Thursday, 16 July 2020

වේවැල් රාළහාමි - 1



මතකයෙන් බිඳක්...
(ස්ථානය​: ගොඩැල්ලේ ඉස්කෝලේ -  ශ්‍රී ධර්මෝදය කණිෂ්ඨ පාසල, මී/පල්ලේග)
03. 08. 2019

අරුණැල්ල ළගන්නා සුළුය​. මඳ සුළඟ ගතට පමණක් නොව සිතටද ප්‍රියමනාප බවක් දනවයි. මිදුන සිතිවිලි මෙළෙක්ව හීන් දියත්තක්වී ගලා එන්නාක් මෙන් දැනෙයි. අනන්තයට විහිදෙන  නිල් පැහැගත් මුළු අහස්තලයම පැහැපත් ය​. දැවැන්ත මේපල් සහ ඕක් ගස් දෙකේ පාළු අතුපතරින් දිස්වන අහස, ඉහට ඉහලින් අතුරන​ ලද වියනක් මෙන් දිස්වෙයි. වරින් වර මඳ සුළඟට මුසුව ලතාවකට පොළොව කරා පියාඹා එන වියළි මේපල් සහ ඕක් පත් ඉඳහිට මගේ මුහුණේ වැදී බිමට පතිත වෙයි. ශරත් සෘතුවේ අවසාන භාගයේ බැවින් කොළ හැලී ගිය ගස් වල​ නාරටි බේරුන අතුපතර හිඳ​ අව්ව තපින​ කුරුල්ලන් ගේ විවිධවූත් විසිතුරුවූත් ගීත මා සවන් පත් තුළට කිඳා බසියි.
සීතලේ මිදුන  පිනිකැටයක්ව මගේ හිත පතුලේ  කොණක කොහේදෝ ඈතක සැඟවී තිබුණ මතකයක් ළාහිරු තැවරී දිළිසෙන්නට පටන් ගැනිණි. ඒ දිදුලන පිනි බුබුල සජිවී දැරියකව තවත් මොහොතකින් දණි පනිගා නැඟිටින සෙයක් මට දැනෙයි. ඔව්! හරියටම ජීවමාන දැරියක් වගේ.
මිදුලේ තණ බිස්ස මත වැතිරුන පිනි කැට පළිඟු අහුරක් විසුරුවාක් මෙන් දිස්න දෙන්නට පටන් ගෙන තිබිණි. ලොකු කුඩා පිනි බිංදු හිරුරැස් පතිත වීමෙන් දිළිසෙන සොබාව බලා සිටින්නට ප්‍රසන්න දසුනකි. තවත් මොහොතකින් මගේ සිත  හැල්මේ යන අශ්වයෙකු මෙන් මතක ද්වාරයට අවතීර්ණ වෙමින් සිටියි. පාවහන් රහිත පායුගලින් බොල් පිනි කැට මැඩගෙන ඇල නියර දිගේ ගොස්  වෙල් යායට  පිවිසෙන ලොකු කුඩා නියරවල් දිගේ වෙල් යාය මැද්දෙන් ඉස්කෝල වත්තට ගොඩවෙන දැරියක් මගේ මතකයේ ඇඳීයයි.
එය තවතවත් ජීවමාන රූපයක්ව මගේ සිත පුරා පැතිරෙන්නට විය​. චීත්ත​ ගවුමක් ඇඳ කරල් දෙකක් වන්නට කන් දෙපසින් ගොතන ලද ඝන කෙටි කෙස් කළඹ අගින් රෝස පාට පීත්ත පටි දෙකක් ගැට ගසා ඇත​. කුඩා දැරිය මොහොතක් නියර මත නවතියි. බටදැල්ල තණ පත් මත වතල පින්නේ දෙපා පිරි මදිමින් නැවත ගමන් අරඹන ඇය හරස් නියර දිගේ ගමන් කරන විට ඇගේ දිගු සෙවැණැල්ල බණ්ඩි ගොයම මත පතිතවී තිබෙන ආකාරය දෙස බලා හිඳින්නීය​. ඇගේ අතපය විවිධ ඉරියව් වලට හසුරවන විට ඇගේ සෙවැණැල්ලද ඇය කරන දේම අනුකරණය කරනු දකින​ ඇගේ රෝස පැහැති ළපටි තොල් මත සිහින් සිනා බිඳක් පිපීගෙන එයි. සෙවණැල්ල තමන්ට ඔලොක්කු කරනු දකින ඇය  දබරඟිල්ල උරුක් කර සෙවැණැල්ලට තර්ජනය කරන්නීය​. සෙවැණැල්ල නොනවතියි. පෙරලා දැරියට තර්ජනය කරන්නට තරම් නිර්භීතය​.
දැරිය උරහිස් හකුළුවමින් සිනා සෙන්නීය​.
"කෝළං!" යයි තමන්ටම කියාගනිමින් ඇය ඉස්කෝලේ දෙසට පය ඉක්මන් කළේ හදිසියේ යමක් මතක් වූවාක් මෙනි.
කුඹුරු යාය මැදින් හැම කුඹුරකටම අවශ්‍ය ජලය ලබාගත හැකි අයුරින් මහ ඇලෙන් හැරවු අතුරු දිය පාර දිගේ උස්ව වැඩී ඇති කුඹුක් වැටිය අසලට පැමිණි දැරිය නැවතත් මොහොතක් නතරවුණාය​. ලොකු කුඹුක මුල අලුතින් උස්ව බැඳ ඇති හුඹහ කොත් කැරැල්ළක් සහිත​ වෙහෙරක් වගේයයි ඇයට සිතුණි. එක් පයක් හුඹහ මත තැබූ ඇය ක්‍ෂණයකින් පය ආපසු ගත්තාය.​
 “පව්! වේයන්ට හෙටත් මහන්සි වෙන්ටවෙයි මේ වගේ හුඹහක් බඳින්ට​”.
හිතෙන් තොල මතුරා ගත් ඇය​ හුඹහ ළඟින් මෑත්වී කුඹුක් මුල අද්දරින්ම ඇති වක්කඩේ පුංචි වැලි කූරියන් රැළක් ඒ මේ අත පිහිනමින් පෙංකෙළින ආකාරය දුටුවාය. ඒක​ බලා සිටින්නට ආසාවේ බැරිය​.
පාසල පෙනෙන දුරින් කුඹුරු යායෙන් එගොඩහ මැද​ ඇල අසල ගෙදරක පදිංචිකාරියක් වීම ​කොයිතරම් වාසනාවන්තදැයි ඇයට සිතෙයි. මහත්වූ උද්‍යෝගයකින් යුතු අසීමිත බලාපොරොත්තුවක සේයාවක් සිතේ දැල්වී ගියේය​. හැමදාම ඉස් -ඉස්සෙල්ලාම ඉස්කෝලෙට යන්නේ තමන් යයි හැඟෙන විට ඇය ආඩම්බර වූවාය​. වෙන ළමුන්ට වඩා තමන් වරප්‍රසාද ලද්දියක් නොවේදයි සිතෙන විට දැනෙන්නේ සියුම් ආඩම්බරයකි.  හදිසියේ ඈතින් ඇහෙන උස් සිනා සහ කට හඬවල් හැඳිනගත් ඈය මදක් හිස ඔසවා බලා ආයෙත් යමක් මතක්වී වහා අඩි ඉක්මන් කළාය​. ඔවුන්ද ගම්ගොඩෙන් ඉස්කෝලෙට එන තමා වැනිම පොඩිත්තන් රැලකි.
මේ ගෙදර සුවිශේෂී තැනක්විය​. එවකට ගමේ පැවති එකම වෙළඳසලවූ තම ගෙදර ගමේ කවුරුත් නම් කළේ “අඹගහමුල කඩේ” යනුවෙනි. තම පන්තියේ දැරියන් තමන් ඇමතුවේ "කඩේ මැණිකේ" යනුවෙනි.
මෑතින් හඳුරුක්කන්දට මුහුණලා ගමේ මධ්‍යකේණ්ද්‍රය ලෙස ස්ථානගතවී ඇති නිවසේ සිට ගමේ සැතපුමක් දුර උතුරට රබර් වතු යාය දක්වාත්, ඉන් එහා ඈතින් අලගල්ලේ කඳුවැටිය දක්වාත් මෙතැනට දර්ශනය වෙයි. දකුණු දෙසට​ අනන්තයට දිවෙන පොල් වතු යායත් පැහැදිළිව දැකිය හැකිය​. ගම්ගොඩෙන් මහඇල නියරට පිවිසෙන ප්‍රධාන පාලම පිහිටා තිබුණේ කඩේ ආසන්නයේය​. කඩේ පසුකරගෙන යන  එන ගම්මුන් ඉතා හොඳින් හැඳින ගන්නට දැරිය සමත්වූයේ එබැවිනි. එනිසා ගමේ හැම පවුලකම ගමන්බිමන් යෑම් ඊම් පිළිබඳව හෝඩුවාවක් කඩේවාසීන්ට නොලැබී යන්නේ එහෙමත් කලාතුරකිනි. සිනාමුසු මුහුණින් පාරදෙස බලා සිටින දැරියට ඔවුන් වැඩිදෙනෙක් කතා කළ අතර හැම උදෑසනකම මහ මඟ යන එන්නන්ට සුහදව සිනාසීම ඇයගේ දෛනික අංගයක් බවට පත්වී තිබුණි. ගැහැණුන් මිනිසුන් සෑම උදෑසනකම නිශ්චිත වෙලාවකට ගෙවල් වලින් පිටත්ව ඔවුන් ගේ එදිනෙදා කටයුතු සඳහා කඩේ පසුකර යන අනුපිළිවෙළ දැරිය දැන සිටියාය​. කුමන හේතුවක් නිසා හෝ කෙනෙකු නියමිත වෙලාවට කඩේ පසුකර නොගියදාට,
 " අද අරයා ගියෙ නෑ"කියල දැරිය නිශ්චය කර ගන්නීය​.
කුඹුක් වැටිය පසු කරන කොටම විශාල පොකුරු අතු අගින් එල්ලෙන ලෝලු ගහ දිහා බැලෙන්නේ ඉබේම වාගේය​. ඉදුණු ලෝලු ගෙඩි නියර මත වැටී විසිරී ඇත​. හොඳම ඒවායින් දෝතක් අහුලාගන්නා ඇය වෙල් අල කොළයකට ඒවා දමාගෙන ඉස්කෝලෙට ගල්ලෑලි පොත් දමාගෙන යන පන් මල්ලටම කොටා ගත්තාය​. අනතුරුව​ එකක් කටේ දමාගත්තාය​. තවත් කොටසක් නෑදෑ සොයුරියක වන සීතා නංගීට දෙන්නට ඉතුරු කර ගන්නට අමතක නොකළාය​. බොහෝවිට ලෝලු ගෙඩි කටේ දමා සූප්පු කර එහි ඇති මැලියම් වැනි මඳය තොල්පට වලට තබාගෙන  එකිනෙකාට තොල්පට​ එකට​ ඇලෙන හැටි පෙන්නා හිනාවීම ඔවුන් දෙදෙනාගේ පුරුද්දක් විය​.
කුඩා දැරිය කමත දිගේ ගොස් කුඹුරුයායේ මෙගොඩහට ආසන්නව උස් ගොඩැල්ලක පිහිටා ඇති පාසල් භූමියට ඇතුළු වන්නේ මහත් ප්‍රමෝදයෙනි. ඉන් පසු ලී වලින් නිමවූ ඉස්කෝල ගේට්ටුව ළඟ නතරවී පොත් බෑගය වැටට එහා පැත්තෙන් තබා කඩුල්ලේ  ඉහලම හරස් පොල්ල මත නැඟ ඉස්කෝල වත්තට පනින්නීය​. මේ කඩුළු පැනිල්ල ​ඇයට මහත් ආශ්වාදයක් විය​.
මනාව වවා සකසා ඇති තණකොළ පිට්ටනිය පුරා පින්න වැටිලාය. ඒවා මැණික් කැට මෙන් ළාහිරු එළිය වැදී දිළිහෙමින් පවතී. තැනින් තැන එක දෙක වැවී ඇති තුත්තිරි ගස් පාමුල කුඩා මකුළුවන් විසින් වියන ලද දැල් මත වැටුණ පිනි කැට දකිනවිට ඇයට අත්තම්මාගේ තැටිං රේන්ද වියමන් සිහියට නැඟේ. ඇය දබරඟිලි තුඩින් හෙමින් දැලට තට්ටු කර නිමේශයක් බලා හිඳින්නීය​. දැළ කැඩීයතැයි සිහින් බියක් ඇගේ සිත තුළ මෝදුවත්ම ඇය පිට්ටනිය දිගේ ගොස් මල් පාත්තිය අසලදී ආපසු හැරී ආ මඟ දෙස බැලුවාය​.  තද කොළ පැහැති තණ පිට්ටනිය මත ඇගේ පුංචි පායුගවල සලකුණු සටහන්ව තිබෙණු දැක, අද දවසේ පළමුවන පා සටහන​ ඇය විසින් තබනලදැයි සතුටු වූවාය​.
දැරියට​තමන් විසින් දැවැන්ත සලකුණක් තැබූ හැඟීමෙන් උද්දාමයට පත්වන්නට තරම් එයද අපූරු නිමිත්තකි.
​ “​ඒ මං ඇවිදගෙන ආව හැටි... ඒ මගේ සටහන්..." ඇය සිතින් කියවා ගත්තාය​.
ඉන් පසු බිමට නැඹුරුවූ ඇය තම පායුග දෙස ඕනෑකමින් බැලුවාය​.  පිණි මත ඇවිදීමෙන් ඒවා රෝස පැහැ ගැන්වී  තිබෙණු දැක හිතෙන් කීවාය​.
“හරි ලස්සනයි!”
ඉස්කෝලෙට තිබුණේ එකම ගොඩ නැඟිල්ලක් පමණි. එය රට උළු සෙවිලි කොට බිමට සිමෙන්ති දමා කොට බිත්ති බැඳ, බිත්තිවල සමර ආලේප කොට ඇතුළතින් සුදු හුණු පිරියමින් කපරාරු කර  තිබූණි. කුඹුරු යායෙන් මැදිව තිබූ ​පාළු හිස් ගොඩ බිමට ඉස්කෝල ගොඩනැඟිල්ල අලංකාරයක් වූ අතරම ගමටද  පාසලක් ලැබීම මහත් ආඩම්බරයක් වූ බව අඹගහමුල කඩේට එන ගණු දෙණුකාර භවතුන් ගේ කතාබහෙන් මොනවට ප්‍රකට විය​.
ප්‍රධාන ශාලාවේ පන්ති හතරක් පැවත්විණි. හෝඩි පන්තිය​, පළමුවන පන්තිය​, දෙවන පන්තිය වශයෙනි. දැරිය තුන් වන පන්තියේය​. පාසල් ගොඩනැඟිල්ල කෙලෙවරේ  සහ වේදිකා පීඨයෙන් ඇතුළු විය හැකි දොරක් සහිත විශාල ගුරු කාමරය විය. කාමරයෙන් කොටසක් ගුරුවරුන් ගේ විවේකාගාරය ලෙස පාවිච්චිකළ අතර විශාල කොස් ලී කබඩ් දෙකකින් කාර්යාල​ කාමරය ආවරණිත විය​. රාජකාරි ලියකියවිලි ඇතුළු ලිපිගොණු ආදිය ඒ තුළ බහා අගුළු ලා තිබුණි.
ඒ දිනවල ගුරුකාමරයේ එක් ගුරුභවතෙක් සහ ඔහුගේ බිරිඳ තාවකාලිකව​ පදිංවිව සිටි බැවින්, වේදිකාවෙන් කාර්‍යාලයට පිවිසෙන දොර, දැරිය එනවිටත් විවරව තිබුණි. උදෙන්ම ඉස්කෝලෙට එන ශිෂ්‍යයෙකු විසින් ශිෂ්‍ය පැමිණීමේ නාම ලේඛණ සහ  පිත්තල සීනුව විදුහල්පතිතුමාගේ මේසය මත ගෙනත් තැබිය යුතුවිය​. බිත්තියේ සවි කරන ලද විශාල කළු ලෑල්ල පිරිසිදු කිරීම සහ රටහුණු පෙට්ටිය කුඩා බංකුව මත තැබීම සිසුන් විසින් කළයුතු දවසේ අනිවාර්‍ය රාජ කාරියක් විය​.
කුඩා දැරියට එවැනි කඩිනමක් රාජකාරියක් නැතත් ඇය කාර්‍යාලය දෙසට කරපොවා බැලුවාය​. කළු ලෑල්ල මත හුණුකූරු සටහන් මකා දමා පිරිසිදුකර දැමිය යුතුයයි ඇයට හදිසියේ සිතුණි. පන්තියට අයත් මකන කොට්ටය  "ලිපි ලේඛණ​" යන ලේබලය අලවා ඇති අල්මාරිය උඩ තිබෙණු දුටු ඇය, කොට්ටය ගැනීමට අසල තිබූ පුටුවක් ඇද ඒ මත නැග්ගාය​. පුටුව මත නැගගත් විට කබඩ් එක මත දික් අතට බිත්තියට​ සමාන්තරව තබා ඇති විදුහල් පතිතුමාගේ මා-වේවැල දුටු දැරිය හදිසියේ සර්පයෙක් දූටු කලක මෙන් තිගැස්සුණාය​. වහා කොට්ටයට දිගු කළ අත පසෙකට ගත් ඇය තත්පර කීපයක් නිශ්චලව වේවැල දෙස බලා සිටියාය​.
දැරියගේ පැහැපත් සජීවී නෙත් යුගල බබලන්නට විය. ඇයගේ සිතට කඩිනම් අළුත්ම අළුත් අදහස් පහලවෙනු දැනුණි. මේ අහම්බ​ය දෙවන අවස්ථාවක් නැති දුර්ලභ ගණයේ එකක්‍ යයි ඇයගේ සිත කෙඳුරුවාය​. දැරිය හෙමින් හෙමින් අත දිගු කර අඩි දෙකහමාරක් තරම් දිග කළු පැහැති මාවේවැල අතට ගත්තාය​. සීරුවෙන් පුටුවෙන් බැස පුටුව තිබූ තැනින්ම තියා, වේවැලත් රැගෙන කාමරයෙන් පිටවූවාය​. තවම එකම සිසුවෙක් හෝ සිසුවියක පැමිණ නොසිටි බව සැකහැර දැනගත් දැරිය ඉස්කෝල ගොඩනැඟිල්ලේ කෙලවරට ආසන්නව ඉවුර අයිනේ ඇති උණ පඳුරේ වහන්වුණාය​​. විවේක කාලයේදී ඇල වේල්ලට යාමට කෙටි ඉණිමඟක් ලෙස ළමුන් මේ උණපඳුරේ මුල් පාවිච්චි කරන පුරුද්දක් විය. ඇල ඉවුරේ කොහිකිරල​, කරඹ සහ බලුදං ගස් පලදරන කාලයට උණපඳුරේ මුල් උඩින් රූටා ගොස් ඔව්හු ඒවා රසවින්දෝය​.
දැරිය උණපඳුර අතරින් අඩි දෙකතුනක් පහලට බැස උණගසකට හේත්තු වුණාය​​. දකුණතින් දැඩිව උණගස බදාගෙන වම් අතින් වේවැල සීරුවෙන් අල්ලා එහි කෙලවර ඇයගේ දත්වලට තියා තදින් හපා ඉන් එක පතුරක් ගැලෙව්වාය​.  කීපවරක් එසේ කිරීමෙන් වේවැලේ පතුරු කීපයක් හදාගත් දැරිය, දෑතේම ඇඟිළි තුඩුවලින් පතුරු දෙපසට ඇද, දණහිසට හිරකර වේවැල දෙපසට ඇද්දාය​. වේවැල දෙකට දෙබෑවූ මුත් කැබෙලිකළ නොහැකිවිය​. ජයග්‍රාහී  බවක් කැටිවුණ කිසියම් සාහසික සතුටක සේයාවක් ළපටි මුහුණ මත ඇඳී මැකී ගියේය​. අවසන දැරිය වටපිට බලා දකුණත දිගුකර පුළුවන් තරම් වේගයෙන් වෙර දරා, ඇල වේල්ලෙන් එහා කුඹුරට වේවැල වීසිකළාය​. අවකාශයේ පාවීගිය පතුරු ගැහුණ වේවැල සරුවට වැඩී පීදී එන බණ්ඩි ගොයම් අතරේ සැඟවී ගිය අතර එය කොතැනක පතිත වීදැයි දැනගත නොහෙන පරිදි සැඟවිණි.

ඉතිරි කොටස ළඟදීම​​...

මල්ලිකා එම් බණ්ඩාර​

No comments:

Post a Comment