Friday, 25 May 2018

හඳ කතා කරන්නීය​




දෙදිනක් තුළ එකදිගට පැවති කාලගුණය පහව ගියේ නැත​. අද ඉර පෑව්වේ ඉතාමත් පැහැපත් අහසේය. මුළු දවස පුරාම අහස නිල් වියනක් මෙන් දීප්තිමත්ව බැබලිනි. ඉඳහිට වළා රොදක් හිරු ආවරණය කළද, නැවත මොහොතකින් තෙත පොළොව සිප ගන්නට හිරු කිරණ සමත් විය​. විවර කරන ලද ජනේලය තුළින් අහස දෙස බලන්නට ඕනෑවූ මුත් අහස වෙනුවට මට පෙනුණේ ඝන සැරේට වැඩුනු දැවැන්ත ඕක් ගහේ අතු පතර පමණි.  හරිත වර්ණ වියන යටින්  ගලා ආ රන්වන් සඳ එළිය  පොළොව මත වැක්කෙරෙමින් පැවතිණි. සඳ එළියෙන් අඳින ලද ඕක් කොළ වල සෙවැනැළි තණ පලස මත මනාව සිත්තම් වී තිබිණ​. ඕක් පත්වල හැඩය පැහැදිළිව දකින්නට හැකි තරම්  සෙවැනැළි සජීවී ලෙස නිර්මාණය වී ඇත.

සොභාව සෞන්දර්‍යයේ අත්‍යන්ත නිර්මාණශීලිත්වයෙන් මගේ සිත මෝහනය වූවාක් මෙනි. සඳ කැන් රටාවෙන්  සිත්තම් වුණ පොල් අතු  වල හැඩය අපේ ගෙදර මිදුල පුරා වැටී තිබුණ රාත්‍රී කාලයන් මගේ මතකයට පිවිසුණේ සැනෙකිනි. ළමා වියේදීත් යොවුන් වියේදීත් ඒ එකම අද්දැකීම මා විඳ ඇත්තේ අසීමිත මිහිරියාවකිනි. හඳුරුක්කන්ද පසුබිම් කරගත් තරු මල් යායක, මහත් අභිමානයෙන් සිනාසෙන සඳ පළුව දෙස මා බලා සිටියේ මොනතරම් ආහ්ලාදයකින්ද​?

කිරි සක වගේ අද​ හඳ පළුව”​

සඳ ඇති රැයක මිදුලේ සක්මන් කරන ගමන් ම්මා කියනු ඇසෙයි. මම මිඳුලට බසිමි. ඇයට අවශ්‍යව ඇත්තේ සඳ පහන් රාත්‍රියේ සුන්දරත්වය, මා සමඟ බෙදා හදා ගන්නට බව මම දනිමි. ඉන් පසු අප දෙදෙන මිඳුලේ එහා මෙහා ඇවිදිමින් කතාවකට මුල පිරුවෙමු. ඒ කතාව කුමක් වුවත්, එය​ මගේ​ ජීවිතෙයේ අරුත්බරවූත් ළයාන්විතවූත් පාඩම් බවට පත්වූ බව මට මතකය​.

පුර හඳක්! අද දෙපෝය එහෙනම්. මගේ හිතට පැන නැඟුණ  ක්‍ෂණික සිත්විල්ල විය​. අද දෙපෝය යයි හැඟුණ මොහොතේම අම්මා අද සිල් සමාදන් වන්නට ඇතැයි මට සිතුණි. අකුණක් ගසන සැනෙකින්  අම්මා ජීවතුන් අතර නැතිබව මට මෙනෙහිවෙන්නට විය​. පුර සඳත් අම්මාගේ සඳ වතත් මා තුළ ඇතිකරන්නේ සංවේදනාත්මක සිතිවිලිය​. අම්මා ජීවතුන් අතර නැතැයි මට එක්වරම නොවැටහේ. විශේෂ යමක් සිදුවූ විට, දුටු විට,  හිතෙන විට හෝ ඇසුණ විට  ඒ දේ ගැන අම්මා සමඟ කතා කළ යුතුයයි සිතුන වාර අනන්තය​.  මේක අම්මට කියන්ට ඇත්නම්! යන සිතිවිල්ලත් සමඟ මම සැබෑ ලොවට අවතීර්ණ වෙමි.  අම්මා මිය ගොස් වසර ගණනක් ඉක්ම ගොස්  ඇති බව වැටහෙත්ම මගේ සිත සියුම් වේදනාවකින්  පිරිතිරීයයි. එවන් මොහොතක මගේ සිතට දැනෙන ආත්ම​භංගත්වය කෙතරම් දැයි විස්තර කිරීමට මම අපෝසත්මි.
මා මෙළොව තුළ තනිව ඇති බවක්මගේ සිතැඟි බෙදා හදා ගැනීමට කෙනෙකු නැති බවක් මට දැනෙයි. එවන් විට ​මා කෙරෙහි උපන් මහත්වූ ආත්මානුකම්පාවකින් මගේ සිත පිරී යන්නට පටන් ගනියි. දුක සැප දෙකේදිම "අම්මා හිටියානං"යන සිතුවිල්ලෙන් මම අසරණ වෙනු මට දැනෙයි. අම්මා ගේ වචනයකින් ලද සහනයනිවීම​,  දිරිගැන්වීම දෙන්නට හැකි අයෙක් මේ මිහිපිට නම් නැති බව මම හොඳාකාරවම​දනිමි. වියපත් ගැහැණියක ලෙස වුවද, අදත් මා මේ ශක්ති ප්‍රභවය වෙතට ආසක්ත වෙමි. සොයා යමි. මගේ ජීවිත කාලය පුරා “අම්මා”යන ශක්ති ප්‍රභවය මධ්‍යගතව මගේ ජීවිතයේ සිතුම් පැතුම් සියල්ල නිර්මාණයවී පෝෂණයවී තිබුණි.

යම් කෙනෙකුට තමන් ගේ අම්මා තරම් ප්‍රියමනාප සමීපතමයෙක් සකල ලෝක ධාතුවේම හමුවන්නේ නැතයි මම සිතමි. අපේ සිත් තුළ නිදන්ගතව ඇති අසංකෙය්‍යක් රසෝජාවන් කරණකොටගෙන, බාහිර  ආලෝක පුංජයන් කෙරෙහි කාන්දමකට ඇදී යන යකඩ බෝල මෙන් අප ආකර්ශනය​ වීම අනවරතයෙන් සිදුවේමට හිතෙන්නේ එහෙමය. නැත්නම් ඒ මා හිතන විදියය. අම්මා  තුළ පැවති ඒකාන්තික විවෘත භාවය මා අත් විඳ ඇත්තේ අම්මා කෙරෙහි වූ  අතිමහත් දරා  ගැනීමේ  හැකියාව තුළය​, පැවත්ම තුළය. දරුවෙකු බිහි කිරීම මෙන්ම ඒ දරුවා දිවිහිමියෙන් රැක ගැනීමත්  ජීවිතයේ එකම පරමාර්ථය ලෙස ඇය සැලකුවාය​. ඒ වෙනුවෙන් ගැහැණියකට කළ හැකි අත්‍යන්ත කැපකිරීම කැප වීම  ජීවිත පරිත්‍යාගයෙන් පරිපූර්ණ කළාය. එහෙත් මගෙන් පෙරලා යමක් සිදු විණිනම් එය අම්මා ගේ ව්‍යායාමයට අලගු තියන්නටවත් ප්‍රමාණවත් නැති බව මම දනිමි. වෙනස් ප්‍රතිචාර බොහෝ විය හැකිය. එවන් දේ මම අසා ඇත්තෙමි. අත්දැක ඇත්තෙමි.

දරුවන් වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වදිනවැළපෙනවැලහින්නියක මෙන් ඇය අඛණ්ඩව කැපවූවාය.​ ශුධවන්තියක මෙන් පිවිතුරුව සතුටුවන මිහිපිට සිටින අද්විතීය ප්‍රේමයේ ජීව​ප්‍රභවය ඇය වූවාය. ඒ උත්තරීතර ප්‍රේමයේ සංහිඳියාව දරුවන් වෙනුවෙන් ගලා යන්නට ඉඩහල හැකිනම් ඒතරම් නිවීමක් ගැහැණියකට තවත් නම් තිබිය හැකිද​ස්වභාව ධර්මය විසින් ප්‍රදානය කර​ ඇති එවන් වගකීමක් දරන්නට හැකි එකම ජීවියා අම්මා නම්වූ ගැහැණියය.

“Look Mama! Its fullmoon day! This one is big bear, That one is small bear”
මගේ දරුවන් මට  අහසඅහසේ තරු රටා සහ ඒවායේ ගමන් මඟ කාලවකවානු පෙන්වූ වාර ගණන අනන්තවත් විය​.
ඒත් හද්දින්න, ඉරබට තරුව​පහන් තරුව මට පෙන්වූයේ මගේ අම්මාය​. කාල චක්‍රය අනුව හඳපළුව වෙනස් වෙන හැටි ඇය මට කියා දුන්නේ ඇහැට දැක පුරුදු ස්වභාවධර්මයේ ආශ්චර්‍යයන් හඳුන්වා දිමක් විදියටය​. හඳපාන ඇති  ඇතැම් රාත්‍රියක අම්මා මට අපේ හුදකලා ගෙදර අවට ඇති සුන්දරත්වය විඳින්නට පෙළඹ වූවාය​.

කහදිය වැක්කෙරුවා වාගෙ හඳ එළිය ටික. බලන්ට දුකේ බෑ අදනං"
ඒ අම්මා ගේ පරිසරය ආශ්වාදනයේ පෙරහුරුවය​. මම ගෙපිලෙන් මිඳුලට බසින්නෙමි. නිමක් නැති රන් දිය වැගිරුණ හුදකලා පරිසරය තුළ ඇත්තේ මන මෝහනීය සුන්දරත්වයකි. මුළු පරිසරයම විශාල පෙතිකඩක සිතුවම් කළ චිත්‍රයක් මෙනි. සඳ එළිය තුරුහිස් මත පතිතවී ඇත​. උස් පොල් ගස් වල කරටි අතරින් බේරී මහ පොලොව මත පතිතවන සඳ රැස් පොල් ගස් වල සෙවැනැළි විසිතුරු මැස්මක් මෙන් නිම කොට ඇත​. මිදුලේ වැලිතලය මත අඹ සහ රඹුටන් ගස් වල සෙවැනැළි කැටයම් කර ඇත​.
"හඳ එළියට පිස්සු වැටෙනවා කියන්නෙ සමහර මිනිස්සුන්ට" .
අම්මා මා දෙසට හැරී කියන්නීය​.
"ඒ ඉතින් බොහොම සාන්ත හිත් තියෙන අයට​" එකෙනෙහිම අම්මා කීවාය​.
අම්මා එසේ කීවේ ඇයිදැයි මම සිතන්නට වීමි. එහි විශාල ගැඹුරක් ඇතැයිද එය වටහා ගන්නට තරම් මගේ ළමා සිත  වැඩී නැතයිද මට සිතුණි. සුන්දරත්වය හෝ ස්වභාව සෞන්දර්‍යයේ විස්මිත බව සමඟ දෙමාපියන් සහ දරුවන්ට ප්‍රමුදිත වන්නට හැකි වීම කොයිතරම් භාග්‍යයක්ද​ඒ සොඳුරු මතකය සුදු පැහැති පෙතිකඩක අඳින ලද ලියවැලක් මෙන් මගේ මතකයේ වැතිරී ඇත. ​ මළානිකවූ ළපල්ලක් මත පතිතවූ  ඉතා සිනිදු වැහි පොදක් මෙන් ඒ ප්‍රමෝදය​ මගේ හදවත​ සජීවී කරන්නේය​. පුරුද්දක් ලෙස මමද, මගේ දරුවන්ද බොහෝ විට ඔවුන් දකින දේ අසන දේ බෙදා හදාගත් ඒ ආකාරය මම මෙනෙහි කරමි. 
සමහර විට ඒ මහ පාරේ සිටින බලු පැටියෙක්ගහක වසා සිටින කුරුල්ලෙක්ගසක පිපුණ මල් විය හැකිය​. එසේත් නැත්නම් රූපවාහිණී වැඩ සටහන් විය හැකිය​. එවැනි බොහෝදේ එක්ව රස විඳීමට අපේ සිත් සතන් වල අපූරු ඒකාග්‍රතාවක්  පැවතිණි​.
මා කුඩා සන්දියේ, අපේ ගෙදර පිහිටා ඇති කුඩා කඳු ගැටයට ඉහලින් මතුවී, අපේ ගෙදරට කහදිය වැක්කෙරුවාසේ හඳපායන හැටි බොහෝ සැඳෑ කාලයන්හි බලා සිට ඉමහත් ආශ්වාදයක් ලැබුවෙමි. කුඩා දැරියක ලෙස සඳේ අවපස සහ පුරපස වැඩෙන සහ ක්‍ෂයවෙන අයුරුත්,  පුර පස ගෙවී අවපසට  යන අයුරුත් නිරීක්‍ෂණය කිරීමෙන් මම මහත් ආස්වාදයක් වින්දෙමි.
පුරසඳ නැඟෙන සවස් යාමයේ, කුඹුරු යාය හරහා නියරවල් දිගේවක්කඩවල් පනිමින් අප පන්සල්ට ගිය පෝය​ දවස් මම මනසින් ආපසු කැඳවමි. එවැනි සුන්දර දවස් පේ ජීවිතවලට කොයිතරම් නම් මිහිරි මතකයන් එකතු කරන්නට ඇද්ද​? ඒ දිනවල අම්මා සෑම පෝයකටම සිල් සමාදන් වූවාය​.
සිල් සමාදන් වූ හැම පෝයකටම, තෙල් මල් පහන් සහ ගිලන් පස රැගෙන​ අපි අම්මා බලන්නට ගියෙමු. බණ මඩුව පිරෙන්නට උපාසක උපාසිකාවන්ය. ඔවුහු  බණ අසනු, දහම් සාකච්චා කරනු දැක ඇත්තෙමු. විහාර මළුවේ බුදු පිළිමය ළඟ දණ නමා අපි උස් හඬින් ගාථා කීවෙමු. මල් ආසන වල අතුරන ලද මල්වල සුවඳට මුසුවූ හඳුන්කූරු සහ පොල්තෙල් පහන්වල  සුවඳින් මගේ සිතිවිලි මනු ලොවත් දෙව් ලොවත් අතර තැනක ස්ථානගත කරයි. ඒ අපූරු අත්දැකීම මහත් භක්තියෙන් අත්වින්දෙමි. අම්මාට ගිලන්පස පූජාකර ඇගේ දෙපා මත හිසතබා වැඳ නමස්කාර කර හවස ගෙදරට පිය මැන්නේ සිත් පතුළ මෝදු වී වැඩෙන​ අනන්තවූ පහන් සිතිවිලි සමුදායකින් සිත පුරවාගෙනය​. අපේ සිත් වෛරය​ඊර්‍ෂ්‍යාව​ක්‍රෝධය වැනි මනෝ ස්වභාවයන් ගෙන් වියුක්ත විය. නැතිනම් ඉතාමත් අවම මට්ටමෙන් තිබෙන්නට ඇත​. එකිනෙකාට  ආදරය කරන්නටගෞරවය කරන්නට​හිත් නොරිදවන්නට අප පුරුදු වුණේ ඉබේටමය​.

අප ආපසු ගෙදර එනවිට සඳපත දියවී වෙල් යාය පුරා දෝරගලා යමින් පවතී. හඳපානේ වෙල් නියර මතින් ඇවිදගෙන එන අප නිල් ගොයමට පතිත වෙන සඳ රැස් අතරින් දිළිසෙන පෑදි  දිය, රිදී පැහැයකට හැරී ඇදෙන මනස්කාන්ත දර්ශනය දෙස  මොහොතක් බලා හිඳිමු. ඉන්පසු මැදෑලේ වතුර, මියුරු සංගීතයක් මෙන් සිහින් සරින් ගලායන හඬට සවන් දෙමින් ගල් පාළමෙන් මැදෑල පැන මහ නියරට ගොඩවදිමු. ඊළඟට අපි ගං ගොඩැල්ලේ දෙවැට දිගේ ගෙදරට ඇවිදගෙන එන්නෙමු. දෙවැට දිගේද සඳ කැන් කැටයම් වලින් ඔප කර ඇත. අඳුරු සෙවැණැළි අතරින් ඉඳහිට මතුවන කළාමැදිරියෙක් හෝ රෑබදුල්ලෙක්, අප දෙවැටේ ගමන් කරද්දී පය පැකිලේයයි බියෙන් මෙන්, ඔවුන් ගේ ලන්තෑරුම් දල්වා පොළොවේ උස් මිටි තැන් පෙන්නන්නට මඳ ආලෝකයක් සපයයි.

අපේ පුංචි පෙරහැරට මගේ සහෝදර සහෝදැරියන් සමඟ අපේ ළඟම ඥාති සහෝදර සහෝදැරියන් පස් දෙනෙකුද එකතුවෙයි. ඉන් පසු අපි රාත්‍රී ආහාරයට ඇති කුමක් හෝ දෙයක් බෙදා හදාගෙන කා සෑහීමට පත්ව නිදා ගන්නට යන්නෙමු. නැත්නම් අපි කහට කෝප්පයකින් සෑහීමට පත් වන්නෙමු.
පසුදින උදෑසනින් අවදිවෙන අක්කා ලොකු මැටි වළඳක කිරිබතක් පිසින්නීය​. මගේ ඥාති සහෝදරිය පොල් ගෙඩියක් බිඳ පොල් ගාන්නීය​. ඇයට යහමින් ලුණුමිරිස් ඇතුව පොල් සම්බෝලය හදන්නට මනාදැනුමක් මෙන්ම අත්ගුණයක්ද තිබේ. ඒ අතරේ මල්ලිලා ළිඳෙන් දිය ඇද මුහුණු සෝදාගෙන ගෙට ගොඩවදිති. උදේ හතට කලින් අම්මා සිල් පවාරණයකර ගෙදර එනවිට අපි හීල ගිල දැමීමට සැදී පැහැදී සිටියෙමු.

ඒ ඉස්කෝලේ යන දවසක් නම් අපි ඒ සඳහා සූදානම් වීමු.  පෙරදින පන්සලේදී ඇසූ බණ කතා, ඇසූ විදියටම අපට කියා දෙන්නට මතක ශක්තියත් මනා හැකියාවක් අම්මාට තිබිණි. පසුදින රාත්‍රී කෑමෙන් පසු  අම්මාගෙන් ධර්මශ්‍රවණය කරන්නට අපි සැදී පැහැදී සිටියෙමු. ඇතැම් දවස්වල මල්ලිලා විසින් එකම බණකතාව දෙතුන් සැරේ කියන්නට අම්මාට ඇවිටිලි කරණු ලබයි. අම්මා විසින් කියන ලද බණකතා සාහිත්‍යය තුළින් අප ඉගෙන ගත්තේ ජීවිතය  බව​ මට අවබෝධ වූයේ පසු කාලයේදීය.
බෞද්ධ දර්ශනයත්,  සමාජ හරපද්ධතිය හා සබැඳුන සංකල්පත්, අපේ ජීවිතය ගොඩනඟන්නට දායකවූයේ යම්සේදසරල ගැමි පරිසරයත් එයටම ආවේණික හුදකලාබවත්, නිදහසේ වැඩෙන ළපටි පැළයක් මෙන් අතුපතර ලියළා මහා වෘක්‍ෂයක් සේ හැදී වැඩෙන්නට තෝතැන්නක් විණැයි සිතමි. ආදරණීය අම්මා ගෙන් ලද සාගරය පරයන ගැඹුරු ස්නේහය විසින් මා පෝෂණය කර පලදායි සමාජ ජීවියෙක්‍ සේ ගොඩනඟන්නට අනුපමේය මෙහෙවරක් ඉටුකළ බව මම අදහමි.
ජීවිතය කෙතරම් රළු පරළු කර්කශ වුවත්, “මම” යන ජීවියා ගෞරවාන්විත තැනක ස්ථානගත කර තබා ගන්නට,​ ඇය අපට ඉගැන්නුවේ නැත​.  වෙනුවට ඇතම් බණකතා, උපහැරණ කතා පුනපුනා කියන්නට ඇත්තේ සැබෑ අරුත් උකහා ගැනීමටත්ලද අවබෝධය තහවුරු කර ගැනීමටත් විය හැකිය​. කෙනෙකුගේ ඉරණම් සාධකය සැඩ කුණාටුවක් නම් භ්රමණ කේන්ද්රය​ ​වටා එම පුද්ගලයාට ඇවැසි තෝරා ගැනීමේ සහ අතහැරීමේ වරණයන් පෙළගස්වනවා විය හැකිය​.  මගේ ළමා විය සුළිසුළඟකට හසුවූ පරඬලා පතක් මෙන් දහසකුත් එකක් හැල-හැප්පුම් අතර තෙරපුණේවී නමුදු, ජීවිතය යනු දිනාගත යුතුවූ දෙයක් මිස කවුරුන් හෝ විසින් පිළිගන්වන්නට යෙදෙන දෙයක් නොවන බව මගේ ළමා විය විසින් මට කියාදී තිබුණි. හිනාවත් කඳුළුත්, ජය හෝ පරාජයත්​ අත්වැල් බැඳගෙන එන බැවින්මේයුගළ අතරේ වැඩි වෙනසක් ඇතැයි දැනුනේ නැත​. නෙල්ලි ගෙඩියක රස වෙන්කර හඳුනාගන්නට උත්සාහ කරනවාට වඩා පංච රසයම එක රසක් ලෙස සලකන්නට පුරුදු වීම වඩාත් හොඳ තේරීම විය නොහැකිද​?
කුඩා දැරියකවූ එක්තරා අවධියේදී පවා ජීවිතය යනු මහා ප්‍රතාපයක කෙලවර පිහිටා ඇති පටු මාවතක් යයි සිතන්නට මම පුරුදු වීමි. ප්‍රපාතයකට වැටුණ මනුස්සයාට සිහිවන එකම දෙය ඉන් ගොඩ ඒමය​. මොළයේ හැම සෛලයක්ම එකාවන්ව ක්‍රියාකාරි වන්නේ එවැනි අවස්ථාවකය​. ප්‍රඥාව පහලවෙන්නේත් එය ප්‍රායෝගිකව අත්හදා බලන්නට යුහුසුළු වන්නේත් ඒ වාගේ වෙලාවකය.  ඉතින් මමද දහ අතේ කල්පනා කළෙමි. පුංචි ජීවියෙකුගේ මනසට ඔරොත්තු නොදෙන තරමේ උනන්දුවකින් මම ඒ ශක්ති ප්‍රභවය ප්‍රයෝජනයට ගෙන​ විවිධ කෙටි හෝ  දිගු මං පෙත් ඔස්සේ යායුතුයයි සනිටුහන් කර ගතිමි. දහස් වරක් ඇද වැටෙන විට  දූවිලි පිසදමා නැවත නැඟිටීමට ආත්ම ශක්තියක් අත්පත් කර ගෙන සිටියෙමි. ඒක හරියට උල්පතකින් කාන්දු වෙන්නාක් මෙන් ජීවිතයේ හැම අවධියකදීම මගේ දෛනික පැවතුම් පවත්වාගෙන යන්නට මට ඕනෑ විය​.
අද කිසියම් අවිනිශ්චිත වුත් අපැහැදිළිවූත් හැඟීම් සමුදායක්, එකිනෙක පොර බදමින්, මගේ  සිත තුළ දිය සීරාවක් මෙන් මතුපිටට කාන්දු වීමට තතනන අයුරු මට දැනෙයි. එය කවුරු හෝ කෙනෙකු සමඟ එනම්, කෙනෙකුගේ මනෝභාවයන් තේරුම් ගතහැකි සුවිශේෂී පුද්ගලයෙකු සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍යය. මම,මට සමීප යයි හැඟෙන විවිධ පුද්ගලයන් ගේ නම් හිතට නඟා ගැනීමට උත්සාහ කළෙමි. එහෙත් හැම දෙනාම මට සමීපව සිටියේ ආත්මාර්ථය සඳහාමදැයි හැඟෙන විට මාකෙරෙහි උපන් ආත්මානුකම්පාවකින් මගේ සිත සලිත විය​.  සැබෑව නම් එයමය​. අම්මා හැරුණ විට මගේ බර දෙවුරෙන් උසුලා දරා සිටි එකම ජීවියෙකුවත් සිටි බවක් මට සිතාගත නොහැකිය​.
බොහෝ දෙනාට මා ගඟ තරණකරන්නට පරිහරණය කළ හැකි පාරුවක් පමණක් විය. අත්වැල් නැති ඒදන්ඩ දිගේ මා ගඟ තරණය කරන විට,  ඒදණ්ඩත් අත්වැලත් බිඳුන මොහොතේ මා ගිළෙන්නට නොදී ඔසවා ගත්තේ ඇයයි. මා ගොඩට ගෙන ඒමට අනන්ත වූත් අප්‍රමාණවූත් අනේකවිධ දුක් කන්දරාවක් ඉවසා, පොර බදා මා එගොඩ කළේ ඇය.
“කියන දේ නාහ හිතුමතේට වැඩ කෙරුව​. දැන් ඉතින් නැඟිටපන් වැටුණ තැන ටැග් ගැහෙන්නෙ නැතුව​!”
 ඒ අම්මාගේ හඬය​.  ඒ මිහිපිට දෙපයින් නැඟී සිටින මනුස්ස දුවකගේ හඬක් නොව, දෙව් ලොවෙන් ඇහුණ හඬකැයි මට හැඟින​​. සැබැවින්ම ඒ අම්මාගේ හඬය​.  දුකේදීත් සැපේදීත් එකසේ නොසෙල්වී සිටින ඉඳ්‍රඛීලයක් මෙන් මගේ ජීවිත නුවර දොරටුව අබියස නැඟී සිටි අම්මා ගේ හඬය​.

මල්ලිකා එම් බණ්ඩාර​

17. 03. 2014  



No comments:

Post a Comment