Monday, 20 July 2020

වේවැල් රාළහාමි - 3


වේවැල් රාළහාමි - 3

රාළහාමී අස්ථානගත කිරීම සම්බන්ධ පරීක්‍ෂණ මෙහෙයවූ කොමිසම අපරාධකාරයා හසු කර ගැනීම පිණිස සැලසුම්  කළ​ තෙල්  තාච්චි රත් කෙරුණේ නැත නිසා නටන තෙලේ අත දමා අපායේ ලෝදිය අත්දැකීම ලබන්නටත්, පිළිස්සුම් සඳහා  සිසුන් විසින් යෝජිත හෙදකම්  ප්‍රායෝගිකව අත්හ​දා බලන්නට තිබූ මහඟු අවස්ථාව මඟ හැරුණි.  ඒ මදිවාට​ ලෝවැඩ සඟරාව  කියවා කටපාඩම් කරගත් කවි වල සදහන් කළකම් විපාක​ ඇස්පනා පිට දකින්නට නොහැකි විය​. එදා දවසේත් ඉස්කෝලේ වැඩ කටයුතු සාමාන් පිළිවෙළටම කෙරීගෙන ගිය අතර​ වෙනදා වගේම නියමිත වෙලාවට පාසලේ වැඩකටයුතු නිමා විය. අපි ගෙදරවල් බලා ගියෙමු

රාළහාමී කෙනෙක් පැවතුනාද යන්න පවා ඊළඟ සතියේ සිට කාටත් අමතකව තිබිණි. නැවත අපේ සිත් භීතියට පත් කළේ දෙවන වරටත් සුදු වේවැලක් පැමිණ ඇති බව දැකීමෙනි. එහෙත් එම අවුරුද්දේ අවසාන භාගය බැවින් පාසල් නිවාඩුව සියල්ල අමතක කරනු ලැබිණ​.
ඊළඟ ජනවාරියේ සිට ලොකුමහත්තයා සේවයෙන් උසස් වීමක් ලබා ගම ඉහත්තාවේ පිහිටි මහා විද්යාලයේ විදුහල්පතිවරයා ලෙසවැඩ භාරගත් බව දැනගන්නට ලැබුණි.

ඊට අවුරුදු පහකට පසු දැරිය, කණිෂ්ඨ විද්යාලයෙන් මහා විද්යාලයට යන කාලය වන විට විදුහල්පතිවරයා පළාතේ කීර්තිමත් විදුහල්පතිවරයා ලෙස ජනප්‍රසාදයට ලක්ව සිටියේය​​.

ඒත් අර නොහොබිනා අපරාධය පිළිබඳ මතකය දැරියගේ හිතේ වරින් වර හොල්මන් නොකළාම නොවේ. අහුවුනේ නැති හොරකමක් පිළිබඳ වීර අපදානයක ​ වීරවරිය විදියට​උදම් අනන්නට තරම් දැරිය සාහසික​ නොවූවාය​. පසු කාලයේ පවා නොයෙක් විට අපරාජිත වීරයෙකු පරාජය කිරීමේ ආඩම්බරයක් වෙනුවට දැරියට දැනුනේ සංතාපයකි. පසු තැවීමකි. 

ලොකු මහත්තයා, අපේ ගමේ සහ අවට ගම්වල දස දහස් ගණන් දරුවන් ගේ අධ්යාපනික නවෝදයේ පෙර ගමන්කරුවා විය​. අපට ​ උඩුගම් බලා පිහිනීම ඉගැන්වූ විදුහල්පතිතුමා හෙවත් අපේ ‘principal’ වැනි මහාපුරුෂයෙකුගේ දැවැන්ත පෞරුෂයට අභියෝග කිරීමක් ලෙස  රාළහාමි පැහැර ගෙන අතුරුදන් කිරීමේ’ සිද්ධිය දැරියගෙ සිතට වධ දෙන කාරණයක් විය​. 
උදේ රැස්වීම වෙලාවේ කසු කුසු කුට්ටන් වලට අහුවෙලා බොහෝ දරු දැරියන් සමඟත් තනිවත්, දැරිය වේවැල් කසාය වළඳා තිබුණි​. ඒ නිසා තමනුත් ගැලවී අන් අයත් ගලවා ගැනීමේ යෝධ මෙහෙවරේ ගැලවුම්කාරිය  (The Messiah) වෙන්නට දැරියට සිතෙන්නට ඇත. තක්කඩිකම සාධාරණීකරණය කළොත් දැරියට හිත හදා ගන්නට ඇත්තේ එවැනි තර්කයකි. 

මනෝ විද්යාව පිළිබඳ හාංකවිසියක්වත් නොදන්නා අවධියක දැරිය ගේ මනස තුළ විවේචනාත්මක ආත්ම විශ්ලේෂණයක් ගොඩ නැඟෙමින් පැවතින​. එහි කූටප්රාප්තිය හෙවත් පසුතැවීමේ උපරිම අවස්ථාව දැරිය විසින් අත් දැක්කේ ඇය සාමාන් පෙළ විභාගය සඳහා සිය ගණනක් තරම් ශිෂ් ශිෂාවන් අතරින් ගණිත විෂයටවිශිෂ්ඨ සාමාර්ථයක් සහිතව සමත්වූ ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් කෙනෙකුවූ දාය​. 

දැරියගේ 9, 10 සහ 11 ශ්රේණිවල  ගණිත ගුරුවරයා වශයෙන් ප්‍රින්සිපල් සර් විසින් කරන ලද බලපෑම බෙහෙවින් තීරණාත්මක බව දැරිය අවබෝධ කරගෙන සිටිනිසාය​​​. වේවැල් පහරින් වැළකීමේ දීර්ඝකාලීන පියවරක් වශයෙන් නිදිමරාගෙන ගණන් හදන්නටත් බැරිම අවස්ථාවක ගමේ වෙනත් ගුරුවරුන් වෙත ගොස් නොදන්නා දෙය අසා දැගන්නටත් පුරුද්දක් කර ගත්තාය. අන්තිමේදී ගණිත නවෝදය පොත අතැඹුලක්සේ දැනගන්නට දැරිය සමත්වූවාය​. 

එදා, සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපල ආ දවසේ,  රාළහාමි අතුරුදහන් කළ අපරාධකාරිය ලෙස ඉදිරිපත්ව සමාව යැදීමට යොවුන් දැරියට සිතුනත් කිසියම් පසුබෑමකින් ඇගේ සිත ඉදිබු කටුව තුළම හිස ඔබා ගත්තාය​. එහෙම වුණත්, යම් දවසක මේ දෙගිඩියා චිත්ත ස්වභාවය විරේක කළයුතුයයි දැරිය  තිරව අදිටන් කර ගත්තාය ඒත් ඒ දවස එනතුරු, වේවැල් රාළහාමි අතුරුදන් කිරීමේ සාපරාධී ක්‍රියාව ගැන, නැහැපුඩු අග හුස්ම වැටෙන කිසිම මනුෂ්‍යයෙකු සමඟ වචනයක්වත් නොකියන්නට වගබලා ගත්තාය​. ඉඩක් ලැබුණු යම් දවසක​ එයවියත් පිරිසක් හමුවේ, ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරන්නට ලැබේයයි ඇය සිතුවාය​.

දැරිය දැරිය උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ ‘principal sir’ පළාතේ සම්මානනීය මධ් මහා විද්යාලයක විදුහල්පතිවරයෙක් ලෙස උසස් වීමක් ලද අතර පසු කාලයේ පළාත් අධ්යාපන අධ්යක්ෂක වරයෙකු ලෙස විශ්රාම ගියේය​.

ඒ වන විටත් දැරියක නොවු ආදිශිෂ්‍යව ද උපාධිධාරී ගුරු භවතියක වූවාය. ආදිශිෂ්‍යව ගේ​ පියාගේ අවමංගල්යයට සහභාගිවීම සඳහා තම​ බිරිඳ (ඇයද එම මහා විද්‍යාලයේම ගුරුවරියක් වූවාය​) සමඟ පැමිණි අධ්යාපන අධ්යක්ෂකවරයා, ආදි ශිෂ්‍යාව සමඟ​ බෙහෙවින් දයාභරිතව​කතා කළේය​. ඒ අවසාන ගුරු ගෝල හමුව විය​.

ඉනුත් වසර කීපයකට පසු  වියපත් දැරිය ලොකු මහත්තයාගේ (ප්‍රින්සිපල් ගේ,  පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකගේ) දෙණ පාමුල දණ නමා  මනස්තාපයේ යාඥාවෙන් යුතුව ඔහුගේ ආත්මයට සමාදානය ප්රාර්ථනා කළාය​.

ප​. ලි.
මගේ සා/පෙ, ගණිත ගුරුවරයා වශයෙන් ඔහු පුරා වසර තුනක් පන්තියට ආවේ "ගණිත උපදේශක" නම් දැරූ වේවැලක් සමඟ​. 

"මතකයෙන් බිඳක් - 5 කවියක අරුමය" තුළින් ඔබට සජීවී "ගණිත උපදේශකහමුවිය හැකිය​. ඒ සඳහා මගේ April 10, 2018 - “MAGPIE LOUNGE BLOG” වෙතට පිවිසෙන්න​.
ස්තුතියි!

මල්ලිකා එම් බණ්ඩාර​
20. 07. 2020

No comments:

Post a Comment