෙ විදපු නැති එක විතරයි අඩුව​. අපේ ගෙදර අය මා ගැන මේ තරම් බල කිරීම ගැන මා හිටියේ දැඩි අප්‍රසාදයෙනි. ඒත් මට එයට එරෙහි වෙන්නට තරම් එඩිතරකමක් නොවුණි. අක්කලාගේ අණසක අභිබවා යන්නට තරම් පෞරුෂයක්ද මට නොවිණි.

සිංහල අවුරුදු වෙනුවෙන් ඉස්කෝල නිවාඩු ලැබුණේ 6 වෙනිදාය​. ඒ වන විට පුංචි අක්කලාගේ විභාගය පටන් ගෙන තීබුණි. අක්කා සහ ඇගේ යෙහෙළියන් සිංහල අවුරුදු ගැන වගේ වගක් නැතිව රෑ දවල් නොතකා විභාගය වෙනුවෙන් කැපවී වැඩ කරනු පෙනිණි. අක්කාත් ඇගේ මිතුරියක වන  අමිතක්කාත් අපේ ගෙදරට වී එක් එක් විෂයට අදාල පොත පත පරිහරණය කරමින් ඉලක්ක ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරනු නොයෙක් විට දකින්නට ලැබිණි. සමහර දවස් වල ඔවුන් දෙදෙනාම අපේ නාන පිහිල්ල ගාව ගල් තලාවටවී පාඩම් කළහ​. අම්මා කැවුම් කෙසෙල් දැමූ පිඟානක් සමඟ​ තේ පෝච්චියක් නංගීත් මාත් අත ඔවුන්ට යැව්වාය​.

පහුවදා පැවැත්වෙන විභාගය​ සඳහා ඔවුන් විෂය කරුණු සාකච්ඡා කරමින් මතකය අළුත් කරගනු පෙනෙන්නට තිබිණි. පුංචි අක්කාත් අමිතා අක්කාත් තේ බී ඉවර වෙන තුරු නංගීත් මමත් ගල්තලාව මත වාඩිවී සිටියෙමු. ඔවුන්ට  අපිත් එක්ක​ කතා කරන්නට තරම් වත් ඉස්පාසුවක් නැති ගානය​. තේ බී අවසන්ව,
 "  දැන් ඔයාලා ගෙදර යන්ට". පුංචි අක්කා කීවාය​. අපි දෙදෙනා ගෙදර ආවෙමු.

පසු දින උදේම අක්කා විභාගය සඳහා පිටත් වුණේ සුභ මොහොතිනි. අම්මා ඒ සඳහා වේලාවක් සකස් කර ගෙන ආවාය. විභාගයට කලින්දා අම්මා අක්කාත් සමඟ ගමේ පන්සලට ගියාය​. නායක හාමුදුරුවෝ අපේ අම්මාගේ පවුලට කිට්ටු ඥාති සම්බන්ධතාවක් තිබුණ නිසා නායක හාමුදුරුවෝ ලවා සෙත් පිරිත් කියවා පිරිත් නූලක් අක්කාගේ අතේ ගැට ගස්වා ගැනීමට අම්මාට අවශ්‍ය විය. නායක හාමුදුරුවෝ පිරිත් සජ්ජායනා කර පිරිත් පැන් වීදුරුවක්දී එයින් ටිකක් විභාගයට යන දා උදේ බීමට නියම කර තිබුණි. ඒ මදිවට නැකත් රාල ලවා මතුරන ලද​ තෙලක් අම්මා විසින් අක්කාගේ හිසේ ගැල්ලුවාය​. තෙල් ගල්වනවාට අක්කා විරුද්ධවූ මුත් අම්මාගෙන් ඇයට බේරෙන්නට නොහැකිවිය​. ඉස්මුදුනේ පොල්තෙල් ගාගෙන ඉස්කෝලේ යන්නට අක්කා විතරක් නෙවෙයි මමත් කැමති නැත​. අම්මා විසින් සිදු කරන මේ වතාවත් දෙස අමිතා අක්කා බලා සිටියේ කිසියම් විකාරයක් දිහා  බලා සිටින ආකාරයේ උපහාසයකින් යයි මට නිකමට සිතුනි. අක්කා සමඟ එකට පාඩම් කළ ඇයට මතුරාපු තෙල්පිරිත් නූල් හෝ පිරිත් පැන් කිසිවක් නොතිබුණි. තෙල් බින්දුවක් ගල්වන්නට අම්මා උත්සාහ කළත් ඇය ඊට දැඩිව අකැමැති වූවාය​. එනිසා අම්මා මදක් පසු බෑවාය​.

අක්කා විභාගය සඳහා සුබ මොහොතින් පිටත්ව ගියාට පස්සෙ ගෙදර හිටියේ අම්මාත්නංගිත් මාත් පමණි. අම්මා දෙවට අද්දර සිටින කව්දෝ සමඟ කතා කරන හඬ​ක් ඇසී මම මිදුලට ආවෙමි. කඩුල්ල ළඟ සිටින ජනක දුටු සැනීන් මගේ ගත සළිත විය​. දෑස් ඇදහිය නොහැකිව මම බිරන්තට්ටු වී බලා සිටියෙමි.
ජනක සිනාසුනේය​.
මම පාර අද්දරට හෙමින් හෙමින් ගෑටුවෙමි. අම්මා පුංචි අක්කාව සැක කරනු ඇත​. එනිසා මෙය අහම්‍බයක් ලෙස ඒත්තුගැන්විය යුතුයැයි මම සිතුවෙමි.
අම්මා මේ අයියා පුංචි අක්කගෙ යාලුවෙක්අම්මා ආපසු හැරී මා දෙස​ බැලුවාය​.
මම වහා ඉක්මන් වීමි.
අක්කට අද පේපර් එකක් තියෙනව​. කොහෙද මේ අයිය​ යන්නෙ?”
අඳුනන කෙනෙක් හම්බ වෙන්ට ගියා. නංගිලාගෙ ගෙදර මෙහෙ බව මං දැන ගෙන හිටියෙ නෑ. දන්නව නං අවුරුදු කන්ට එනවනෙ.
 “එන්ට එහෙනම්ඇවිත් වාඩි වෙන්ට " එවර අම්මාද කීවාය​.
එන්ට අයියා. අක්කා ගෙදර​ නැති වුණාට කමක් නෑ.
 අම්මාට ඇසෙන්නට එහෙම කීවත් මගෙ හිත පේන කියන්ට පටන් ගත්තා.
මෙක නං මහ අමුතු ගමනක් "
අම්මා කේතලය ලිප තියන්නට කුස්සියට ගියාය​. නංගී අමුත්තා සිටි තැනට ආවේ නැත​.
අක්කා නැති බව දන්නෙ නැද්ද​?”
මම ඇසුවෙමි.
දන්නවා.
එහෙනං...?”
මට වාක්‍යය අවසන් කරන්නට නොදී ජානක මා දෙසට තරමක් ළංවී සිහින් හඬින් කීවේය​.
අක්කා බලන්ට නෙවි මං ආවේ. ඔයා බලන්ට​. සත්තයි! 
මගෙ හිස මත බීරංගයක් ගැසුවාක් මෙන් දැනිණි.
තවත් මොහොතකින් මගෙ මුළු ග​තම සළිතවී හිරිවැටී යන්නට විය​.
"දෙයි හාමුදුරුවනේමේ මොන සන්තෑසියක්ද​?"
පුංචි අක්කා එක්ක අර තරම් ළඟින් හිටියෙ හැටියට මං හිතුවෙ ඒ දෙන්නා අතරේ යාළුකම ඉක්මවා ගිය​ කිසියම් සම්බන්ධයක් ඇති කියල​.
මට පිස්සු වගෙ ඔයා නොදැක සචී.
ජනක හෙමින් කීවේය​. අම්මා තේ එකක් හදාගෙන ආවාය. ඉක්මණින් තේ එක උගුරට දෙකට ගිලදැමූ ජනක වෙනත් ගමනක් ඇති බව අම්මාට අඟවන්නට වෙර දරන බව මම දැන ගතිමි.
ම්මං මේ යාලුවෙක් හම්බ වෙන්ට යන ගමන්. ගිහින් එන්නම් අම්මේ.
ජනක නික්මුනේය​. මම දෙවැට තෙක් ඔහු පිටු පසින් ගියෙමි.

ගේට්ටුවෙන් නික්ම මද දුරක් ගිය ජනක නැවත ආපසු හැරී ආවේය​. එක එල්ලේ මොහොතක් මගේ දෑස් දෙස සෘජුව බලා සිටියේය​. අම්මා හෝ නංගී අසලක ඇද්දැයි මම ගේ දෙස හිස හරවා බැලුවෙමි. ඔවුන් පෙනෙන තෙක් මානයක සිටියේ නැත​.
නවතත් අර සිහින් හඬින් ,
"නිවාඩුවෙන් පස්සෙ මුණගැහෙමුකීවේය​.


ජනකගෙ දෑස් දෙස එක එල්ලේ බලන්නට බැරි තරම් අපහසුතාවකින් මගේ ඇස් දෙක ගිනිකණා වැටෙන්නට විය​. ඉරු හතක් සඳු හතක් එකවර බැබලෙන මොහොතක තරම් දීප්තියක් ඒ තුළින් නික්ම විත් මගේ පපු කුහරය විනිවිද යන සෙයක් මට දැනෙන්නට විය​. සුළි සුළඟකින් පසු බේරුණ අයෙකුට දැනෙන අන්දමේ වික්‍ෂිප්තියකින් මගේ සිත පිරෙන්නට විය​. ඇස් කන් ඇදහිය නොහැකි ගුප්තමය ලෝකයක සිරවී සිට යන්තම් දිවි බේරාගත් කලෙක මෙන් මම අන්දුන් කුන්දුන්වී ඇති බව මට දැනෙන්නට විය.

(මතු  සම්බන්ධයි)

No comments:

Post a Comment