Thursday, 16 July 2020

වේවැල් රාළහාමී - 2


දැරිය ආපසු එනවිට හෝඩියේ පන්තියේ ළමයෙකු කැටුව  මවක් ශාලාව කෙලවර පන්තියට පිවිසුනාය​. තවත් ළමුන් දෙතුන් දෙනෙකු පිට්ටනිය දිගේ ඉස්කෝල ගොඩනැඟිල්ල දෙසට එමින් සිටියහ​. මෙතෙක් වේලා බංකුව පාමුල දමාගිය පන්මල්ල බංකුව මත තබා දැරිය සුපුරුදු තැන වාඩිවූවාය​.  විනාඩි කීපයක් එසේ නිශ්චලව ගතවෙන්නට ඇත​. තමන්ට කුමක්දෝ සිදුවෙමින් පවතින බව දැරියට පසක්විය​. එය අසනීපයක් ද නැතිනම් පපුකුහරය යට සිදුවෙන අසාමාන්‍ය වෙනසක්දැයි දැරියට තේරුම් ගැනීම අපහසු විය​.
හිසේ කිසියම් බරක් අපහසුවක් වැනි දෙයක් දැනෙන්නට වූයෙන් බංකුව උඩ තිබු පන්මල්ල මතට නළල තියා ගත්තාය​. මොහොතකින් මුළුලෝකයම තමා වටා භ්‍රමණය වනබවක් දැනෙන්නටත් දඩග්..ඩග්...ඩග්... හඬින් තම පපු කුහරය ඇතුළත ඇති අවයවයක් ගැහෙන්නට  පටන් ගත් බව​ ඇසෙන්නටත් විය​. සිහින් කෙඳිරියක්සේ වර්ධනය වන වේදනාවක් උදර කුහරයෙන්  පටන් ගෙන පහු කුහරය දිගේ ඇවිත් උගුරේ හිරවෙන අයුරු ඇයට දැනුණි. ඇය තදින් දැස් පියාගෙන නිසොල්මන් වූවාය​.

"බණ්ඩි අක්කා" . ඒ සීතාය​. මේ දැරියන් දෙදෙනා ඥාති සහෝදැරියන් බැවින් එකිනෙකාට ළෙන්ගතුය​. කුළුපඟය​. ඔව්හු කටට එන  ආදරණීය නම් වලින් එකිනෙකාට ආමන්ත්‍රණය  කර ගත්හ​. 
සීතා ගේ කටහඬ කණට කොඳුරනවාත්, දෑත්වල උණුසුම දෙකම්මුල් මත පතිත වෙනවාත් ඇයට දැනුණි. ඒ හඬ මහත් අස්වැසිල්ලක් ආරක්‍ෂාසහිත බවක් දනවන්නට සමත් විය​. 
“ඇයි ඔයාට සනීප නැද්ද​?” සීතා දැරියගේ උරහිස සෙමෙන් සෙලෙව්වාය​.
“ඒ...මං දැක්කා"
"මොනවද දැක්කේ?" දැරිය ඇසුවේ තැතිගත් හඬිණි.
" ඔයා බොරුවට නිදාගත්තා මං එනව දැකලා..."
"නෑ".   දැරිය හිස වනමින් කීවාය​.
"එහෙනං යමු පිට්ටනියට සෙල්ලම් කරන්න"​.
ඉන්පසු දෙදෙනාම පන්තියෙන් නැඟිට පිට්ටනිය පුරා විසිරී සිටින ළමුන් අතරට​ ගියෝය.මෙච්චර ඉක්මණට ළමයි ගොඩක් ඇවිත් දැරිය තමාටම කියා ගත්තාය​. 

ළමුන් රංචු වශයෙන් තැන් තැන් වල රැඳී සිටි අතර සමහරු හිරු එළියට පිටුපා ශරීරය උණුසුම් කරගනිමින් කිහිලි යටින් දැත් යවා දෑත් පෙරවා අලසව කාලය ගෙවා දැමුවා පමණි.  දුරුතු සීතලය මෙවර ඉතා දැඩිය​. තවමත් ගණ මීදුම් පදාසවලින් හඳුරුක්කන්දත් අනික් පසින් දෙමටදෙණිය කන්දත් වැසී ඇත​. සීතල තණ මත දුව පැන ඇවිද සෙල්ලම් කළ ඔවුන් ගෙන් කිසිවෙකුටත් පාවහන් තිබුණේ නැත​.
උදේ හත හමාරට ඉස්කෝලේ පටන් ගන්නට නියමිතය​. සීනුව නාදවිණි. ලොකු මහත්තයා ඇතුළු ඉස්කෝලේ ගුරුමණ්ඬලය පස් දෙනෙකි. පන්ති හතරේ ළමුන් වැලි සහිත මිදුලට පැමිණ පිරිමි ළමුන් වෙනමද ගැහැණු ළමුන් වෙනමද පේළියට සිට ගනු ලැබිණි. උදේ රැස්වීම වෙලාවේ කිසිම කෙනෙකුට කතා කිරීම තහනම් ය​. කොටින්ම මුළු ඉස්කෝලේම නිහඬය​. උදේ රැස්වීම සඳහා සීරුවෙන් හිටිවනම සිටිය යුතුය​.දැරිය පාසලේ ගැහැණු ළමුන් අතර උසම දැරියවූ බැවින් පේළියේ පිටුපසටම වී සිට ගතයුතු විය​. ගුරුවරු ඉස්කෝල ගොඩනැඟිල්ලේ බිත්තියට සමාන්තරව හෙවනේ හිටගනු ලැබිණි.
ලොකුමහත්තයා පැමිණ නතර වෙන්නේ ශාලාවේ ගේට්ටුවේ හරි මැදට වෙන්නටය. එය මිදුලට වඩා අඩි එක හමාරක් තරම් උස්ව පැවති නිසා ලොකුමහත්තයාට මුළු ශිෂ්‍ය පිරිසත් සිසුන්ට ලොකුමහත්තයාත් මනාව පෙනෙයි. නැගෙනහිරට මුහුණලා ඇති ඉස්කෝලෙට අඛණ්ඩව මහදවල් වෙනතුරු හිරුඑළිය වැටෙන බැවින් සමහර ළමුන් ක්ලන්තය දා බිම ඇදවැටෙයි.
කිසියම්ම කාරණාවක් නිසා ළමයි දෙන්නෙක් කතා කළහොත් ලොකුමහත්තයා පිට හරහා වේවැල් පහරක් දෙන්නේමය​. ප්‍රසිද්ධියේ දඬුවම් ලැබීම බෙහෙවින් ලජ්ජාවට පත්වන කාරණයක් බැවින් ළමුන් හැකිතාක් නිශ්චලව සහ නිශ්ශබ්දව සිටීමට වෙර දරන ලදී.
මොහොතකින් ළමුන් අතර මීයට පිම්බාක් වැනි නිහඬතාවයක් පැතිරගෙන පැතිරගෙන පැතිරගෙන යන්නට විය​. ලොකුමහත්තයා කන්තෝරු කාමරයේ දොරටුවෙන් වේදිකාව හරහා පැමිණ පන්තිය මැදින් ගේට්ටුව දක්වා ඇවිද ගෙන ආවේය​. නැවත වතාවක් දැරියට විදුලි කෙටීමක් වැනි ස්වභාවයක්​ ගතටත් සිතටත් දැනෙන්නට විය​. පපුවේ හැස්ම හරියට කන්දේ ඇලේ දිය පිහිල්ලෙන් වතුර වැටෙනවාටත් වඩා මහ හයියෙන් ඇසෙන්නට විය​.
ඒ හඬ කන්දොස්කිරියාවකටත් වඩා තමන් කළ වරද  වසංකරන්නට නොදී කරන මොරගෑමක් බඳු විය​. ලොකුමහත්තයා අද වෙනදාට වඩ  සැරපරුසයයි ළමුන්ට ඉවෙන් මෙන් දැනුණ ගානය​.  හැම දෙනාම තම තමන් ගේ ශරීරකූඩු සෘජුවත් නිශ්චලවත් තබා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් ගනු ලැබිණ​. නොදැනුවත්ව හෝ උකුලේ එක් පසෙකට උඩුකය බරදී දෙපා වලට සහනයක් සලසන්නට ළමුන්ට ඕනෑවිය​.  ඒත් බැරිවෙලාවත් ලොකුමහත්තයාගේ උකුසු ඇස්වලට අසුවී දඬුවම් ලබන්නට වේයැයි සීරුවෙන් සිටින්නට අවධානය යොමු කරන ලදී.
ගුරුමණ්ඩලයේ සිටි අනික් පිරිමි ගුරුවරයා ළමුන්ට පන්සිල් සමාදන් කරවන ලදී. ඉන් පසු දවසේ නිවේදන දැනුම් දෙන්නේ ලොකු මහත්තයාය​.  ඔහු අඩි දෙකක් ඉදිරියට පැමිණ ළමුන් අතරින් එහාමෙහා ගියේය​. නැවත හැරී ගේට්ටුවට සමාන්තරව හරිමැදින් හිටගත්තේය​.
ඉන්පසු හැම ළමයෙකුටම, "ලොකුමහත්තයා බැලුවේ තමන් දෙසයයි" හිතෙන ආකාරයට හිස් ගෙඩි සිසාරා රෞද්‍ර බැල්මක් හෙලුවේය​.
අනතුරුව​, " ඊයේ කන්තෝරු කාමරේ කබඩ් එක උඩ මම තියලා ගිය "රාළහාමි", කාඑක්ක හරි කොහේදෝ ඇවිදින්ට ගිහිල්ලා”.

ඔහු වේවැල හැඳින්වූයේ රාළහාමි යනුවෙනි.
“රාළහාමිට කකුල් තිබුණෙ නෑ. හදිසියේ කකුල් දෙකක් එන්ට විදියක් නෑ".
ලොකුමහත්තයා නැවත ළමුන් දෙස තියුණු බැල්මක් හෙලුවේය​.

ලොකුමහත්තයා කීදෙයට ළමුන් හිනාවුණේ නැත​. එකිනෙකා දෙස බලන්නටවත් ඔවුන්ට හිතට සැහැල්ලුවක් නැති ගානය​. සියලුදෙනාම ඈස් අයාගෙන විමතියත් කුතුහලයත් මුසු නිහඬ බවකින් බලා සිටියහ​. කිසියම් අමුතු දෙයක් සිදුවී ඇති බවත්, භයානක දෙයක් සිදුවෙන්නට ඉඩ ඇතිබවත් ළමුන්ට ඉව වැටුණා මෙනි.
 "කකුල් දෙකක් තියෙන කෙනෙක් රාළහාමි අරන් ගිහින්! කවුද ඒ වැඩේ කළේ? හ්ම්...කවුද?" 
ඒ හඬ මහා අවධානමක ඉඟියක් වැනිය​.
සාමාන්‍යයෙන් පවතිනවාටත් වඩා ලොකු මහත්තයාගේ මුහුණ කළු පැහැ ගැන්වී තිබෙන බව කාටත් වැටහෙන්නට ඇත​. ලොකුමහත්තයා කතා කරන හැම වචනයක් පාසාම දැරියගේ දෙපා වෙවුලා යන සෙයක් ද​, පපුව ගැහෙන වේගය වෙනදාට වඩා වේගවත් බවද දැරියට දැනුණි. ඇතුලාන්තයෙන් ඇහෙන ඝෝෂාවට සවන් නොදී මඟ හරින්නට අවශ්‍ය වුණත් ඒ කෙසේදැයි ඇයට සිතාගත නොහැකිවිය​.
“ අද පන්තිවල වැඩ කරන්නෙ නෑ. අද දවස ඇතුළත හැමෝම එකතුවෙලා රාළහාමී මගේ අතට වඩම්මන්ට ඕනෑ. තව ටිකකින් අපි ලොකු තෙල් තාච්චියක් රත් කරනව.  හැම ළමයෙක්ම පෝලිමෙ ඇවිත් තෙල් තාච්චියට අත දාන්ට ඕන. වේවැල ගත්ත​, අරන් වීසි කළ කෙනාගෙ අත පිච්චෙයි. අනික් අයගෙ අත් පිච්චෙන්නෙ නෑ”.
ඉන්පසු ලොකුමහත්තයා ගුරු භවතුන් දෙසටත් ළමුන් දෙසටත් නියෝගයක් දෙන ස්වරයෙන් කීව​.
“අදින් පස්සේ මේ ඉස්කෝලේ කන්තෝරු කාමරේ තියෙන කිසිම දෙයක් නැතිවෙන්නෙ නෑ.  කිසිම ළමයෙකුට ඒකට ඇතුළු වීම තහනම්! හුණු කෑල්ලක් ගන්නවත් යන්න බෑ...හ්ම්... දැන්  හැම ළමයෙක්ම එකතුවෙලා වේවැල හොයන්න ඕන​...හැම තැනම​...! හරි දැන්! හොයමු බලන්ට”​.
ළමයි කඩිගුලක් ඇවිස්සුනාක් මෙන් ඒ මේ අත විසිර ගියහ​. අනික් ළමයි යන යන දිහාවට දැරියද  බිම බලාගත් වනම බර අඩි තබමින් ඇවිද ගියාය​.
හිස මත වී ගෝනියක් පැටෙව්වාක් මෙනි. දෙපාවල යකඩ කඳන්  ගැට ගැහුවා වැනිය​. දැරිය ඉතා අමාරුවෙන් පා ඔසවා ඇවිද්දාය​.
පළවෙනි කාලච්ඡේදය අවසන් වන විට වේවැල සෙවීම නතර කරන ලෙස ලොකුමහත්තයා දැනුම් දුන්නේය​. දැරිය උණ විකාරෙන් මෙන් ඔහේ අනික් ළමුන් පසු පස වැටුනාය​. දෙවතාවක් වැසිකිළියට ගියාය​. අවශ්‍යතාවක් ඇති නිසාම නොවේ. උණ ගැනුන කලක මෙන් මුළු ශරීරයම  රිදුම් දෙයි. උගුරෙ යමක් හිරවී ඇතිවාක් මෙනි.

ඉස්කෝලෙන් පලායන්නට දැන් කිසිම ඉඩ කඩක් නැත​. නොදන්වා ඉස්කෝලෙන් පිටවීම දණ්ඩුවම් ලැබිය හැකි වරදකි. නොඅනුමානවම තෙල් තාච්චියට අත දමන්නට සිදුවන අතර​. අත දැමූ විගස අත කරකුට්ටන් වෙනු නියතය​. අතක් නැතිව ඉගෙන ගන්නේ කොහොමද ? අකුරු ලියන්නේ කොහොමද​? දකුණු අත දැම්මොත් පිළිස්සුන අතින් කෑම කා හමාරය​. වම් අත දැම්මොත් කොණ්ඩේ එකලස් කර ගෙන පිළිවෙළට ගොතා ගන්නට නොහැකි වනු ඇත​. එක අතකින් වැඩ කරන්නට ඇති අපහසුතා දැරියගේ හිතට ගොඩ වදින්නේ එක පෙළටය​.  ඒත් කොයි අත බිලිදිය යුතුදැයි නිච්චියක් නැත​. අනික් සියළු දෙනාගේම අත් නොපිළිස්සී තම අත පමණක් දැවී අඟුරු බවට පත්වීම මොනතරම් ලැජ්ජාවක් ද​?

පන්තියේ අනෙකුත් ළමුන් පණ්ඩිතකම් දොඩවනු දැරියට ඇහෙන විට ඇයගේ බිය දෙගුණ තෙගුණ වෙයි.
" මම ඉතිපිසෝ ගාථාව කියනව තුන් සැරයක්! තෙල් තාච්චියට අත දාන්ට ඉස්සර​".
කවුදෝ කියනු ඇසුණි. 
"මම පන්සිල් ගන්නව ආයෙත් සැරයක්". 
තව කවුදෝ එහෙම කිව්වා. 
"එතකොට මම මොනවද කරන්නෙ? දැරිය පශ්චාත්තාප වූවාය​.
"ඒක නෙවෙයි, අර කෝමාරිකා අත්තක් පොඩිකරලා ඒකේ මදේ අරන් අතේ ගා ගමු". 
තව දැරියක් යෝජනා කරනු ඇසේ. 
"ඒක නං හොඳයි තමා!" දැරියට එහෙම හිතුනත්, පිච්චෙන්නේ තමන්ගේ අත පමණක්ම බව ඇයට සහතිකය​. 

ඇත්ත කීවොත්? ඇත්ත කියන්නෙ කොහොමද​?   දැරිය පුංචි මොළයට ඔරොත්තු නොදෙන තරමට තාර්කික වූවාය​. ඇත්ත කීවොත් ලොකු මහත්තයා වැටහිර පොල්ලක් කඩාගෙන මී වැස්සියකට වගේ තළයි ස්ටේජ් එකට ගෙන්නලා. එතකොට හෙට ඉඳන් ඉස්කෝලෙ එන්නෙ කොහොමද​? නෑ අදනං කීයටවත් කියන්නෙ නෑ. අන්තිමට දැරිය හිතුවා.

තව කොටසක් හෙට...

මල්ලිකා එම් බණ්ඩාර​


No comments:

Post a Comment