Sunday, 26 July 2020

මැටි හුඹස්



හිවලුන් වෙලා නිල් කොළ තවරා ගත්ත
සිංහල දෙමළ මුස්ලිම් පාලක හැත්ත​
දෙපිලට බෙදී රට කන තුරු එක වැත්ත​
අපි හාවුන් වුණා පැන ඒ මේ පැත්ත​

හත්මුතු පරපුරට ඉපැයූ නිදන් හොරු
අල්ලේ පැල වෙන්ට ඇදබානවා බොරු
මෙවරත් පොරොන්දුව​ “ඉර හඳ සමඟ තරු”
අත්පොළසන් දෙන්න මහතුනි, මරේ මරු!

ඉස් ගෙඩි මිසක​ මොළ කළඳක් නැතුවාය​
හොරකම ළඟදි ගණ්දෙයියොත් පරදාය
සුදු සළු පිළී හැඳ​ හිනැහී රවටාය​.
මැටි හුඹහටත් අපි කතිරය ගැසුවාය​ ​ 

මත ළඟ තිත. තරුණ කොඳු ඇට කඩලාය​
"ඇප් එක" අතේ. දරුවන් තනි කරලාය
පියවරු කාඩි කළසේ බඩ නෙරලාය​
අම්මාවරු පැරැණි රැකියාවට යාය​

හෝතෙර​ කුළු හරක් දිය බොර කරලාය​
උන් පිළිමහන්නට ජගතෙකු නැතුවාය​
බැටළුවො රැළට දඩ බල්ලන් යොදලාය​
ගජ මුතු අහුරු සූකරයින් තළලාය​

බත් පත​, “කාල”, අතයට නිල් කොළ දීලා
රජවරු නිරුවතිනි,  මිනිසුන් අඳ වීලා
සිහසුන් තනති, පිල් අගුවේ සැතපීලා  
කතිරය පුදති, පරපුර බිල්ලට දාලා

සියවස් ගණන් ලේ දහදිය සූරාන​
පින්බර දෙරණ  රස ඕජා හාරාන​
උන් පිටවෙද්දි දුන් දළකඩ දවටාන​
මුන් වනසාය​ හෙළයේ නිවහල් හීන​

මසුරන් බරට නොරටුන් ළඟ දණගානා 
බිම්කඩ  හින්න කර​දී පාවඩ දානා
ගහකොළ සතා සීපාවට වින මානා
ජාතිය නහන උන්, නහපිය මහසෝනා!

මල්ලිකා එම් බණ්ඩාර​

26. 07. 2020





No comments:

Post a Comment