Sunday, 6 May 2018

මට හිතෙන හැටි

ජීවිතය ගැන සමාලෝචනයක යෙදෙන්නේනම් එහි ඇති උස් මිටි තැන් සේම කළු සුදු තැන් වඩාත් හොඳින් දැක හඳුනා ගෙන ස්පර්ශ කිරීමට අද මට හැකි යාවක් ඇතැයි මම සිතමි. දිගු ගමනට පෙරවදනක් ලෙස  ඒ සියළු මං සලකුණු මා සිත්හි නොමැකෙන ලෙස සනිටුහන් වී ඇත.  මගේ ජීවිත යේ මට මතක ඇති දා පටන්  හමුවූ වැදගත් නොවැදගත් ගැහැණුන් සහ පිරිමින් මෙන්ම එදිනෙදා ජීවිතයේදි අත්දුටු දේත්ඇසූ දේත් මා සිත් කැටපත් පවුරෙහි නොමැකෙන සේ ඇඳී ඇතැයි මට සිතේ.

කාලයේ අනවරත කාලගුණික බලපෑම්, වෙනස්කම් ඇතිවාක් මෙන්මජීවිතයටද නොයෙකුත් හැල හැප්පීම් වලින් ඇති කරන ලද බලපෑම් කැළඹීම් ඇතිවේ. එවන් අනිවාර්‍ය වෙනස්කම් හමුවේ, මා දැක්වූ ප්‍රතිචාරයන්ද වෙන් වෙන්ව  කිසියම් ගමන් පථයක පිහිටා, කිසියම් දිසානතියක ස්ථානගතකර ඇත​. ඒ අනුව​ හොඳ හෝ නරක යයි, පැවති සම්මුතියෙන්  පරිබාහිරව, මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ උකහා ගැනීමේ සහ ඊට අනුගතවීමේ, අපූරු නම්‍යතාවක් මා සතුව පැවතිනි.  

එමෙන්ම ඔවුන් සතු මානසික හෝ කායික ශක්තීන් උකහා  ගැනීමටත් නිතැතින්ම හුරු පුරුදුවූ බව මට මතකය​.  එවන් විට සංවේදනාත්මක මනෝභාවයන් විසින් නිරන්තරයෙන් මා සිතඋද්දීපනය කළ අතර​ බොහෝවිට හැඟීම් වල​ වහලියක වීමට ඇති අකැමැත්ත විසින් මා  බුද්ධියත් හදවතත් සමඟ තියුණු ද්වන්ධ සටනකට  අවතීර්ණ වන්නට ඇත. අන්තිමේදීයමක් කිරා මැනබලා  මගේ එදිනෙදා ජීවිතයට මුහුකර ගැනීමට  මා පෙළඹුණේ එවැනි මිනිසුන් සහ ගැහැණුන් ගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම්  සහ වචන වල කැටිව තිබූ උත්තරීතර මානව දයාව නිසා ය​.

ඉතින් ඕනෑම ගැහැණියක හෝ මිනිසෙකු තුළ පවතින  හොඳ යැයි මට පෙනෙන දෙයක්ගතිගුණයක් අනුගමනය කිරීමට මා පසුබට වූයේ නැත​. අඩුමතරමින් ඔවුන් ගේ “ sense of hummer” හෝ මගේ සිත්පැහැර​ ගත්තා විය හැකිය​. සියුම් භාව ප්‍රකාශන කුශලතාව මා තුළ  තීව්‍ර වූයේ  වැඩිමනත් පිරිසක් විසින් අතහැරැ ​ දමන ලද බොහෝදේ තුළින්  මා කිසියම් වටිනාකමක්අගයක් දුටු නිසා විය හැකිය.​

මනුෂ්‍යයා පිළිබඳ  තොරතුරු මා දැනගත්තේ පොතපතින් කියවූ “humanisim” නිසාම නොව එදිනෙදා ජීවිතයේ හමුවූ වැදගත් නොවැදගත් ගැහැණුන් සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලට පාදකවූ ඔවුන් ගේ චින්තන රටාව ඉව ඇල්ලීමෙනි. ඔවුහු සරල ජීවිත ගත කළහ​.  සරල සිතිවිලි වලින් සහ ඇගැයීම් පරිපූර්ණ එවන් මිනිසුන් ළඟ​ නිර්ව්‍යාජවූත් සුන්දරවූත් සතුට ඇතැයි ඇදහීමි. සරලබව සිතේ දරාගෙන සිනාසීමට ඔව්හු මට ඉගැන්වූහ​. මනුස්සයෙක්‍ යයි සිතිය හැකි ප්‍රපංචයක් දුටු කෙණෙහි  හිනාවීමටඅඩුතරමින් මුවට හිනාවක් නගාගැනීමට උත්සාහයක්වත් දරන්නට  මට ඉගැන්වූයේ එවැනි මිනිසුන්ය​. 

පාසලපන්සල හෝ පල්ලිය යන ආයතන මෙන්ම පොත පතද මගේ පියවර තැබියයුතු ප්‍රමාණය තීරණය කරන්නට කණහුළු ඇල්ලූ බව ගෞරව පූර්වකව සිහිපත් කරමි. මා ආ මඟ දිගේ ආපසු හැරී බලන විට, ජීවිතය යනු රෝස මල් යහනාවක් නොව මල්පිපුණ රෝස පඳුරක් යයි මම සිතමි. මල් වල පැහැයට වඩා අගයක් ලැබෙන්නේ මලටම ආවේණික සුවඳ නිසාය​. බොහෝවිට පැහැය වියැකී ගියද සුවඳ පමණක් මතකයේ තැන්පත්ව පවතියි. 

ඉතින් සචේතණික මනුෂ්‍යයෙකුට වඩාත් වැදගත් වන්නේ කටු පඳුරු අතරේ අවධානයෙන් යුතුව සැරිසැරීමට වග බලාගැනීම යයි මට තහවුරු කර දුන්නේ ඒ කටු සහිත රෝස පඳුරුමය​. ජීවිතය නැවුම් කරනුවස් ඒ ආමෝදය උකහා ගතිමි. කටු අතු මඟ හරින්නට හැකිතාක් වෙහෙස දැරුවෙමි. එද​ කටු ඇනී සීරුම් තුවාල වල වේදනා විඳ ඇත්තෙමි. වේදනාව සමනය වුවද වණ සුව වුවද, කැළැල් නොමැකී තාමත් මට ඒ උගත් පාඩම් මෙනෙහි කරන්නටත් නැවත ඒ අත්දැකීම නොවිඳින්නටත් සිහිපත් කරනු ලබයි. 

තමන් ගේම අත්දැකීමෙන් අවබෝධකර ගතයුතුය යන නියතිය මම ප්‍රතික්‍ෂේප කරමි. හැකිතාක් අනුන් ගේ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට මහන්සි ගත යුතු බව පසක් වන්නේ පසු කාලීනවය. ඒ පරිණත භාවය ලැබෙන්නේ පියවරෙන් පියවරටය​. පියවරෙන් පියවර නොතබා කඩුළු පැනීමට පෙළඹීම අවදානම් සහිතය​.  ඒ කාලය විසින් කියාදෙන පාඩම් වශයෙනි. කාලය විසින් පාඩම් කියා දෙනු ලබයි. ඒත් පාඩම් පොතට දිනෙන් දින මොහොතින් මොහොත අළුත් පිටු සහ පරිච්ඡේද එකතු වෙයි. පොත නිමාවෙන්නේ සැඳෑ හිරු දියවී ගොස් විඩාබර ගත සිත නිවන්නට තුරු හිස් අග්ගිස්සෙන් එබී බලන ළා සඳ තරු පහන් දල්වන මඳ අඳුර ගලන මොහොතේය​. එද මිනිසෙකුගේ ජීවිත කාලය තුළ එක් වරක් පමණක් නොව ප්‍රථම වර මෙන්ම අවසන්වර වන්නේය​.




මල්ලිකා එම් බණ්ඩාර​
01. 05. 2015



No comments:

Post a Comment